Ads 468x60px

.

ලෝක විනාශයට සියල්ල සුදානම්...

ඔබ ලෝක විනාසෙට ලෑස්තිද?”...

සමහර බ්‍රිතාන්‍ය වැසියන් ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වන ආකාරය සිත් ගන්නාසුළුය. 

මේ කියන විනාශය කෙසේ සිදුවේදැයි හරියටම කිසිවෙකු නොදනිතත්, ගංවතුර හෝ සුනාමි තත්ත්වයකින්, අභ්‍යවකාශයෙන් කිසියම් වස්තුවක් ‍පොළවට වැටී එය ගිනි ගැනීමෙන්, සූර්ය ගිනි දැල්ලකින්, සුළි සුළඟකින් හෝ භූමි කම්පාවකින් ලෝකය විනාශවනු ඇතැයි මෙම පුද්ගලයෝ සිතති. එම නිසා ඔවුන් බොහෝ වියදම් කර බඩු භාණ්ඩ රැස්කරගෙන ඇත්තේ කෝකටත් සූදානමිනි.

ලෝක විනාශයට වඩා විනාශකාරී ප්‍රශ්නවලින් වටවී සිටිය දී වුවත් “ලෝක විනාසෙට ලෑස්තිද?” යන්න මේ දිනවල කවුරුන් මුණ ගැසුණත් ඇසෙන ප්‍රශ්නයකි. දෙසැම්බර් 21 වනදාට ලෝකයම විනාශ වී යන්නේ නම් අදහන ආගමක් සිහි කරගෙන බලා සිටිනු මිස ඊට අමුතුවෙන් කියා සූදානම් වීමට දෙයක් නැතැයි අප සිතුවත් සැවොම එසේ නොසිතති.

හාල් මුට්ටියේ සිට උපත් පාලන කොපුව දක්වා අවශ්‍ය සියලු දේ රැස් කරගෙන ලෝක විනාශයට මුහුණ දීමට සැරසෙන එවැනි මිනිසුන් පිළිබඳව ලොව දස දෙසින් අසන්නට ලැබේ. එවැනි පුද්ගලයන් පිළිබඳව නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවේ විශේෂ වැඩසටහනක් ද විකාශය විය.



ගුහාවක සැඟවුණත් මහ මුහුද මැද සිටියත් මරණයෙන් ගැලවෙන්නට බැරි බව බුදු දහමේ කිව්වත්, බ්‍රිතාන්‍ය ජාතික විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වන එඩ්වඩ් ඕ’ටූල් මීට වසර 14කට පෙර ලෝක විනාශයෙන් බේරීම සඳහා සිය මවුබිම අතැර ස්ලෝවැකියාවේ හුදෙකලා ස්ථානයක පදිංචියට ගියේය. 

දැන් විවාහ වී දරුවන් තිදෙනෙකුගේ පියෙකු වී සිටින ඔහු දඩයම් කරමින් ගල් යුගයේ ජීවන රටාවක් ගෙවන්නේ අනාගතයේ පැමිණෙන අඳුරු යුගයට දැන්ම හුරු වීම සඳහාය. 

ඕ’ටූල් පවසන පරිදි ලෝකයේ සමහර රටවල රජයන් ද ලෝක විනාශය සිදුවන දිනය සඳහා හොර රහසේ සූදානම් වෙමින් සිටිති. චීනයේ සහ රුසියාවේ ඒ සඳහා බංකර් පවා සකසා ඇති බව ඔහු කියයි. සමස්ත රුසියානු ජනගහනයටම සැඟවිය හැකි තරම් බංකර ප්‍රමාණයක් රුසියාවේ ඇති බව ද ඔහු කියා තිබුණි. 

ගස්වල අතු කප්පාදු කර ඒවාට සාත්තු කරන රැකියාවකයෙදී සිටින බ්‍රිතාන්‍යයේ මැල්කම් බෝලර් ද ලෝක විනාශය ගැන බියෙන් සිටින්නෙකි. ලෝක විනාශයෙන් පසුව පණ ගැටගසා ගැනීම සඳහා දඩයමේ යාමට සිදු වෙතැයි විශ්වාස කරන ඔහු පසුගිය වසර 20 තුළම ඒ සඳහා අවශ්‍ය ආයුධ එකතු කර තිබේ. 

ඔහු කියන්නේ ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වීම ප්‍රථමාධාර පිළිබඳ ඉගෙනගැනීම බඳු බවයි. එම දැනුම යොදා ගැනීමට අවස්ථාවක් නොලැබේවායි අප පැතුවත් පසුව කනගාටු වනවාට වඩා ආරක්ෂාවීම හොඳ බව ඔහුගේ අදහසයි. 

ලෝක විනාශය සිදුවන අවස්ථාවේ සැඟවී සිටීමට ස්ථාන සූදානම් කරගෙන සිටින අය පිළිබඳව ද අසන්නට ලැබේ. තවත් සමහරු එවැනි අවස්ථාවක දී පලා යාමට අවශ්‍ය වුණොත් ඒ සඳහා වාහන ද සූදානමෙන් තබාගෙන සිටිති. විශ්‍රාමික හමුදා භටයෙකු වන මයිකල් සැන්ඩර්සන් ද එවැන්නෙකි. 

මිනිත්තු 15ක කෙටි දැනුම් දීමක් මත සිය බිරිඳ සහ කුඩා දියණියන් දෙදෙනා සමග යාමට ඔහු ආරක්ෂිත ස්ථානයක් සූදානම් කරගෙන සිටින අතර, එසේ පලා යාම සඳහා වාහනයක් ද සූදානමින් තිබේ. 

මාස තුනක් ජීවත් වීමට අවශ්‍ය ආහාර ද ඔහුගේ වාහනයේ ඇත. එසේම හදිසි අවස්ථාවක පලා යන ආකාරය ගැන ඔහු පවු‍ලේ අයට පෙර පුහුණුවක් ද ලබා දී තිබේ. ඔහු සිතන්නේ ලෝක විනාශය පැමිණෙන්නේ ස්වභාවික විපතක වෙසින් බවයි. එවැනි අවස්ථාවක ප්‍රමාදය මරණය කැඳවිය හැකි බව ඔහු කියයි. 

මෙවැනි සූදානම් වීමක් සඳහා ඔහු ‍පොළඹවනු ලැබ ඇත්තේ කත්‍රිනා සුළි කුණාටුව විසින් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයට මහා විනාශයක් සිදුකරනු දැකීමෙනි. සැන්ඩර්ස් සිතන ආකාරයේ විනාශයක් සිදුවුවහොත් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කෙනෙකු ඉතිරි නොවන නිසා නීති විරෝධී ක්‍රියා ද සිදුවීමට ඉඩ තිබේ. තම ආහාර ගබඩාවට අත තැබිමට කවුරුන් හෝ උත්සාහ කළොත් නීතිය අතට ගෙන හෝ සිය පවුල රැකගැනීමට පසුබට නොවන බව ඔහු කීවේය.

බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් ප්‍රදේශයේ ජීවත් වන පීට් ස්ටැන්ෆර්ඩ් ද ලෝක විනාශයට මුහුණ දීමට වසර පහක සිට අවි මුවහත් කරගෙන සිටින්නෙකි. විනාශ නොවන ස්ථානයක් යැයි තමන් සිතන රහසිගත ස්ථානයක් ඔහු සූදානම් කරගෙන සිටින අතර, එහි ළඟා වීම සඳහා ඔහුට හුළං පිරවිය හැකි බෝට්ටුවක් ද තිබේ. පරමාණුක සහ රසායන අවිවලින් ප්‍රහාරයක් එල්ල වුණොත් ඒවායින් බේරීම සඳහා අවශ්‍ය විශේෂ ඇඳුම් ද ඔහු සතු ය.

ඇනී ඩර්බින් යනු ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වන ලන්ඩනයේ ජීවත් වන ඇමෙරිකානු ජාතික කාන්තාවකි. මෙවැනි සූදානමක් ඇතිව සිටින එකම කාන්තාව තමන් පමණකැයි ඇය විශ්වාස කරයි. එසේ සූදානමක් ඇති කර ගැනීමට ඇය පෙළඹී ඇත්තේ 2011 වසරේ ලන්ඩනයේ පැවති කැරළි කෝලාහල තත්ත්වය දැකීමෙන් පසුවය. 

තරුණයන් කිහිප දෙනෙකුට එකතු වී මෙතරම් හරියක් කළ හැකි නම් ඊට වඩා ලොකු දෙයක් සිදු වුණොත් කුමන තත්ත්වයක් ඇති වේදැයි ඇයට ඒ අවස්ථාවේ සිතී ඇත. ඉන්පසුව ඇය මාස තුනකට අවශ්‍ය ආහාර පාන රැස් කරතබා ගත්තාය. එසේම සිය කොමාන්ඩෝ පිහිය ඇතුළු මෙවලම් කට්ටලයක් ද ඇය සූදානමින් තබා ඇත. 

අසරණ වීමට ඇති අකැමැත්ත නිසා මෙවැනි සූදානමකින් සිටින බව ඇනී වැඩිදුරටත් කියා තිබුණි. වෙනකක් තබා ඇය කුරානයක් ද සිය කට්ටලයට එක් කරගෙන ඇත්තේ ඇය ජීවත්වන්නේ බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනගහනය වැඩිම ප්‍රදේශයක නිසාය කොණ්ඩය පීරන බුරුසුවක් පවා ඇගේ මෙවලම් අතරට එක් කරගෙන ඇත්තේ ලෝක විනාශය සිදුවුවත් කොණ්ඩය පීරා ලස්සනට සිටීම වැදගත් නිසා ය. 

ගැහැනුන් සහ පිරිමින් සිතන ආකාරයේ පරස්පරබව ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වීමේ දී කියා වෙනස් නොවේ. ඇනී උපත් පාලන ද්‍රව්‍ය පවා සූදානම් කරගෙන ඇත්තේ ඇගේ ගැහැනු ඉව අනුවය. 
බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රදේශයේ ජීවත් වන රෝයිස්ටන් උප්සන් නමැත්තා සූදානම් වන්නේ හිරුගෙන් නිකුත් වන සූර්ය දැල්ලකින් ආරක්ෂා වීම සඳහාය. 

ඔහුගේ විශේෂත්වය වන්නේ තනිවම බුදුවීමට නොව අඩු ගණනේ තමන් ලෙසම සිතන තවත් දුසිමක්වත් බේරාගැනීමට ඔහු පිඹුරුපත් සකස් කිරීමයි. එම පිරිස සමග නව සමාජයක් බිහි කිරීම ඔහුගේ බලා‍පොරොත්තුවයි. 

මෙම විනාශයෙන් පසුව ලෝකය කාර්මීකරණයට පෙර පැවැති වික්ටෝරියානු යුගයේ සමාජ ක්‍රමයකට යන නිසා එවැනි ක්‍රමයක් තුළ පැවතීමට හැකියාව හුරු පුරුදු කරගත යුතු බව ඔහු සිතයි. අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ද ඔහු කිසිවෙකුටත් කොල්ල කෑ නොහැකි තැනක ඉතා පරිස්සමින් ගබඩා කර ඇත. 

මේ සඳහා ස්ටර්ලින් පවුම් දහස් ගණනක මුදලක් වැය වුවත් කෙසේ හෝ වසර දෙකක් ජීවත් වීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කිරීම ඔහුගේ අපේක්ෂාවයි. කෙසේ වුවත් තමන් තනිවම නොව එකිනෙකා රැකබලා ගන්නා පිරිසක් සමග එම රැස් කරගත් ද්‍රව්‍ය භුක්ති විඳිමින් ජීවත් වීමට ඔහු සිතා සිටී. එම පිරිසේ නායකයා වීමට සිදුවන්නේ තමන්ට බව ඔහු කියා තිබුණි.

හිටපු හමුදා භටයෙකු සහ පස්දරු පියෙකු වන සයිමන් ඩිලන් ද වසරකට සෑහෙන ආහාර පාන රැස්කරගෙන සිටින්නෙකි. තමන් විසින්ම එළවළු පලතුරු වැවීමටත් කුකුළන් පාලනයටත් පුරුදුව සිටින ඔහු ආහාර සංරක්ෂණ ක්‍රම ගැන ද හොඳින් දැනුවත්ය. මෙම සියලු සූදානම් වීම් සඳහා ඔහුට වැය වී ඇති මුදල පවුම් 20,000 (රු.මිලියන 41ක් පමණ)කි.

ඩිලන් කියන්නේ තමන් ආයෝජනය කර තිබෙන්නේ ආහාර සඳහා බවයි. කාලගුණය බෙහෙවින් අයහපත් වී ප්‍රවාහන කටයුතු ඇණ හිටියත් තමන් ආහාරයෙන් ස්වයං‍පෝෂිත බව ඔහු කියන්නේ ආඩම්බරයෙනි. මෙම සූදානම්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සිය පවුල රැකගැනීම සහ හදවත් රෝගයක් සහ අංශභාග තත්ත්වයක් සහිත සිය බිරිඳ රැකබලා ගැනීම බවත් ඔහු පවසා තිබුණි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් ලෝක විනාශයට මුහුණ දීමට සූදානම් වූ පිරිස මිලියන තුනක් පමණ සිටින බව ද මාධ්‍ය වාර්තා කළේය. හදිසි අවස්ථාවකට මුහුණදීමට සූදානම් වීමට ඇමෙරිකානුවන් බොහෝ දෙනා පෙළෙඹවූ කරුණු වන්නේ ආර්ථිකයේ කඩාවැටීම, සැප්තැම්බර් 11 සිදුවීම සහ කත්‍රිනා සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයි. 

බලකොටුවක් තනාගෙන ගිනි අවි සහ උණ්ඩ 25,000කින් සන්නද්ධ වී, වසර 50ක් ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ආහාර රැස්කරගෙන සිටින යුවළක් ගැන ද එරටින් වාර්තා වේ. තවත් පුද්ගලයෙකු සිය පිහිනුම් තටාකයේ තිලාපියා මාළුන් දහසක් ඇති කරන්නේ ලෝක විනාශයෙන් පසුව තමන්ට ආහාර හිඟ නොවීම සඳහාය. 

හිටපු හමුදා නිලධාරියෙකු වන ඇරිසෝනාහි ටිම් රෝල්ස්ටන් ලෝක විනාශයට සූදානම්වීම ජයටම කරගෙන යන්නෙකි. ආහාර, ආයුධ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල ඔහුගේ ගරාජයේ ගොඩගසා ඇත. එම ආහාර සමහරක් වසර 15ක් කල් තබා ගත හැකිය. 

සතියකට වරක්වත් ඔහු සිය පුතුන් දෙදෙනා කාන්තාරයට කැඳවාගෙන ගොස් ඉලක්කයට වෙඩි තැබිම පුරුදු කරවන්නේ ලෝක විනාශයෙන් පසුව ඇති විය හැකි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය නිසාය. අනෙක් අය ජීවිත රක්ෂණ සඳහා අධික මුදලක් වියදම් කරන බව සිහිපත් කරන ටිම් නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවට කියන්නේ මෙම සූදානම් වීම ද ජීවිත රක්ෂණයක් බවයි.  

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ජීවත් වන 46 හැවිරිදි රොබට් බාස්ට් ද ලෝක විනාශයට සූදානම් වීම සඳහා ඩොලර් 350,000ක් පමණ වැය කර ඇත්තෙකි. සාමාන්‍ය රැකියාවක් කරන රොබට් මේ සියල්ල සඳහා මුදල් සොයාගෙන අත්තේ දැනට ජීවත්ව සිටින නිවස උගස් කිරීමෙනි එම මුදලෙන් මුහුදු මට්ටමෙන් අඩි 15,000ක් උස ප්‍රදේශයක අක්කර 75ක ඉඩමක් මිලට ගත් ඔහු එහි නිවසක් සහ බංකරයක් තනා ඇත.

ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු සූදානම් වන්නේ දෙසැම්බර් 21 දා පැමිණෙන ලෝක විනාශයට නොව, ඕනෑම මොහොතක සිදුවිය හැකි යැයි ඔහු සිතන ලෝක විනාශයක් සඳහාය.

ඉහත සඳහන් කළ සියලු දෙනාම ‍පොදුවේ බිය වන කරුණක් තිබේ. එනම්, ස්වාභාවික ව්‍යසනයකින් පසුව සමාජය අරාජික වී පුද්ගලයන් විසින් නීතිය අතට ගනු ලැබිමයි. එහි දී ආහාර ටිකක් සොයා ගැනීම සඳහා පුද්ගලයන් ප්‍රචණ්ඩ ලෙස කටයුතු කරනු ඇති බව ඔවුන්ගේ බියට හේතුවයි. එවැනි තත්ත්වයකින් බේරීමට අවශ්‍ය උපක්‍රම ගැන ද ඔවුන් බොහෝ උනන්දු වී තිබේ.

ලෝක විනාශය පිළිබඳ බිය සමග ප්‍රථාමාධාර ඉගෙන ගන්නා පිරිස ද ඉහළ ගොස් ඇති බව රතු කුරුස සංවිධානයේ වාර්තාවල දැක්වේ. ලෝක විනාශය පිළිබඳව මෑත කාලීනව බිහි වූ සිනමා නිර්මාණ ආදිය ද පුද්ගලයන් තුළ මෙවැනි පෙර සූදානමක් ඇති කිරීමට හේතු වූ බව පැවසේ.

ඉදිරි දශක දෙක තුළ විශාල දේශගුණික ව්‍යසනයක් වනු ඇති බවත්, අප එයට සූදානමින් සිටිය යුතු බවත් නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවේ සමීක්ෂණයකට ලක් වූ දහසකින් සියයට 61 දෙනෙකුම පවසා තිබුණි. 
ලෝක විනාශය විකිණීමෙන් ලෝකය විනාශ කරන බොහෝ පිරිස් ද ඇති බව අන්තර්ජාලයේ සැරිසරන විට පෙනේ. 

රොබට් විසිනෝ නම් දේපළ වෙළෙඳාම් ව්‍යාපාරිකයා සිය මඩිය තර කරගෙන ඇත්තේ සුඛෙපභෝගී බංකර් තැනීමෙනි. ලෝක විනාශයට මුහුණ දීමට අවශ්‍ය උපකරණ සහ මෙවලම් රාශියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවියට ද තබා ඇත. කල්තබා ගත හැකි ආහාර වර්ග, මෙවලම් කට්ටල, හෙල්මට්, මුදල් භාවිතයක් නොවුණොත් අවශ්‍ය ද්‍රව්‍යවලට හුවමාරු කරගැනීමට හැකි දියමන්ති අරුංගල් පමණක් නොව වැසිකිළි කඩදාසි (ටොයිලට් පේපර්) ද ඒ අතර වේ. එසේ ම ලෝක විනාශය අවස්ථාවේ පණ ගැට ගසාගන්නා අයුරු කියා දෙන ‍පොත් රැසක් ද පළ වී තිබේ.
 
Related Posts with Thumbnails