Ads 468x60px

.

ගින්නලිය විදුහල ඉදිරිපිටදී පුංචි සුසරට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ හේතුව...

වේගය පාලනය කර ගත නොහැකි වූ ලොරිය දරුවා යටකර ගෙන ගියා
- සිද්ධිය ඇසින් දුටු ආච්චි අම්මා

පසුගිය 08 වැනිදා ඌරුබොක්‌ක ඇඹිලිපිටිය මාර්ගයේ ගින්නලිය විදුහල අභියසදී මරණයේ දෝංකාරය රැගෙන ආ ලොරි රථයක්‌ සිඟිති සුසර විශ්මිත යට කර ගෙන ගිය පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. මේ සිද්ධියෙන් මුළු පළාතම කම්පා වුනා. පාසල් දරුවන් ගුරු මව් පියන් හඬා වැලපුනා.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ ගින්නලිය මහ විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම්. පී. සුසර සත්රූ විශ්මිත (අවු 07) නමැති කුඩා දරුවායි. සුසර කැටවල තල්වත්ත නම් වූ අතිදුෂ්කර ගම්මානයක පුංචි පැල්පතක දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලක තුන් වැන්නාය.

සිද්ධිය සිදු වූ දිනයේ වෙනදා මෙන් පාසල ඇරී සිය මිතුරන් දෙදෙනා සමග ත්‍රි රෝද රථයට යැමේ අදිටනින් පාසල ඉදිරිපිට මාර්ගයට පැමිණිහ. ත්‍රිරෝද රථය වූයේ මාර්ගයේ අනෙක්‌ පසය. අනාරක්‍ෂිතව පවතින මෙම ස්‌ථානයේ පාර මාරු වීමට කහ ඉරක්‌ නැත. පුංචි සුසරට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ඒ නිසාය.

සිද්ධිය සියෑසින් දුටු සුසරගේ ආච්චි අම්මා,

මේ මිය ගියේ මගේ දුවගෙ පුතායි. මගේ ඇස්‌ ඉදිරිපිට මැරී වැටුණේ. ත්‍රීවීල් එකේ යන ළමයි තුන් දෙනාගෙන් දෙන්නෙක්‌ ඉස්‌සර වෙලා පාර මාරු වුණා. ඒ දෙන්නා ත්‍රීවීල් එකේ. සුසර පුතා පාර හරහා පනිද්දී ආව ලොරිය නවත්ත ගන්න බැරි වුණා. දරුවා යටකර ගෙනම ගියා. ඔලුව පැලිල ලේ ගලන්න පටන් ගත්තා. දරුවා කථා කළේ නෑ.

මේ සිද්ධියත් සමග පළාතම උණුසුම් විය. ප්‍රදේශවාසීහු පාර හරස්‌ කර උද්ඝෝෂණයක නිරත වූහ. ඌරුබොක්‌ක නව පොලිස්‌ ස්‌ථානාධිපති ටී. එම්. තුෂාර සම්පත් හා පස්‌ගොඩ ප්‍රා. සභාපති මහින්ද ඊශ්වරගේ යන මහත්වරුන් මෙම අනාරක්‍ෂිත ස්‌ථානයේ කහ ඉරි ලකුණු කිරීමටත් ආරක්‍ෂක වැටක්‌ විදුහලේ ඉදි කිරීමටත් පොරොන්දු විය.

ඊට පසු දිනම මාර්ග සංවර්ධන අධිකාරිය පැමිණ කහ ඉර ලකුණු කිරීම කරන ලදී.

ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් මෙම භාණ්‌ඩ ප්‍රවාහන ලොරිය හා එහි රියෑදුරු ඌරුබොක්‌ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඌරුබොක්‌ක හීගොඩ රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලදී. මෘත දේහය පවා තබා තිබුණේ වෙනත් නිවසකය. ඔවුන් විසූ කුඩා ගෙපැල දේහයක්‌ තැබීමටවත් ඉඩක්‌ කඩක්‌ නැත.

අප නිවසට යන විට අවු. 03 ක්‌ වයසැති කුඩා නැගනිය සුසර අයියා නිදන අයුරු ඇසි පිය නොහෙළා බලා සිටින්නීය. ඔහු සදාකාලික නින්දකට වැටී ඇති බව මේ පුංචි කැකුළිය නොදන්නවා ඇත.

පොළොවේ හැපි හැපී හඬන සුසරගේ මවත් අසරණව බලා සිටින පියාත් අපද කම්පාවට පත් කළේය.මව ඩබ්. ඒ. අනූෂා නිල්මිණී කුමාරි (අවු 30) පියා එම්. පී. පද්ම කුමාර (35) වේ. සතර දම් අනියතය. මරණය නියතය. කවදා නොතැනදී හෝ මේ පොදු ධර්මතාවයට අප සියලු දෙනාම ගොදුරු වේ.

වැසිබර කාලගුණය නොතකා මහත් සෙනගක්‌ සුසරගේ අවසන් ගමන් යන දිනයේ කඳුලු පිරී දෙනෙතින් යුතුව බලා සිටියහ.

පාසල් මිතුරන් ගුරු මව්පියන් මව පියා සොයුරු සොයුරියන් සියල්ලම අත්හැර දමා පළාතම හඬවා පසුගිය 10 වැනිදා හිරු බසින යාමයේ පුංචි සුසර සත්රූ විශ්මිත අපෙන් සදහටම සමු ගත්තේය.

ගින්නලිය විදුහල ඉදිරිපිටදී සිසුවා මරා ලොරිය පැන්න හැටි මෙන්න... 
 
Related Posts with Thumbnails