Ads 468x60px

.

කොහොමද සමනලී, කොහෙද සිහින කියල මගෙන් අහනව - ආශා එදිරිසිංහ

කලා ක්‍ෂේත්‍රයට පිවිසි නිවේදිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ආශා එදිරිසිංහය මේ වන විට ආශා රංගන ක්‍ෂේත්‍රයේද ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. 

මෑතදී නිමාවට පත්වුණු ‘රන් සමනළයෝ’ ටෙලි නාට්‍යයේ සමනලීගේ චරිතය නිරූපණය කළේ ඇයයි. එසේම ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන ‘හීන හතක්’ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ද ඇයයි. 

ආශා අපගේ රංගන ක්‍ෂේත්‍රයට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය.මේ ඇයත් සමඟ කල කතා බහක්.

කොහොමද ආශා, මොනවගේ වැඩ එක්කද ඔබගේ කාලය මේ දිනවල ගත වෙන්නේ?
මේ දවස්වල ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. මෙහි පිටපත සහ අධ්‍යෂණය දිලූක ප්‍රසාද් ගුණතිලකගේ. ‘අළු බඳුන’ අපේ නිෂ්පාදන ආයතනය වන AD Finity ආයතනයෙන් නිර්මාණය කරන අලුත්ම ටෙලි නාට්‍යය. 


මේක වෙනස්ම නිර්මාණයක්. පරිසරයේ තිබෙන ගුප්ත බව දුෂ්කර ගම්මානවල ජීවත්වන මිනිසුන්ගේ දුක, කඳුළ, ආදරය ගැන කියවෙන අපූරු කතාවක්. 

මෙහි කතාව දිගහැරෙන්නේ දුෂ්කර ගම්මානයක ජීවත්වන දුප්පත් පවුල් කීපයක් වටා මමත් මේ ටෙලිනාට්‍යයේ චරිතයක් නිරූපණය කරනවා. මම හිතනවා ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරයෙන් ‘අළු බඳුන’ ටෙලිනාට්‍යය වැළඳ ගනීවි කියල.

“අළු බඳුන” ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතයේ ස්වභාවය කුමක්ද?
මම නිරූපණය කරන්නේ සුද්දි කියන තරුණියගේ චරිතය. සුද්දි හරිම දුප්පත් පවුලක යුවතියක්. සුද්දිල ජීවත්වෙන්නෙ වන අලින්ගේ කරදර තිබෙන දුෂ්කර ගම්මානයක. මහපොළොව එක්ක හැපිල තම ජීවිතය ගැටගසා ගන්නා මිනිස්සු මේ ගම්මානයේ ඉන්නෙ. 


සුද්දිගේ තාත්තා හදිසියේ මියයනවා. ඉන්පසුව ඇය තම අම්මා සමඟ ජීවිතය ගොඩනඟාගන්න ගන්නා උත්සාහය තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. 

ජයනි සේනානායක, සරත් කොතලාවල, සාරංග දිසාසේකර, ජගත් චමිල, මනෝහර විමලතුංග, මොරීන් චාරුණී, ප්‍රසන්න ෆොන්සේකා, ලාල් කුලරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් ශිලිපිනියන් රාශියක්ම ‘අළු බඳුන’ ටෙලි නාට්‍යයේ චරිත නිරූපණය කරනවා.

’රන් සමනළයෝ’ ටෙලි නාට්‍යයට මොන වගේ ප්‍රතිචාර ද ඔබට ලැබුණේ?
’රන් සමනළයෝ’ ටෙලි නාට්‍යය අවසන් වෙලා දැන් ටික කාලයක්. නමුත් දැනුත් ඒ ටෙලිනාට්‍යයට ප්‍රතිචාර ලැබෙනවා. අදත් මඟතොටේදී හමුවෙන ඇතැම් දෙනා මට කතාකරන්නෙ ‘සමනලී’ කියලා.


“කොහොමද සමනලී, කොහෙද සිහින” කියලත් මගෙන් අහනව. එහෙම අහන්නෙ ප්‍රේක්ෂකයින් “රන් සමනළයෝ” ටෙලි නාට්‍යයට සමීප වුණු නිසයි. මේ ටෙලිනාට්‍යය මේ තරම් ප්‍රේක්ෂකයින් අතරට යන්න ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රියත්වයත් ගොඩක් බලපෑවා කියල මම හිතනව.

ඔබගේ AD Finity ආයතනයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවද?
ඉතාම හොඳින් එහි වැඩ කටයුතු කරගෙන යනවා. මේ අවුරුද්දේ වැඩ කීපයක්ම අපිට ලැබිල තියෙනව. ටෙලිනාට්‍යවලට අමතරව රූපවාහිනී දැන්විම් නිර්මාණයත් අපි කරනවා.

රඟපෑමේ නිවේදන කටයුතුවල යෙදෙනගමන්. මෙවැනි ආයතනයක වැඩක් කරන්නේ ඔබ කොහොමද?
මේක මම තනිවම කරන වැඩක් නෙමෙයි. අපේ පවුලේම අය එකතුවෙලා කරන වැඩක්. විශේෂයෙන්ම මගේ තාත්තා මේ වැඩ කටයුතු ගැන උනන්දුවෙන් සොයා බලනවා. මේ වැඩවලට තාත්තා මුලින් විරුද්ධ වුණා. නමුත් දැන් තාත්තගෙන් තමයි උපරිම සහයෝගය ලැබෙන්නේ.

තවම ඔබ චිත්‍රපට රංගනයට යොමු වුණේ නෑ නේද?
චිත්‍රපට කීපයකටම දායක වෙන්න ඇරයුම් ලැබුණා. ලැබුණු ඇතැම් චරිත මට ගැළපෙන්නේ නැති ඒවා. සමහර චිත්‍රපටවල රූපගත කිරීම් සිදුවෙන්නේ විදෙස් රටවල. ඉතින් ඒ ඇරැයුම් මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. නමුත් මට රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණොත් සිනමාවට දායක වෙන්න මම ඉතාම ආශාවෙන් ඉන්නවා.

රංගනය ගැන ඉගෙනගන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඇත්තටම රංගනය ගැන ඉගෙනගන්න මගෙ ලොකු ආශාවක් තියෙනවා. මම රංගනයට ආවෙ කිසිම දෙයක් දන්නේ නැතිව. මම කිසියම් දෙයක් දැනගත්තේ ප්‍රවීණයන් දෙස බලාගෙන ඉඳලා. ඔවුන්ගෙන් අසා දැනගෙන. ඒ වගේම හොඳ නිර්මාණ නරඹලා. 


හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න නම් රංගනය ගැන පමණක් නෙමෙයි කැමරාකරණය, ආලෝකකරණය, වේෂ නිරූපණය සංස්කරණය වැනි දේවල් ගැන පවා කිසියම් දැනුමක් තිබීම වැදගත්. ඉතින් මම මේ වන විටත් මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම දැන් දැන් මට ප්‍රවීණයින් සමඟ වැඩ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔවුන් ඇසුරෙන් ඉගෙන ගන්න තිබෙන දේ බොහොමයි.

දැන් ඔබ නිවේදන කටයුතුවලින් ඉවත්වෙලාද?
නැහැ. මම ස්වාධීන රූපවාහිනියේ ‘හීන හතක්’ වැඩසටහන ඉදිරිපත් කරනවා. රංගන කටයුතුවලට වැඩි කාලයක් වෙන් කරන්න වෙන නිසා වෙනත් නිවේදන කටයුතුවලට කාලය ගත කරන්න ලැබෙන්නේ නෑ.

එතකොට ඔබ වැඩියෙන්ම කැමැත්තක් දක්වන්නේ රංගනයට ද නිවේදන කටයුතුවලට ද?
රංගනයට සහ නිර්මාණකරණයට.

නිර්මාණකරණය කිව්වේ...?
ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂණය කිරීමේ ආශාව මට තියෙනවා. හැබැයි ඒකට තව ගොඩාක් කල් ගතවේවි. ඒ මොකද ඒ විෂයට තවමත් මම අතදරුවෙක් නිසා. නමුත් යම් දවසක ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ ආශාව මට තියෙනවා.

ඔබ කලාශිල්පිනියක් නොවුණා නම්...?
එහෙම නම් මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යාවි.

මෙගා ටෙලි නාට්‍යවල තේමා එක වගේ නේද?
ඒකෙ යම්කිසි සත්‍යයක් තියෙනව. නිර්මාණකරණයේ දී පිටපත ඉතාම වැදගත්. දැන් බිහිවන මෙගා ටෙලි නාට්‍ය ගොඩක් එක වගේ වෙලා තියෙන්නේ, හොඳ තිර පිටපත් නැති නිසා. හොඳ නිර්මාණයක් බිහිවෙන්න අධ්‍යක්ෂවරයාගේත් විශාල වගකීමක් තියෙනවා. 


මම කවදාවත්ම මෙගා ටෙලි නාට්‍ය හොඳ නැහැයි කියන්නේ නෑ. ඒ මොකද මෙගා ටලි නාට්‍යවලින් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට විශාල යහපතක් සිදුවුණු නිසා; ශිල්පීන්ට මේ ක්‍ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න අවස්ථාවක් ලැබුණු නිසා.

හැබැයි මම කියන්නේ මෙගා ටෙලි නාට්‍ය වුණත් ගුණාත්මක බවකින් යුක්ත වෙන්න ඕන කියන එකයි. ඒ වගේම හොඳ මෙගා ටෙලිනාට්‍යවලින් පේ‍්‍රක්ෂකයින්ටත් කිසියම් වින්දනයක් ලැබෙනව කියල මම හිතනව. අද සමාජය ඉතාම සංකීර්ණයි. 


හැමෝම කාර්ය බහුලයි. ඉතින් රැකියාවට ගිහිං ගෙදර ඇවිත් ලස්සන දෙයක් බලල ටිකක් හිනාවෙලා නිදාගන්න තියෙනවා නම් ඒකත් හොඳයි නේද? ඒ වින්දනය ඇතැම් මෙගා ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂකයින්ට ලැබෙනව කියල මම හිතනවා. හැබැයි ඒ සරල වින්දනය තුළත් ගුණාත්මක හරවත් යමක් තිබිය යුතුයි කියන මතයේ මම ඉන්නව.

ඔබේ ආයතනයෙන් කරන මෙගා ටෙලිනාට්‍යවල ඔබ රඟපෑ යුතුයි කියන මතයේ ඔබ ඉන්නවාද?
කොහත්ම නෑ. අපේ ආයතනයෙන් නිර්මාණය කරන සෑම ටෙලිනාට්‍යයකම රඟපාන්න මට අවස්ථාව ලැබෙන්නේ නෑ. නමුත් මට ගැළපෙන චරිතයක් ඒ කතාවේ තිබුණොත් මට ඒ චරිතය ලැබේවි. ඒක තීරණය කරන්නේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා. 


මට නොගැළපෙන චරිතයක් මම රඟපාන්න ගියොත් ඒ ටෙලිනාට්‍යය අසාර්ථක වෙනවා. එහෙම වුණොත් පාඩු සිදුවන්නේ සහ නරක නාමය එන්නේ අපේ ආයතනයටමයි. එහෙම වුණොත් හොඳ නිර්මාණ අපේ ආයතනයෙන් බිහිවෙන්නේ නෑ. අපි හැම වෙලාවෙම මූලිකත්වය දෙන්නේ නිර්මාණයේ සාර්ථකත්වයට.

ඔබේ පවුලේ තොරතුරුත් කියන්න.
අම්මයි, තාත්තයි, අයියයි මමයි තමයි අපේ පවුලේ ඉන්නේ.
 
Related Posts with Thumbnails