Ads 468x60px

.

ගීතාගේ ආතතිය වැඩි වෙලාලු..

පොදුවේ ආදරය දිහා තාමත් ආදරයෙන් බලන කෙනෙක් මම...

ඒත් තනිකම තදින් දැනෙනවා.... හුඟක් වෙලාවට මට තනිකම දරාගන්න බැරි තරම් වුණා...

ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මල වදයක් වූ බවත් ඉකුත් ගාල්ල මහ නගර සභා මැතිවරණයේදී සිය වැඩි ශක්තිය ලබාදුන් අපේක්‍ෂකයකු එම නගරසභාවේ පළමු තැනට පත්වීම සම්බන්ධයෙනුත් ඇය මේ දිනවල සතුටින් සිටින බවත් අපට වාර්තා වුනා.

මේ ඇයත් සමඟ කල කතාබහක්... 

• ඇත්තටම ආදරය කියන දේ ඔයා තේරුම් ගත්තෙ මොන විදිහටද?
ආදරය බොහොම සුන්දර දෙයක්. මිනිස්සුන්ට ළෙංගතුකමත්, ආදරයත් අවශ්‍යයි. සතුටත්, තෘප්තියත් අවශ්‍යයි. නිරායාසයෙන් ලැබෙන ආදරය බොහොම වටිනවා. ඒක ඉතා ගැඹුරු මානුෂික හැඟීමක්.

• ඔයාගෙ ජීවිතයත් එක්ක ගත්තහම ඒ හැඟීම විස්තර කරන්නෙ කොහොමද?
මම තනියම ජීවත්වෙන ගැහැනියක්. සැබෑ ආදරයක් ලැබුණාද කියලා මට සැකයි. ඇත්තටම මම හොයන ආදරය මට ලැබිල නෑ. සියයට සියයක් අවංක ආදරයක්. ආදරය අවසානයේ සුන්දර
වරදක් කියලත් කියනවනෙ. එතැනදිත් වරද පැටවෙන්නේ ගැහැනිය මතටමයිනෙ. ඇත්තටම හුඟක් වෙලාවට ආදරයේදී මං අසරණ වුණා. 

ඒ හැම වෙලාවෙම මට මගේ චරිත ස්වභාවයෙන්ම දරාගන්න පුළුවන් කමක් ලැබුණා. පොදුවේ ආදරය දිහා තාමත් ආදරයෙන් බලන කෙනෙක් මම. ඒත් තනිකම තදින් දැනෙනවා. හුඟක් වෙලාවට මට තනිකම දරාගන්න බැරි තරම් වුණා. වෙලාවකට මට හිතෙනව මගේ කතාව මුළු ලෝකෙටම කියන්න. ඒත් වැඩක් නෑ කියලත් ආයෙ හිතෙනවා.


• සැමියාගෙන් ඔයාට ලැබෙන්නෙ මොනවගේ සහයෝගයක්ද?
මම දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙනවට මගේ සැමියා පොඩ්ඩක්වත් කැමැති නෑ. එයා මේ දවස්වල ලංකාවෙත් නෑ. අපි විවාහ වුණේ මම සිනමා නිළියක් විදිහට හිටපු කාලෙයි. ඒත් එයා මාව දැන හඳුනා ගත්තෙ මම රඟපෑ චිත්‍රපට බලල නෙවෙයි. ඇත්තටම අපිට යහපත් පවුල් ජීවිතයක් තිබුණා. 

ඒ අතරෙ එක එක බලපෑම් කට කතාත් ඇති වුණා. ඒවාට රුකුල් දෙන්න අයත් බලාගෙන හිටියා. අද මම තනියම මගේ ගමට මිනිස්සුන්ට සේවයක් කරන්න වෙහෙසෙනවා. මට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයත් තියෙනවා. එහේ ජීවත්වෙන්න සුන්දර ගෙයකුත් තියෙනවා. ඒත් මට මගේ රට දාලා යන්න නම් බෑ.

• එදා අතිශයින් ජනප්‍රිය නිළියක් විදිහට කටයුතු කළ ඔයාට අද මේ ගතවෙන කාලයත් එක්ක මොනවගේ වෙනසක්ද දැනෙන්නෙ?
මම කටයුතු කළේ දක්‍ෂතා සපිරි ජනප්‍රිය නිළියක් හැටියටයි. ලොකු කුඩා සෑම දෙනාගෙම ආදරය මට දිනාගන්න පුළුවන් වුණා. අද වෙනකොට මගේ වැඩි කාලයක් ගතවෙන්නෙ දේශපාලන කටයුතුත් එක්කයි. ඒ ඇරෙන්න වෙනත් වෙනසක් නෑ.


• නිළියක් හැටියට එදා ලැබුණු ජනප්‍රියත්වය අද වෙනකොට අඩුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නෑ. එහෙම දෙයක් හිතෙන්නේ නෑ. ජනප්‍රියත්වය කියන දේ ඉහටත් උඩින් අදත් මට තියෙනවා. චිත්‍රපටවලින් දකින්න නොලැබුණාට ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් වෙලා නෑ.


• ඒත් ඔයා එදා බොහොම කාර්යබහුලයිනෙ.
මට නම් හිතෙන්නෙ මම දැන් ඊටත් වඩා කාර්යබහුලයි කියලයි.


• ඒ දේශපාලන ජීවිතය නිසානෙ. ඒත් නිළි ජීවිතයත් එක්ක ගත්තහම හුදෙකලාවක් දැනෙන්නෙ නැද්ද?
ඇත්තටම මට එහෙම හිතන්නවත් වෙලාවක් ලැබෙන්නෙ නෑ. ඔව් ඒ කාලෙ මගේ රසික රසිකාවියො මට බොහොම ආදරය කළා. ඒක ඇත්ත.


• රසික රසිකාවියන්ගෙන් ලැබුණු ආදරය මොනවගේද?
බොහොම ඉහළ ආදරයක් මට ලැබුණා. සමහරු ප්‍රේම කරන්නත් ආවා. හැමදෙනා අතරම මම බොහොම ජනප්‍රිය වුණා. ඒක භාග්‍යයක්. සතුටක්. කෙනෙකුට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් ඒ ජනප්‍රියකම දිගු කාලයක් රඳවා ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ අතින් මම වාසනාවන්තයි. මේ වෙනකොට අවු. 3ක් විතර සිනමා නිර්මාණයකින් දකින්න නොලැබුණත් රසික රසිකාවියන්ගෙ ආදරය තාමත් ඒ වගේමයි.

• තාරිකා දියණිය මේ දවස්වල ඔයත් එක්ක ජීවත් වෙන්නෙ
දුව ස්විස්ටර්ලන්තයේ සෙන්මේරිස් විද්‍යාලයේ අවු. 15 විතර අධ්‍යාපනය ලැබුවා. දැන් අවුරුදු 3ක විතර ඉඳල ඇමෙරිකාවෙ ලොයලා විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරනවා. අපිට හමුවෙන්න ලැබෙන්නෙ වසරකට කීප අවස්ථාවක් විතරයි. 

මගේ තාරිකා දුව මට මගේ පණ වගේ. ඇය මාත් එක්ක ළඟින් නැති එක ලොකු දුකක්. ඒත් හැම අම්මා කෙනෙක් වගේම මාත් මගේ සතුට ගැන නෙමෙයි එයාගෙ යහපත ගැනයි හිතුවෙ. ඒ හින්ද මං මගේ සතුට ඇය වෙනුවෙන් පරිත්‍යාග කළා.


• ඇය මොනවගේ දියණියක්ද?
ඇය ස්වාධීන දරුවෙක්. විවෘතව ලෝකය දකින්න පුළුවන් කෙනෙක්. සුන්දර හැඟීම් තියෙන කෙනෙක්. මටත් යම් යම් උපදෙස් දෙන්න හැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම ඇය දක්‍ෂ චිත්‍ර ශිල්පිනියක්. දේශපාලනයට කැමැති නෑ. ඇය කැමැති මම අම්මා විදිහට දකින්න විතරයි.


• ආපහු හැරිල බලනකොට ගැහැනියක් හැටියට මොකද හිතෙන්නෙ?
මට ලස්සන ළමා කාලයක් තිබුණා. අවු. 16 දී සිනමාවට ආවා. සම්මාන, ඇගැයීම්, ජනාදරය ලැබුණා. අවු. 25 දී විවාහ වුණා. ඊට පස්සෙ මවක් වුණා. අද මම ආර්ථිකය පැත්තෙන් ශක්තිමත් ගැහැනියක්.


• පුංචි කාලෙ ඔයාගෙ සුරුබුහුටිකම් දැකල මවුපියො මොනවගේ අනාවැකිද කිව්වෙ?
මගේ අත්වල ඇඟිලි දිගයි. ඉස්සර තාත්ත සමහර වෙලාවට මගේ ඇඟිලි අතගාල දුවට හොඳින් පියානෝ වාදනය කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. මට පියානෝවක් තියෙනවා. ඇත්තටම මට පියානෝ වාදනය කරන්න පුළුවන්.

• එදා ඉඳල වෙනසක් නැතුව දකින්න තියෙන ඔය සුන්දර සිනහවෙ රහසක් තියෙනවාද?
රහසක් නෑ. හදවතින්ම එන හිනාවනෙ. 1979 දී පුන්නගෛ අරසි (සිනහවට වශීවී) ද්‍රවිඩ චිත්‍රපටයේ සිවාජි ගනේෂන් එක්ක ගෞරවී කියන ප්‍රධාන චරිතය මට රඟපාන්න අවස්ථාව ලැබුණෙත් මගේ මේ සිනහව හින්දයි.


• කාලෙකට පස්සෙ කරන කතා බහක් හින්ද විශේෂයෙන් කියන්න දේවලුත් ඇති නේද?
‘සිරිදළදා ගමනේ’ මම රඟ පෑවා. ආරාධනා ලැබුණොත් හොඳ ටෙලි නාට්‍යයක වුණත් රඟපාන්න කැමැතියි. පසුගිය අවුරුදු කීපයේ නිහඬකම ගැන පසුතැවීමකුත් තියෙනවා. මරණය දක්වාම රඟපෑමේ යෙදෙන්නයි මං කැමැති. ඒත් දේශපාලනයත් එක්ක ඒකට වෙලාවක් නෑ. දේශපාලනය පුදුමාකාරයි. සිනමාවේ තියෙන සැනසිල්ල එතැන නෑ. ආතතිය වැඩිකමට පසුගිය දවස්වල මං අසනීපත් වුණා. 
 
Related Posts with Thumbnails