Ads 468x60px

.

ලෝක විනාශයට කලින් කියන වග නම්...!

පෘථිවියට කිමී 226000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා –නාසා

ශ්‍රී ලංකාව සහ ලෝකය මේ දිනවල අපූරු කතන්දරවලින් පිරී පවතී. එකක්‌ දෙසැම්බරයේ ලෝක විනාශයයි. අනික මේ දිනවල දිවයිනේ තැනින් තැන අහසේ දිස්‌වන විවිධ ආලෝක ධාරාවන්ය. ලෝකය වරින් වර මෙවැනි කටකතාවලින් නොසංසුන් වෙයි. අලුත්ම කටකතාව ලෝක විනාශයයි. මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර්වලින් අවසන් වන බැවින් ලෝක විනාශය සිදුවන බවට ලෝක ජනතාව තුළ විශ්වාසයක්‌ හටගෙන ඇත.

මේ පෘථිවිය හැර වෙනත් ග්‍රහ ලෝක කීයක්‌ තිබේද? විශ්වයේ දිග පලල කොතරම්ද ආදී වශයෙන් ඉහ මොළ සූරන ප්‍රශ්න ගණනාවක්‌ වරක්‌ බමුණෙකු (බ්‍රාහ්මණයකු) විසින් බුදුන් වහන්සේගෙන් විමසීය.

බුදුන් වහන්සේ පිළිතුරු දෙමින් වදාළේ ඒවා පලක්‌ නැති බවය. ලෝකයේ උපත අවසානය ගැන කල්පනා කොට වෙහෙස වෙනවාට වඩා යහපත් ධාර්මික ජීවිතයක්‌ ගතකොට සසර කෙටි කර ගැනීම වඩා වැදගත් වන බව බුදුහු ප්‍රකාශ කළහ. 

එසේ වුවද මතු යම් දිනක විය හැකි ලෝක විනාශය ගැන විවිධ අදහස්‌ ද කතාන්දර ද අප්‍රමාණව තිබේ.


ආයුධ වැස්‌සක්‌ වහින බවත් ඒ ආයුධ වැස්‌සට හසුවී මිනිසුන් මියයන බවත් එක්‌ කතා පුවතකි. ඒ ආයුධ වැස්‌සට හසුවුවද ඔහු ධාර්මිකව ජීවත් වූ අයකු නම් ඒ ආයුධ වැස්‌සෙන් ඔහුට තුවාල සිදුවන්නේ නැති බව ඒ මතය හා සමඟ එයි.

මෙයින් කියෑවෙන්නේද ධාර්මික ජීවිතය වැදගත් වන බවයි.

බුදුන් වහන්සේ ලෝක විනාශය ගැන මතයක්‌ පළකොට ඇත. බුදුන් වහන්සේ දේශනාකොට සිටින්නේ යම්දාක ලෝක අවසානය වන විට පෘථිවිය වැස්‌සක්‌ නොලබා දුහුවිල්ලෙන් පිරෙන බවය. පෘථිවිය ගහ කොළ නැති කාන්තාරයක්‌ වන අතර ඒ හේතුව නිසා ලෝක සත්වයා මියයන බවය. එහෙත් ධාර්මික මිනිසාට ජීවත්වීමේ වාසනාව හිමිවන බැව් බුදුහු දේශනාකොට තිබේ.

ලෝක විනාශය ගැන කැලඹිල්ලට හේතුවී ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනයයි. මායාවරු ජීවත්වූයේ මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලාවේය. දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කී මායාවරු අහසේ තාරකා සහ ග්‍රහ වස්‌තූන් නිරීක්‍ෂණය කොට ක්‍රි. පූ. 3200 දී පමණ වසර 5200 ක්‌ ඉදිරියට කැලැන්ඩරයක්‌ සැදූහ. ඒ කැලැන්ඩරය 2012 දෙසැ. 21 දායින් අවසන් වෙයි.

එදායින් පසු, කැලැන්ඩරය අවසන් වූවායින් පසුව ලෝකය විනාශ වෙතැයි මායාවරු කීවේ නැත. ඔවුන්ගේ දැනුමේ හැටියට එදවස වසර 5200 ක්‌ ඉදිරියට කැලැන්ඩරයක්‌ නිර්මාණය කිරීම ගැන අපේ විශ්මිත ස්‌තුතිය පළකළ යුතුය. එසේ නැතුව ඔවුන්ගේ කැලැන්ඩරයේ කාලය අවසන් වූ පමණින් ලෝකය විනාශය වෙතැයි යන මිථ්‍යාවේ ගිලීම මෝඩකමකි.

මායාවරුන්ගේ පරම්පරාවේ අය තවමත් මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝරය, දකුණු මෙක්‌සිකෝව ආදී රටවල ජීවත් වෙති. නූතන දියුණු ලෝකයට පා තබා සිටින ඒ මායාවරු දැන් පාවිච්චි කරන්නේ අවුරුද්දක කැලැන්ඩරයක්‌ පමණි. අවුරුද්දක්‌ අවසානයේ ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරය බිත්තියේ එල්ලා ගනු මිසක තල් අත්තක්‌ වැටුණ සැනින් ලෝකය පෙරලී ගෙන එතැයි බිය වී දිවූ හාවා මෙන් දිවීම, හැංගෙන්නට තැන් සෙවීම නුවණක්‌කාර නොවේ.

නිබුරු නම් ග්‍රහලෝකයක්‌ කඩා වැටී පොළොවේ හැපීම නිසා පෘථිවිය විනාශ වෙතැයි තවත් මතයක්‌ පවතී, නමුත් නූතන තාරකා විද්‍යාඥයන් කියන්නේ "නිබුරු" නමින් ග්‍රහ ලෝකයක්‌ මේ චක්‍රාවාටයේ කොතැනකවත් නැති බවයි. ඒ නිසා ග්‍රහ ලෝකයක්‌ කඩා වැටේ යෑයි යන්න අනියත බියක්‌ බව විද්‍යාඥයෝ කියති.

ලෝක විනාශය වීමට තවත් හේතුවක්‌ ලෙස තර්ක කරන්නෝ දක්‌වන මතයක්‌ වන්නේ සූර්යයාගේ ගිනිදලු නිකුත් වීමෙන් ලෝකය ගිනිගෙන දැවී යනු ඇතැයි යන්නයි. සූර්යාගෙන් වරින් වර ගිනි දලු නිකුත්වීම සාමාන්‍ය දෙයක්‌ බව විද්‍යාඥයන්ගේ අදහසයි. නමුත් සූර්ය ගිනිදලුවලින් ලෝකයේ කොතැනකටවත් සුළු හෝ හානියක්‌ සිදු වී නැත. ඒ නිසා සූර්ය ගිනිදලු බිය හුඹස්‌ බියක්‌ පමණි.

ලෝක විනාශය සම්බන්ධ තවත් තර්කයක්‌ තිබේ. එය නම් මේ චක්‍රාවාටයේ තිබෙන සූර්යයා චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු ආදි ග්‍රහයින් එක පෙළට සමානව පිහිටන අවස්‌ථාවක්‌ වෙතොත් එකල්හි ලෝක විනාශය සිදුවන බවයි. නමුත් එම කතාව නිෂ්ප්‍රභ වන්නේ 1982 වසරේදී ද 2000 වසරේදී ද සියලු ග්‍රහයන් එක පෙළට සමානව පිහිටි අවස්‌ථා දෙකක්‌ වූ බැවිනි. නමුත් ඒ අවස්‌ථාවලදී ලෝක විනාශයක්‌ සිදුවූයේ නැත.

මේ ලෝක විනාශයක්‌ වෙතැයි බලාසිටින අයට දිය හැකි පිළිතුරුය. නමුත් බුදු දහම අනුව නම් කවදාක හෝ මේ ලෝකය විනාශය විය යුතුය. ක්‍රිස්‌තියානි සහ මුස්‌ලිම් ආගමද ලෝක විනාශයක්‌ සිදුවන බවට විශ්වාසය පළ කරයි. එහෙත් ඒ විනාශය සිදුවන්නේ කවදාදැයි එකදු ආගමක්‌වත් මතාන්තර පළ කරන්නේ නැත. නමුත් ලෝකය කවදාක හෝ විනාශ වේ. නමුත් ඒ දිනය එනතුරු බලා සිටිය යුතු නැත.

"මහණෙනි,· අප්‍රමාදව කුසල් රැස්‌ කරන්න."

බුදු හාමුදුරුවන් පිරිනිවන් මංචකයේදී කීවේත් අප්‍රමාද වන්නැයි කියාය.

මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට එක එක කාලයට එක එක වුවමනා වේ. ක්‍රි. ව. 2000 එළැඹෙන විට ලෝකයේ මිනිස්‌සු මිලේනියම් පිස්‌සුවකින් පිස්‌සු වැටී සිටියා අපට මතකය. වසර 2000 එළැඹෙන රාත්‍රියේදී මිනිස්‌සු මොන තරම් කලබල කළෙහිද? සැම නගරයක්‌ම සැනකෙළිවලින් පිරී ගියේය. අලුතින් ආරම්භ කළ කඩ සාප්පුවලට නම් තැබුවේ "මිලේනියම් " කියාය.

ලෝක විනාශයද තවත් එවැනි මෝස්‌තරයකි. නිකං කකා බිබී ඉන්නන්ට කතා කිරීමට දෙයක්‌ තිබිය යුතුය. දෝෂාභියෝගය, අය වැය, මැති ඇමැති දූෂණ වංචා ආදිය ගැන කතා කරනවාට වඩා ලෝක විනාශය ගැන කතා කිරීම පහසුය. එහි ජොලියක්‌ද ඇත.

ලෝක විනාශය සිදුවන්නට නියමිත 21 දාට පසුව අපේ මිනිස්‌සු අලුත් කතාවක්‌ සොයා ගනු ඇත. පත්තර, රේඩියෝ, රූපවාහිනී මාධ්‍ය පොහොර දමා ඒ කතාන්දර ඉදිරියට ගෙන යනු ඇත. මේ ලිපිය ආරම්භයේදී ලෝක විනාශය හැරුණු විට ඊළඟට කතා කෙරෙන දෙය වශයෙන් සඳහන් කළේ මේ දිනවල දිවයිනේ තැනින් තැන අහසේ දිස්‌වන ආලෝක ධාරාවන්ය.

මෙයින් පනස්‌ වසරකට පමණ පෙර අප කුඩා කල දේවතා එළි දැක ඇත්තෙමු. අහස දෙස බලා සිටින විට අහම්බෙන් මෙන් ආලෝක ධාරාවක්‌ සහිත තරුවක්‌ වැනි දෙයක්‌ ක්‍ෂණයකින් කඩා හැලී නිවී යනවා දැකීම අත්දැකීම් වශයෙන් ගත් බොහෝ දෙනෙක්‌ සිටිනු නිසැකය. කුඩා කල අප ඒවා හැඳින්වූයේ දේවතා එළි වශයෙනි. එමෙන්ම තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා ගැනද අපේ බෞද්ධ සාහිත්‍යයේ දක්‌නට ලැබේ.

අපේ රට ගතහොත් ජනතාව දෙකෝටියක්‌ පමණ වේ. ඒ අනුව තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් සිටී නම් අපේ රටේ එක්‌ මිනිසකු වෙනුවෙන් දෙවියන් දෙදෙනකුවත් සිටී. එසේ අප දෙවියන් රකිත් නම් ශ්‍රී ලංකා ජනතාව වන අප දෙවියන්ගේ පිහිටෙන් සුත මුදිත ජනතාවක්‌ විය යුතුය. එදා අප දේවතා එළි ලෙස බියපත් කළ, අප කුහුලින් තැබූ එළි ගැන අද විද්‍යාඥයින් අදහස්‌ පළකොට තිබේ.

මෙසේ ගිනි බෝල ලෙස හෝ තාරකා කඩා හැලෙන්නා සේ දිස්‌වන්නේ අභ්‍යාවකාශයේ ඇති කුඩා පාෂාණ කැබැල්ලක්‌ ආයු කාලය නිමාවී පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වේගයෙන් පෘථිවිය දෙසට ඇදී එයි. ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමඟම ඒ පාෂාණ කැබැල්ල ගිනි ගනී. අපට නොපෙනෙන ඉතාම ඉහළ අහසේ සිට ගිනි ගැනී පහත එද්දී නිවී යන්නේ අභ්‍යවකාශයේ තැනින් තැන තිබෙන පාෂාණ කැබැලිය. 

සිය ආයු කාලය අවසන් වීම නිසා අභ්‍යාවකාශයේ තිබෙන බොහෝ අබලි කැබලි පොළොවට පහත් වේ. එහෙත් පෙළොවට පතිත වන්නට පෙර ඒවා විනාශ වී යයි. අපට දේවතා එළි ලෙස පෙනෙන්නේ ඒවාය.

මේ දෙසැම්බරයේ අහස නිරීක්‍ෂණය කරන්නෙකුට ග්‍රහ වස්‌තු රාශියක්‌ දැක ගැනීමට හැකිය. රාත්‍රි 9 න් පසු නැගෙනහිර අහස නිරීක්‍ෂණය කළහොත් නිල්, සුදු තරුවක්‌ ලෙස බ්‍රහස්‌පති තාරාකාව ඔබට දැකිය හැක. උදෑසන 5.00ට පමණ ගිනිකොණ දෙසින් අහසේ දීප්තිමත් සුදු, නිල් තරුවක්‌ දැකිය හැකි වෙයි. ඒ සිකුරු තරුවයි. 

මේ අයුරින් බුධ තරුවද දැකිය හැකි බැව් තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ ග්‍රහ තාරකාවන් දකින්නට අහස දෙස බලන්නට කිසිවකුටත් වෙලාවක්‌ නොතිබීමය. දැන් මිනිස්‌සු රෑ අහස දෙස බලනවා වෙනුවට රාත්‍රි කාලයේ බලන්නේ රූපවාහිනී ටෙලි නාට්‍ය සහ සංගීත වැඩසටහන්ය. 

කෙසේ නමුත් සාකච්ඡාවට පාදක විය යුතු ප්‍රශ්නය නම් මේ දිනවල අහසේ තැනින් තැන දිස්‌වන ආලෝකයන්ය. දිවයිනේ තැනින් තැන ඇතැම් ප්‍රදේශවලින් උදෑසන සහ රාත්‍රි කාලයන්හිදී අහසේ ආලෝකයක්‌ දකින්නට ලැබිණි යෑයි ප්‍රදේශවාසීහු කියති.

මේ පෙනෙන ආලෝක වස්‌තූන් මොනවාදැයි හරිහැටි කියන්නට මෙරට තාරකා විද්‍යාඥයෝ අසමත් බව ඔවුන් කියන කතාවලින් පෙනේ. මේ පෙනෙන එළි මොනවාදැයි කියන්නට ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයද අසමත් වන බව පෙනේ. මෙවැනි එළි දක්‌නට ලැබී ඇත්තේ අපේ රටේ පමණක්‌ නොවේ.

නෝර්වේ රට යනු දියුණු රටකි. ඒ රටේ හෙස්‌බැලන් නම් නිම්නයේ මෙවැනි අද්භූත එළි දක්‌නට ලැබී ඇත. 1983 සිට ඒ රටේ විද්‍යාඥයින් මේ අද්භූත එලි ගැන පර්යේෂණ සිදුකර ඇත. මෙවැනි අද්භූත එළි දිස්‌වීමට හේතු ගණනාවක්‌ එම විද්‍යාඥයින් ඉදිරිපත්කොට ඇත.

අහසේ යන ගුවන් යානාවක්‌ මත පතිත වන හිරුඑළිය පරාවර්තනය වීමෙන් මෙවැනි එළියක්‌ සෑදිය හැක. කාලගුණ පරීක්‍ෂණ බැලුනයක එළියෙන් මෙවැනි එළියක්‌ නිකුත් විය හැක. පෘථිවි වායුගෝලයට ඇතුළුවන උල්කාපාතයක්‌ ඇද හැලීමෙන් මෙවැනි ආලෝකයක්‌ දිස්‌විය හැක. කන්දක්‌ නගින මෝටර් රථයකින් දිස්‌වන පහන් ආලෝකය පරාවර්තනය විමෙන් ආලෝකයක්‌ නැගිය හැක. කෙසේ වෙතත් අහසේ දිස්‌වන ආලෝක ගැන නෝර්වේ විද්‍යාඥයන්ට වුවද නිසි පිළිතුරක්‌ දිය නොහැකිව තිබේ.

අපේ රටේ තාරකා විද්‍යාඥයන්ටද මේ ආලෝක ධාරාවන් ගැන පිළිතුරු දි ගත නොහැකිව සිටී. මේ ආලෝක ධාරා විද්‍යාත්මක සාධක මත බහා තාර්කිකව ඉදිරිපත් කළ නොහෙන විද්‍යාඥයෝ ඒවා ගුප්ත අද්භූත දේ ලෙසද පිළිගැනීමට අකමැතිය.

මෙතුවක්‌ කාලයක්‌ සඳ මත ඇත්තේ සස ලපයකැයි අපි විශ්වාස කළෙමු. එහෙත් නීල් ආම්ස්‌ට්‍රොන් සඳ මත පා තැබූ කල්හි ඒ සස ලපය නොව සඳෙහි ආවාට බව අපි දැනගත්තෙමු. නමුත් ඉර, සඳ දේවතාවන් ලෙස තවමත් අපි පිළිගනිමු. හිරු සඳු දෙදෙනා කලට අව්වැසි ලබා දෙන අපට භව භෝග ශස්‍ය සම්පත ලබා දෙන දෙවියන් බවට අපේ විශ්වාසය තවමත් පවතී. 

ප්‍රත්‍යක්‍ෂයෙන් ස්‌පර්ශ කළ නොහැකි තාර්කික ඥානයෙන් අත ගා බැලිය නොහැකි ලෝකයක්‌ද තිබෙන බැව් මින් පෙනේ. අද්භූත ආලෝකයන් මෙන්ම අද්භූත යානාවන්ද වරින් වර පෙනී සිටි. මේවා මොනවාදැයි තවමත් හඳුනාගෙන නැත.

මේ අපට නොපෙනෙන ලොවක්‌ ඇති බවට සාධකය. ඒවා මිථ්‍යාවේ කඩතුරාවෙන් වසාලිය නොහැක. විද්‍යාවෙන් හැම දෙයක්‌ම ප්‍රත්‍යක්‍ෂ කළ නොහැකි අතර ලෝකය හාස්‌කම්වලින් පිරී පවතී. අප්‍රිකානු ගෝත්‍රික ජනයා අතර පවතින ලෙඩ සුව කරලීමේ හාස්‌කම් කිසිදු විද්‍යාඥයෙකු හෙළිදරව් කර ගැනීමට අසමත්ව තිබේ.


පෘථිවියට කිමී 226000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා –නාසා

කිසිම ග්‍රහයෙක්‌ හෝ උල්කාපාතයක්‌ පෘථිවියේ ගැටෙන්නේ නැතැයි ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයනය ප්‍රකාශ කරයි.

ටව්ටාටිස්‌ නමැති ග්‍රහයා පෘතුවියට කිලෝමීටර් 226000 ක්‌ දුරින් ගමන් කරන බවද නාසා ආයතනයේ බලධාරීහු තවදුරටත් දන්වා ඇත.

එහෙත් මේ ග්‍රහයා නිසා සූර්යග්‍රහණයක්‌ ඇති වන බවද ඔවුහු කියා සිටී. මෙම ග්‍රහයා පෘතුවිය සමග ගැටෙන බවට මුලින් ප්‍රචාරය විය.

 
Related Posts with Thumbnails