Ads 468x60px

.

මුළු ඇටම්පිටිය ගම්මානයම කම්පා කරමින් වියෝවූ දීප්තිගේ මරණයේ අභිරහස...

සැබැවින්ම මෙම පුවත තවත් එක් සිද්ධියක්ද..?

එහි ඊට එහා තිබෙන කතාව කුමක්ද..?

පවුලට ආවේණික ගැටලුවක ප්‍රතිඵලයක් පමණක්ද?

අම්මාගේ ඔවදනින් කම්පාවී දිවි නහගත් ඇටම්පිටිය මහ විදුහ‍ලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය 11 හැවිරිදි දියණියකි. 

ඇය දිවිනසා ගැනීමට පෙර ලිපියක් ලියා එය නිවසේ රූපවාහිනී යන්ත්‍රය අසලින් තබා තිබෙනවා.  එහි මූලික වශයෙන් සඳහන් කර තිබෙන්නේ ආදරේ කරුණාව නැති නිසා සියදිවි නසාගැනීමට තීරණය කළ බවය.


දැරියගේ මව ‍පොලිසියට පවසා ඇත්තේ දියණිය සිව් හැවිරිදි මල්ලී සමග නිතර රණ්ඩු සරුවල් වන බවත් දිවිනසා ගත් ජනවාරි 13 වැනි දාත් එලෙස රණ්ඩුසරුවල් ඇතිකරගත් නිසා ඇයට බැණ වැදී තරවටු කළ බවය.

ඉන්පසු එම මව එදින දිවා ආහාර පිස දරුවන් දෙදෙනාට කන්නට දී සවස 4.30ට පමණ දියණිය ගෙදර නවතා කුඩා දරුවා සමග තරමක් ඈතින් පිහිටි හිතවත් ගෙදරකට ගොස් තිබෙනවා. පැය එකහමාරකට පසු යළි ගෙදර එනවිට මව දුටුවේ ගෙල වැල ලාගෙන දිවි නසාගත් තම දියණියගේ මළ සිරුරය. 

සැබැවින්ම මෙම පුවත තවත් එක් සිද්ධියක්ද? එය එම දියණිය හැදී වැඩුණු ඇගේ පවුලට ආවේණික ගැටලුවක ප්‍රතිඵලයක් පමණක්ද? නොඑසේ නම් එය එම කුඩා පවු‍ලේ අභ්‍යන්තර ප්‍රශ්නයක්ද? එහි ඊට එහා තිබෙන කතාව කුමක්ද?


පසුවදන

බොහෝ විට මෙවැනි අර්බුදයකට යම් පවුලක් මුහුණදුන් විට සාමාන්‍ය ජනයා කල්පනා කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න, උන්ගේ වැරදි යන පටු සිතුවිල්ල මුල් කරගෙනය. එසේත් නැත්නම් හා හූ ගා විස්මයට පත්වීම සමහරුන්ගේ සිරිතය.

යම් පුද්ගලයකු විවිධ හේතු නිසා සිය දිවි නසා ගත හැකිය. අවසානයේ ඒ සියලු හේතු මගින් කරනු ලබන බලපෑමෙන් නිර්මාණය වන්නේ තමන් තමන්ගේ ජීවිතය ප්‍රතික්‍ෂේප කරන ආවේගයකි. සමහරුන් ඉතා ක්ෂණිකව ජීවිතය ප්‍රතික්‍ෂේප කළ හැකිය. එහෙත් බොහෝ විට වෙන්නේ තමන්ගේම ජීවිතය ප්‍රතික්‍ෂේප කරන මනස ක්‍රමයෙන් ගොඩනැගීමය.

කොහොම නමුත් සියදිවි නසා ගැනීමට තීන්දුවක් ගැනීම කිසිසේතම පහසු වැඩක් විය නොහැකිය. එය තම තමන්ගේ සිත සමග එහි නානාප්‍රකාර ආවේග, හැඟීම්, සිතුවිලි ආදිය සමග කරන සටනකින් අභ්‍යන්තර යුද්ධයකින් පසු ගනු ලබන්නකි. 

වැඩිහිටියකුගේ සියදිවි නසාගැනීමක් විග්‍රහ කර බලන කල අපට සාමාන්‍යයෙන් කල්පනා කළ හැක්කේ එවැන්නකුට ලැබිය හැකි පීඩනය ඉහළ හෙයින් එවැනි තීන්දුවක් ගන්නා තැනට යොමුවීම අරුමයක් නොවිය හැකි බවය. පීඩනයේ ඉහළයාම නිසා සියදිවි නසා ගන්නා තැනැත්තා හෝ තැනැත්තිය තුළ තමන් අසරණය, පිළිසරණක් නොමැත යන හැඟීම ඇතිවේ. 

සියදිවි නසාගැනීමේ තීරණාත්මක අවස්ථාවක් සේ මෙම අසරණභාවය පිළිබඳ ආවේගය ඉස්මතුවීම දැක්විය හැකිය. එහෙත් කුඩා දරුවකු තම දිවිය නසාගැනීම ගැන තීන්දුවක් ගන්නේ කෙසේද? එවැනි තැනකට දරුවකු හෝ දැරියක යොමුකරන පීඩනය කෙබඳු එකක් විය හැකිද? ඉහත අප දැක්වූ කරුණු අනුව පැහැදිලිවෙන්නේ කුඩා දරුවකු එබඳු තීන්දුවක් ගන්නේ නම් එය ඉතාම බරපතළ අසරණභාවයක  ප්‍රතිඵලයක් විය හැකි බවය.

අපි යළි මුලින් දැක්වූ 11 හැවිරිදි දියණියගේ සියදිවි නසාගැනීම පිළිබඳ අවධානය යොමු කරමු. මුලින්ද අප දැක්වූ පරිදි එම දැරිය සියදිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියේ සඳහන්කර තිබෙන්නේ තමන්ට කවුරුවත් ආදරේ කරුණාව නැති බවය. 

සැබැවින්ම දැරියගේ මේ සඳහන කවරකුගේ වුව හදවත සලිත කරනු නිසැකය. එසේම නෙතු අග කඳුළින් තෙත් කරනු ඇත. ඇගේ එම වචන කීපය ඇය අත්විඳි දැඩි මානසික හුදෙකලා භාවය ඉස්මතු කරයි.
ඇගේ මව බොහෝ පවුල්වල කරන පරිදි ඇයට තරවටු කර බැණ දොඩා සිව් හැවිරිදි පුංචි මල්ලීගේ පැත්ත පමණක් ගෙන තිබුණා විය හැකිය.

පවුලකට පළමුව ලැබෙන දරුවා හෝ දැරිය දෙමාපිය වැඩිහිටියන්ගේ දැඩි හුරතලයට. සැලකිල්ලට ලක්වෙයි. එහෙත් බොහෝ විට මේ සැලකිල්ල, ආදරය, හුරතල් කිරිල්ල තිබෙන්නේ එම පවුලට දෙවැනි දරුවා ලැබෙන කල් පමණි. දෙවැනි දරුවා ලැබුණු පසු සියල්ලෝම පළමු දරුවා අමතක කරති. කාගේත් අවධානය යොමුවන්නේ දෙවැනි දරුවාටය. 

එහෙත් මේ වෙනස්වීම පවු‍ලේ පළමු දරුවාට බලපාන ආකාරය ගැන බොහෝ මාපියන්ට අවබෝධයක් නැත. වැඩිහිටි දරුවා තමන්ගෙන් ගිලිහී ගිය අවධානය දිනාගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙයි. බොහෝ විට මාපියෝ ඒවා නිකන් විකාර යැයි කියා නොසලකා හරිති. 

එසේත් නැත්නම් දරුවාට සැර වැර වෙති. ඉන්පසු වැඩිහිටි දරුවා තම බාල සහෝදරයා හෝ සහෝදරිය කෙරෙහි යම් නොරිස්සුම් සහගත හැඟීමක් ඇතිකර ගනී. ඉන්පසු ඔවුන් සමග නිතර ගැටුම් ඇතිකර ගැනීමට රණ්ඩු සරුවල් කරගැනීමට යොමු වෙයි. ගැටුමට මැදිහත්වන මාපියන් කරන්නේ වැඩිහිටි දරුවාට අගක් මුලක් නොදැන පහරදීමය. 

11 හැවිරිදි දියණියගේ කතාවෙන් පැහැදිලිවන්නේ එවැනි සිද්ධි දාමයක් අවසන් වූ ආකාරයයි. අද බෙහෙවින් දැකිය හැකි න්‍යෂ්ටික පවුල තුළ මෙවැනි ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ වැඩිය.

විස්තෘත පවු‍ලේ ආච්චි, සීයා ආදී වශයෙන් සාමාජිකයෝ රැසක් සිටියහ. එනිසා මාපියන්ගේ තරවටුකිරීම්වලට ලක්වන දරුවා යොමුවන්නේ සීයා හෝ ආච්චි වෙතටය. නො එසේනම් වැඩිහිටි ඥාතියකු වෙතටය.

මාපියන්ගේ පහරකෑමට ලක්වන දරුවා ආච්චි සීයා ළඟට ගියවිට එම වැඩිහිටියෝ මාපියන්ට තරවටු කර දරුවාගේ හිස සිඹ පිරිමැද හුරතල් කරති. ඉන්පසු කුමක් හෝ කතාවක් කියාදෙති. එහෙත් න්‍යෂ්ටික පවුල තුළ සිරගත වූ දරුවාට එම භාග්‍යය අහිමිවී තිබේ. 

පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය මගින් සමාජයට බල කෙරෙනුයේ හැකි තරම් කුඩා ඒකකවලට කැඩී ගොස් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සටන් කිරීමටය. න්‍යෂ්ටික පවුල් බිහිවන්නේ එවැනි පසුබිමෙකය. න්‍යෂ්ටික පවුල්, තුළට පවුල් ජීවිතය එහි මතුවෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීම ආදී කරුණු පිළිබඳ පුළුල් දැනුමක් ගලා එන්නේ නැත. 

එපමණක් නොව අපේ සාම්ප්‍රදායික විස්තෘත පවුල තුළ පළමු තැන ලැබුණේ වැඩිහිටි දරුවාටය. පියා රැගෙන එන මල්ල දෙන්නේ ලොකූ යැයි  කතාකර ගෙදර වැඩිහිටි දරුවාටය. එලෙස මල්ල දී ඉස්සරහට දුවගෙන එන පුංචි දරුවා වඩාගෙන වැඩිහිටි දරුවාගේ අතට දුන් මල්‍ලේ තිබුණු රස කෑමක් ගෙන එය ‍පොඩි දරුවාට කවයි.

එසේත් නැත්නම් මල්ලී නංගී සමග බෙදාගෙන කන්නැයි වැඩිහිටි දරුවාට කියයි. මෙවැනි දැනුමක් නොලැබිම නිසා 11 හැවිරිදි දැරියගේ මවට තම දියණිය අහිමිවී තිබේ. 

සියදිවි නසා ගන්නවාට අමතරව න්‍යෂ්ටික පවුල්වල හැදෙන වැඩෙන දූ දරුවෝ වයස 11, 12, 13 අතර කාලයේදීම විරුද්ධ ලිංගිකයන් සමග පෙම් සබඳතා ගොඩනගා ගැනීමට ද යොමුවෙති.

මෙහි තවත් පැත්තක් වන්නේ මාපියන්ගේ අවධානයෙන් ගිලිහෙන දූ දරුවන් අද සමාජයේ සුලභව දැකිය හැකි යම් අසහනයකින් පීඩා විඳින, විෂම ස්ත්‍රී පුරුෂයන්ගේ ග්‍රහණයට හසුවීමයි. අවසානයේ සමාජයට වෛර කරන තැනට පත්වී මෙම දරුවෝ ජීවිත අඳුරු කර ගනිති.

සමහර මාපියන් දූ දරුවන් ගැන කල්පනා කරන්නේ මෙයට වසර තිහ හතළිහකට පෙර කල්පනා කළ ආකාරයටය. දූ දරුවන් යනු සමාජයේ කැඩපත වෙති යන විවරණය ගැන ඔවුනට අවබෝධයක් නොමැත. වැඩිහිටියා යනු ඔහු ජීවත්වන සමාජ ක්‍රමයේ නිෂ්පාදනයකි. කුඩා දරුවා එම වැඩිහිටියාගේ නිෂ්පාදනයකි. 

මෙයට දශක පහ හයකට පෙර පැවැතියාට වඩා අද සමාජය භෞතික වශයෙන් සංකීර්ණ වී ඇත. එහෙයින් අද මාපියන් හමුවේ සිටින්නේ එම සංකීර්ණ සමාජයේ බලපෑමට හසුවන සංකීර්ණ දරුවෝ වෙති. මෙය අවබෝධ කරගෙන ඉතාම විමසුම් නුවණින් දරුවන් ගැන සොයා බැලීමටත් ඔවුන්ට සෙනෙහසින් සමීපවෙමින්, එම සෙනෙහස දරුවාගේ ස්වභාවය ගැන දැනගෙන දැක්වීමටත් මාපියෝ යොමුවිය යුත්තෝය.

දූ දරුවන් මාපිය වැඩිහිටියන් ගෙන් ඉල්ලන පළමු දේ ආදර කරුණාවය. සමහර දෙමාපියන්ට දරුවකු සිප වැළඳගෙන ආදරය කිරීමේ හුරුවක් නැත. පෙර වැඩිහිටියෝ දරුවා හෝ තමන් නිවසින් පිටවීමට පෙර දරුවන්ගේ හිස සිප ඔවුනට ආශිර්වාද කළහ.මෙමගින් ඇතිවූ බැඳීම එම දූ දරුවන්ගේ වර්ධනයට මැනවින් බලපෑ බව රහසක් නොවේ.

බොහෝ දෙමාපියෝ දරුවන්ටත් 'තමන්' යන හැඟීම, ආත්මීය ආවේගය තිබෙන බව අමතක කරති. එනිසා තැන නොතැන නොබලා දරුවන්ට තරවටු කරති. ප්‍රසිද්ධියේ නින්දා අපහාස කරති. දරුවන්ගේ අභිමානයට හානි කරති. මෙවැනි ආකාරයේ අමනෝඥ අවවාද දීම් නිසා දරුවන් සියදිවි හානි කරගත් අවස්ථාද පසුගිය කාලයේ වාර්තා විය.

දූ දරුවන්ට ආහාරපාන පමණක් නොව ආදරය ද ලබාදිය යුතු අත්‍යවශ්‍ය සාධකයක් බව  මාපියෝ වටහා ගත යුත්තෝය. අද අප ජීවත්වන්නේ පවුලින් සේම එයින් පිටස්තර ආයතන වන පාසල, පන්සල, කෝවිල ආදී තැන්වලින්ද දූදරුවන්ට නිසි සෙනෙහසක්, රැකවරණයක් නොලැබෙන සමාජයකය. 

එක්පැත්තකින් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ද දරුවාට ජීවිතය වදයක් කර ඇත. එම අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දරුවා යන්ත්‍රයක් යන ආකල්පය උඩය. දරුවා ද ජීවියෙකි, වැඩෙන මොළයක්, මනසක්, හදවතක්, සේම කයක් ඔහුට තිබෙන බව අමතක කර ඇත.

එසේ නොවන්නේ නම් 11 හැවිරිදි දැරියක් සියදිවි නසා ගැනීමට පෙළෙඹෙන්නේ කෙසේද? ඇය කර තිබුණු තමන්ට කිසි කෙනෙක් ආදරේ කරුණාව නැත යන දුක් ගැනවිල්ලෙන් ඇය ඉගෙනගත් පාසලටද ගැලවිය නොහැකිය.

අද ගුරුවරයා හෝ ගුරුවරිය දූදරුවන්ගෙන් වියුක්තය. ගුරුවරයා බොහෝ විට තමන්ගේ ජොබ් එක පමණක් කරයි. මේ නිසා දූ දරුවන්ට තමන්ගේ දුක් ගැනවිලි කිවහැකි ගුරුවරු ඉතාම හිඟ වෙති. එදා ගමේ දුක්ගැනවිලිවලට කන්දුන් පන්ස‍ලේ ලොකු හාමුදුරුවෝ දැන් ඉතාම කාර්යබහුල වී සිටිති. 


මෙසේ වූ කල 11 හැවිරිදි දරුවෙකු දිවි නසා ගැනීමට යොමුවීම පුදුමයක්ද? කොහොම නමුත් දරුවන් මෙසේ සියදිවි නසාගන්නා තැනට පත්වන විට රටකට අනාගතයක් තිබිය හැකිද? එහෙයින් රටක් වශයෙන් මෙහි අප සඳහන් කළ දියණියගේ සිය දිවි නසාගැනීම කෙරෙහි අවධානය යොමු කර අපේ දරු පරපුර සුවපත් කළ හැකි වැඩපිළිවෙළක් ගොඩනැගීමට යොමුවිය යුතුය.




 
Related Posts with Thumbnails