Ads 468x60px

.

මං හිතාගන හිටියේ උදයන්ති හරි ආඩම්බරයි කියලා - ප්‍රියන්ත මංසිළු

මාව ගොඩක් අය ෂූට්වලට එක්කගෙන ගිහින් චරිතයක් නොදී ආපහු එවලා තියනවා...

තිරයේදී ආදරවන්තයෙක්...මටත් පෙම්වතියක් හිටියා... 

නමුත් ඒ ආදරයේ ඇති අඩු පාඩු හින්ද  මට ඒක අත හරින්න සිද්ධ වුණා...

මේ ‘කලර්’ චිත්‍රපටයේ උදයන්තිගේ පෙම්වතා හැටියට රඟපාන ප්‍රියන්ත මංසිළු සමඟ කල කතාබහක්...

‘කලර්’ ඔබේ කී වැනි චිත්‍රපටයද?
තෙවැන්න. මීට පෙර සුපර් සික්ස් චැලෙන්ජස් වැනි චිත්‍රපටවල රඟපෑවා. නමුත් තිරයේදී ආදරවන්තයෙක් වුණේ කලර් නිසා.

කොහොමද ඒ අත්දැකීම?
බොහොම සුන්දරයි. ප්‍රේමවන්තිය උදයන්ති හින්දා තවත් සුන්දරයි.

ඒ මොකද?
මං හිතාගන හිටියේ උදයන්ති හරි ආඩම්බරයි කියලා. ඒත් සෙට් එකේදි ඇය මට දුන්නු සහය අපමණයි. ඒකයි සුන්දරයි කිව්වේ ඇය සමඟ රංගනය.

එතකොට කමල්..?


ෂා . . . කමල් අයියා මාරයි. ඔහුත් සමඟ සසඳද්දි මං පුංචිම පුංචි වැලි කැටයක්. ඔහු රංගනයේ පතාක යෝධයෙක්. දෙබස් ඩිලිවරි කරන විදිහ මං ඉගෙන ගත්තේ ඔහුගෙන්. ජනප්‍රියත්වයෙන් සහ හැකියාවෙන් හිස උදුම්මවා නොගත් කමල් අයියාගෙන් ලැබුණු නිහතමානී උපදෙස් මට මගේ රංගනය ඉදිරියට ගෙනි යන්න මහත් අත්වැලක් වුණා.

‘කලර්’ චිත්‍රපටයේ නිෂ්පාදක සහ අධ්‍යක්ෂ මුණ ගැස්ස වූයේ ඔබ යැයි මං අසා තිබෙනවා?
ඒක සත්‍යයක්. නිෂ්පාදක පාලිත සමරසිංහ මගේ හිතවතෙක්. අධ්‍යක්ෂ ඉසුරු වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන ලොකේෂන්වලදී මට හමු වෙලා තියනවා. ඉසුරු ගාව පිටපතක් තියෙනවා කියලා මං දැනන් හිටියා. ඉතිං මං දෙන්නට දෙන්නා හඳුන්වලා දුන්නා. සාකච්ඡාව අවසන් වෙද්දී කලර් පිටපත චිත්‍රපටයකට නඟන්න තීරණයක් ගෙන අවසන්.

‘කලර්’ දඩමීමා කොට ඔබ රිදී තිරයේ ආදරවන්තයෙක් වුණා යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්.
මට ප්‍රශ්නය තේරුණේ නැහැ?

කලර් හි පිටපත බලලා එහි ප්‍රධාන චරිතය රඟපෑම ඇති වුවමනාව නිසා ඔබ නිෂ්පාදකව මේ සඳහා යොදා ගත්තා කියලා මං කිව්වේ?
මෙහෙමයි, කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. කොහොම වුණත් නිෂ්පාදක අධ්‍යක්ෂ හමුවෙද්දී මං කලර් පිටපත කියවලා නැහැ. ඒ වගේම දෙන්නම හිතවත්තු වුණත් මං ‘කලර්’ හි රඟපාන්න මට අවස්ථාවක් දෙන්න යැයි ඉල්ලුවෙත් නැහැ.

කාගේ ආරාධනයෙන් ද ඔබ කලර් චිත්‍රපටයේ රඟපෑවේ?
ඉසුරු වීරසිංහ මුදලිගෙ. ඕනෙ නම් අහන්න.

මේ චිත්‍රපටයේ චරිතවලට නමක් නැහැ. මේ තත්ත්වය මත ඔබේ චරිතය නමින් හඳුන්වා දෙන්න බැරිවීම අවාසියක් නොවෙයිද?
ඒ අදහස ඉසුරුගේ. චිත්‍රපටයෙහි ඇති විශේෂත්වයත් ඒක. මං හිතනවා චරිතයක් ජනප්‍රියවන්න නමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබ එසේ කීවත් අප චිත්‍රපට ඉතිහාසයේ චරිත මතක නම්වලින්?
වෙන්න පුළුවන්. නම්වලින් පමණක් නෙවෙයි කරපු ජවනිකාවලිනුත් මිනිස්සුන්ට චරිත මතකයි. ඒවාට උදාහරණ ඕනෑ තරම් සෙව්ව හැකියි. මං ඉන්නේ ඒ මතයේ. සමහර විට ප්‍රධාන චරිතයට වඩා දෙබස් චුට්ටක් ඇති සුළු චරිතයක් කරපු අයකු රසිකයන්ට දැනුනු අවස්ථා මම දැකලා තිබෙනවා.

ඔබ සාමාන්‍යයෙන් කලබලකාරී චරිතයක්ද?
අයියෝ නැහැ. මං බොහොම නිවච්ච ගතිගුණ ඇත්තෙක්. ඒ වගේම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයෙක්.

ඒක නිසා ද ක්ෂේත්‍රය තුළ සමහර අය ඔබව රස්තියාදු කරන්නේ?
මේක මං කතා කරන්න අකැමැතිම මාතෘකාවක්. මාව ගොඩක් අය ෂූට්වලට එක්කගෙන ගිහින් චරිතයක් නොදී ආපහු එවලා තියනවා. ඉතින් මං ඒ වගේ වෙලාවට උපේක්ෂාවෙන් හිත හදා ගන්නවා. හැබැයි ඒ අයගෙන් දෙවැනි පාර ඇරැයුමක් ලැබුණොත් දෙවතාවක් හිතනවා.

ප්‍රියන්ත දැන් රඟපාන්න ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු දහයක් විතර.

මේ කාලය අතරතුර හරිම අඩුවෙන් නේද නිර්මාණවලට දායක වුණේ?
ඒකට හේතුව මං රැකියාවක් කරන ගමන් රඟපාන එක.

ඒක අවාසියක් නොවෙයිද?
හම්ම් . . . තව ටික දවසක් බලලා පූර්ණකාලීනව කලාවට එනවා.

ඔබ රඟපෑ චරිත අතරින් වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය?
‘පබා’ ටෙලි සිතුවමේ ඩොක්ටර් තේම්ය. සාරංග දිසාසේකරත් එක්ක තමයි රඟපෑවේ.

නළුවකුට ගැහැනු ළමයි ආකර්ෂණය වීම ඔබ කොහොමද දකින්නේ?
සොභාවික තත්ත්වයක්. මටත් ඕක පොදුයි. මම නම් කල්පනාකාරීවයි ඇසුරු කරන්නේ කාව වුණත්.

ඒ කියන්නේ ගැහැනු ළමයින්ට ඔබ බයයි?
බයක් නෙවෙයි. ඇසුරේදී කරන කියන දෑ ගැන සැලකිලිමත් වෙනවා.

ඒකද තවම තනිකඩ?
මටත් පෙම්වතියක් හිටියා. නමුත් ඒ ආදරයේ ඇති රස නීරසභාවයන් මධ්‍යයේ මට ඒක අත හරින්න සිද්ධ වුණා.

ආදරය ගැන ලොකු විශ්වාසයක් දැන් නැති හැඩයි?
දැනට එහෙමයි. සමහර විට ඊළඟට මුණ ගැසෙන කෙනත් එක්ක සදාකාලිකවම එකට ජීවත් වේවි ආදරය ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන.

මොනවද ඔබේ අලුත් වැඩ කටයුතු?
සඳරුන් ජයවික්‍රමගේ අලුත් නාට්‍යයේ සහ ඩෙන්සිල් ජයවීර අහංකාර ස්ත්‍රී චිත්‍රපටය ඇැසුරෙන් තැනෙන අහංකාර ස්ත්‍රී ටෙලි නාට්‍යයේ වැඩ. එ වගේම ඉසුරු වීරසිංහගේ ‘මල්’ චිත්‍රපටයේ මං ඉන්නවා.

ප්‍රියන්තගේ පෞද්ගලික තොරතුරු
සම්පූර්ණ නම - ඉලන්ගරන් පතිරණගේ ප්‍රියන්ත මන්සිළු
ගම - නාරම්මල
වර්තමාන පදිංචිය - වැල්ලවත්ත
පාසල් ගියේ - නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය
උපන් දිනය - මාර්තු 04
ක්ෂේත්‍රයේ මිතුරෝ - සුරේෂ් ගමගේ, සාරංග දිසාසේකර, සුමිත් කුමාර
පවුලේ සාමාජිකයින් - මව, පියා සහ සහෝදරියන් දෙදෙනා
මුලින්ම රඟපෑවේ - වෙළඳ දැන්වීම්වල
වේදිකා නිර්මාණ - රන්කඳ, බීමභූමි
ටෙලි නාට්‍ය - කාව්‍යා, වසුදා, පබා, හිමගිර නැග, සසර වසන තුරු, හිතන්න පොඩ්ඩක්
චිත්‍රපට - චැලෙන්ජස්, සුපර් සික්ස්, කලර්
 
Related Posts with Thumbnails