Ads 468x60px

.

සාමාන්‍ය පෙළ දැරියක් බිලිගත් ප්‍රයිවට් යක්ෂයා ඉයර්ෆෝන් ගසා ගෙන ඉගිලුනු හැටි...

බස් රථයේ සිටි අය කෑගැසුවත් තම කනේ තිබුණු උපකරණය නිසා ඔහුට ඇහිලා නෑ...

මේ බස්රථ රියදුරා තම බස් රථය තවත් බස් රථයක් සමග ඔට්ටුවට වේගයෙන් ගමන් කළේ තවත් රුපියල් 12 ක් සොයන්නටද..? 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට සුදානම් වන සිසුවියකගේ වටිනාකම මිළ කළ හැකිද..? නමුත් එවැනි දැරිවියකගේ ජීවිතයක් නොහික්මුණු රියදුරෙකු රුපියල් 12 ක් වැනි මුදකට අහිමි වූ බව අපි ඔබට කෙසේ කියන්නද..? මේ ඒ කථාවයි. 

හලාවත මල්වත්ත ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වෙලා සිටි ඇන්ටනි පෙඩ්රික් ලෝපස් සහ සුජීවා සංජීවනී යුවලට දියණියන්ම තිදෙනෙකි. ඉන් මද්දුමයා ඉසුරිකා ලක්ෂාණි (15)ය. ඇය ඉගෙණුම ලැබුවේ හලාවත ආනන්ද ජාතික පාසලේ10 වැනි වසර පන්තියේ.

වැඩිමහල් සොයුරිය වූ ඊශානි සෙව්වන්දි මේ වන විට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දී නිවසට වී සිටියාය.මේ නිසා ඉසුරිකා සෑම දිනකම පාසල් ගියේ ඉෂිණි ෂෙහාරා (11) නැගණිය සමගය. 

ඉකුත් 16 වැනිදා පෙරවරු 6.30 ට පමණ තම නැගණිය සමග මල්වත්ත ප්‍රදේශයේ නිවසින් ඉසුරිකා පාසල් යන්නට පිටත් වුවාය.කුරුණෑගල දෙස සිට පැමිණි බස් රථයකට මෙම දැරිවියන් දෙදෙනාම
ගොඩ වුයේ මල්වත්ත මංසන්ධියෙනි. දැරිවියන් දෙදෙනා බස් රථයට ගොඩ වනවාත් සමගම එය වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වුවාය. 

පාපුවරුවේ පඩි 03 ක්වත් දැරිවියන් දෙදෙනාට නගින්නට බැරිවිය.තවත් බස් රථයක් සමග ඔට්ටුවට ඉදිරියට ඇදෙන්නට වූ බස් රථය මීටර් 100 පමණ ගමන් කළේය.එක්වරම කොහේදෝ සිට ගවයින් කීප දෙනෙකු මාර්ගය හරහා ගමන් කළේය.එම ගවයින් බේරා ගන්නට බස් රථයේ රියදුරු තම රථය එහාට මෙහාට කපන්නට විය.

ඒ වන විටත් බස් රථයේ පා පුවරුවේ පඩි නගිමින් සිටි පුංචි ඉසුරිකාගේ අත එක්වරම අත ඇරුණාය.ඇයට අසුවුණේ තම නැගණියගේ ගවුමය.වේගයෙන් ඉදිරියට ඇදී යමින් තිබූ බස් රථයෙන් ඉසුරිකාත් නැගණියත් දෙදෙනාම බිමට ඇදගෙන වැටුනාහ.

ඉයර් පෝන් දෙකක් කනේ ගසාගෙන තවත් බස් රථයක් සමග ඔට්ටුවට ඉගිළුණු බස් රථ රියදුරා මේ කිසිවක් නොදැක්කේය. බස් රථයේ සිටි අය කෑගැසුවත් තම කනේ තිබුණු උපකරණය නිසා එයද ඔහුට ඇසුනේ නැත. පිටුපසින් පැමිණි බස් රථයක රියදුරෙකු මෙම මාරක බස් රථය පසු කර ගොස් “අන්න බස් එකෙන් ළමයි දෙන්නෙක් වැටුණා” යැයි පවසා එය නවත්වා ඇත. 

බස් රථයේ සිටි අය එම ස්ථානයට දිව විත් බලන විට ඉසුරිකාත් ඇයගේ නැගණියත් ලේ විලක් මැද වැටී සිටියාය.ඉසුරිකාව ත්‍රී රෝද රථයකිනුත් නැගණියව යතුරු පැදියකිනුත් කඩිනමින් හලාවත මහා රෝහල වෙත ගෙන එනු ලැබුවාය.බරපතල තත්ත්වයේ සිටි ඉසුරිකාව කොළඹ ජාතික රෝහලට වහාම මාරු කර යවන ලදි.නමුත් ඇය ඉකුත් 20 වැනිදා අවසන් ගමන් ගියාය.
 
මියගිය ඉසුරිකාගේ දේහය හලාවත - මැරවල පිහිටි තම ආච්චි අම්මාගේ නිවාසය වෙ. පසුදින ගෙන ආවාය.ඇය ඉගෙනුම ලබමින් සිටි පාසලේ ගුරුවරුන්,පාසල් දරු දැරියන් පමණක් නොව අවට පාසල් වල අයද සාමාන්‍ය ජනතාවද වැල නොකැඩී ඉසුරිකාට අවසන් ගෞරව දක්වන්නට පැමිණියාය.සියල්ලන්ගේ සෝ සුසුම් මැද ඉසුරිකා ඉකුත් 22 දා මැරවල පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය.

ඉසුරිකා දැයට අහිමිවී අවසන්ය.ඉසුරිකා තම නැගණිය සමග බස් රථයට ගොඩ වූ මල්වත්ත මංසන්ධියේ සිට හලාවත නගරයට ගමන් ගාස්තුව රුපියල් 12 කි.එසේ නම් මේ බස්රථ රියදුරා තම බස් රථය තවත් බස් රථයක් සමග ඔට්ටුවට වේගයෙන් ගමන් කළේ තවත් රුපියල් 12 ක් සොයන්නටද? සත්‍ය ලෙසම එම රියදුරා කල්පනාකාරීව තම රථය පැදෙව්වා නම් පුංචි ඉසුරිකා අදත් තම නැගණිය සමග පාසල් යනවා නේද? අපි සිතිය යුත්තේ එයයි.
 
Related Posts with Thumbnails