Ads 468x60px

.

මාතලේ සමුහ මිනී වලේ ඇත්ත වසන් කරන්නේ ඇයි...?

නැවත මිනී වළවල් දෙකක් කැණෙමින් තිබේ. 

ඉන් එකක් මාතලේ රෝහල් බිමේය. 

අනෙක පුනරීන් වෙරළ තීරයේය.

මාතලේ සමූහ මිනී වළ කැණීම උසාවි නියෝග යකින් තාවකාලිකව නවතා දමද්දී පුනරීන් මිනී වළ උසාවි නියෝගයක් ලබා හෑරීම අරඹා දින තුනක් ගත වී තිබුණ ද මේ දක්වා කිසිත් හමු වී නැත. එය එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රහාරයකට ලක් වූවන්ගේ බව කියැවේ.  


එහෙත් මාතලෙන් හමු වූ සමූහ මිනී වළ ගැන පරීක්ෂණ කඩිනම් කරනු වෙනුවට ඒ පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරමින් සිටී. මත හයක් මේ වන විටත් මාධ්‍ය මගින් වපුරා ඇත. 

විවිධ මත පතුරවනු මිස මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස කිසිදු මාධ්‍යයකින් බලධාරීන්ට අවධාරණය කරන්නේ නැත. ඔවුන් ද වපුරන අසත්‍ය මතවලට ඉඩ හරිමින් එහි උණුසුම පහව යන තෙක් එය තවත් කැණීම් ව්‍යාපෘතියක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැඳවා ඇත.

මේ සියලු මතවලින් නොකියා කියැවෙන කතාවක් පිළිබඳ සැකයක් මතුව තිබේ. එනම් කාට හෝ කුමන හේතුවක් මත වුව ද මාතලේ සිදුව ඇති මෙම සමූහ ඝාතනය පිළිබඳව වසන් කර තැබීමේ අවශ්‍යතාව ය. වසූරියෙන්, ගංවතුරෙන් හා නාය යෑමකින් එම ස්ථානයේ මිය ගිය පිරිස් වළ දැමූ බවට පළ වන මත කිහිපයකි. 


වසංගතයකින් හෝ ස්වාභාවික විපතකින් යම් දිනෙක රෝහල වෙත රැගෙන ආ මළ සිරුරු එලෙස වළ දැමුවේ නම් රෝහල තුළ වාර්තා තිබිය යුතුය. එමෙන්ම රෝහලට යාබද සොහොන් බිමේ එම සිරුරු වළ නොදැමීම ද තවත් ගැටලුවකි. එසේ වළ දැමූවන්ගේ ශරීර කොටස් හැර හිස් කබල් පමණක් ඉතිරි වූයේ කෙසේද යන්නත් ප‍්‍රහේලිකාවකි. 

එමෙන්ම මෙම ඇට කැබැලිවල පිහිටීම අනුව වක ගැසී ගිය සිරුරු කිහිපයක් හමු වී තිබේ. සෑම අතකටම එක පිට එක සිරුරු ගොඩගසා වළ දමා තිබී හමුවීම ද බරපතළ ප‍්‍රශ්න අප හමුවේ දිගහැරෙයි. මෙහිදී හමුවන්නේ මස් මඩුවක ඉතිරි කොටස් වළකට දමා පස් දැමූ ස්වභාවයකි. 

එමෙන්ම ස්වාභාවික විපතකින් හෝ වසංගතයකින් මිය ගියේ වැඩිහිටියන් පමණක්ද යන ප‍්‍රශ්නය මතු වේ. ඊට කුඩා දරුවන් ගොදුරු වූයේද, එසේ නම් ඔවුන්ගේ සිරුරු වළ දමා ඇත්තේ කුමන ස්ථානයකද යන්න ගැටලුසහගතය.

ඉංග‍්‍රීසි බලකොටුවකට අයත් මෙම භූමිය රෝහල් අවශ්‍යතාවකට වළක් කපන තුරු එවැන්නක් පිළිබඳ සලකුණක් දැන සිට නැත. මෙමගින් පැහැදිලි වන්නේ මෙම ස්ථානය යම් අරගලයක දී පුද්ගලයන් සමූහයක් ලෙස ඝාතනය කර වළ දමා ඇති ස්ථානයක් ලෙසිනි. 


එය 1848 - 1971හෝ 88-89යන අරගලවල දී මිය ගිය පිරිසකගේද යන්න සැලකිල්ලට ලක් කළ යුතුය. එහිදී 48කැරැල්ලෙන්, ඓතිහාසික වාර්තාවලට අනුව මිය ගිය පිරිස 200කි. 

එය මාතලේ දිස්ත‍්‍රික්කය පුරාම විසිර ගිය සටන්වල දී සිදු වූ ඝාතනය. එම කැරැල්ලේ දී 37දෙනකු පමණක් යුද අධිකරණය හමුවට පමුණුවා මරණ දඬුවමට ලක් කොට ඇතත් ඔවුන් වළ දමා ඇත්තේ මාතලේ නගරාසන්නව නොවන බව ඓතිහාසික වාර්තා සනාථ කරයි.

එමෙන්ම 71අරගලයේ දී අත්අඩංගුවට ගත් පිරිස් මරා දමා නැත. එක් ස්ථානයක පමණක් සමූහයක් වශයෙන් ඝාතනය කර ඇතත් ඔවුන් හා සටන්වල දී මරා දැමුණු පිරිස් රැගෙන ගොස් නාවුල කැලෑබද ප‍්‍රදේශයක පොලිස් ප‍්‍රධානියකුගේ මැදිහත් වීමෙන් වළ දැමූ බවට තොරතුරු තිබේ.

88-89අරගලයේ දී එජාප ආණ්ඩුව දියත් කළ මතවාදීමය හා මිලිටරිමය මර්දනය ඊශ‍්‍රායල් සංග‍්‍රාමික ක‍්‍රමවේද සහිතව එම ආරක්ෂක අංශවල ද උපදෙස් මත ක‍්‍රියාත්මක කරන ලද්දකි. මස් මඩුවල මෙන් මිනිසුන් ඝාතනය කෙරෙන්නේ මෙම ක‍්‍රමවේදයන්ට අනුවය. 


කි‍්‍රයාන්විත, උපක‍්‍රම, උපායමාර්ගික හා දේශපාලනික පෙළගැස්ම මෙම මර්දනයේ දී එජාප මිලිටරි යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කළේය.පණ පිටින් පිලිස්සීම, හිස් කඳින් වෙන්කොට ප‍්‍රදර්ශනයට තැබීම ඇතුළු දරුණු හිංසා මෙම ඊශ‍්‍රායල් වධ බන්ධන ක‍්‍රමවේදයන්ට අයත්ය. මෙහිදී රෝහල් බිමෙන් හමුවූ ඇට සැකිලිවල එවැනි තත්වයක් යටතේ මිය ගිය අයගේ බවට සනාථ කෙරෙන තොරතුරු ද පවතී. 

මෙම කරුණු සැලකිල්ලට ලක් කිරීමේ දී තහවුරු වන්නේ මාධ්‍ය යොදා ගනිමින් මෙම සමූහ මිනී වළ පිළිබඳව වෙනත් මත ඉදිරිපත් කිරීමේ සැලැසුමක් තිබෙන බවය. ඒ පිළිබඳව කරුණු සොයා බැලීම, සාධාරණ පරීක්ෂණයක් හා කාල නිර්ණය මගින් තොරතුරු ලබාගනු වෙනුවට මත හැදීමට උත්සාහ කිරීම පිටුපස ඇත්තේ කාගේ අවශ්‍යතාවක්ද යන්න ගැටලුවකි.

මෙම පුවත සැලවීමත් සමග එම වකවානුවේ මාතලේ රෝහල ආසන්නයේ පිහිටි වධකාගාරයක පුද්ගලයකු යම් ස්ථානයක දී සිදු කළ පාපොච්චාරණයක දී ද ඒ අසල වධකාගාර පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ඇත.

ඉතිහාසයේ කවර හරස්කඩකින් වුව ද ම්ලේච්ඡ ඝාතකයන් සොයාගත හැකිය. ඊට එරෙහිව අරගල කළවුන්ගේ හිස් කබල් ද සොයාගත හැකිය. 1848 - 1971හෝ 88-89අරගලවලට එක සේ එය අදාළය. ඊට අනුව මෙම අරගල මර්දනයේ දී යොදාගත් සියලු සොල්දාදුවන් ඉත්තන් පමණකි.


ඉතිහාසය තුළ සොල්දාදුවකුගේ ඊට වැඩි වැදගත්කමක් නැත. එහි වැදගත් කොටස වන්නේ ඉත්තා අදින දේශපාලන බල අවශ්‍යතාවේය. එම ඉත්තන් ඊයේ, අද මෙන් හෙට ද එම බල ව්‍යාපෘති විසින් තනා ගනු ඇත. එම ඉත්තන් අන්දන හා පද්දන තරමට මිනී මරන්නා සේම ඇටකටු ද ඕනෑම තැනකින් මතුවීම ස්වාභාවිකය. 

උභතෝකෝටිකය වන්නේ එලෙස මරා දැමූ මිනිසුන් සමූහ වශයෙන් වළ දැමූ ස්ථාන හමුවන විට සමාජයේ ඒ පිළිබඳව ඇති නිර්වින්දිත ස්වභාවය ය. ඒ පිළිබඳව කම්පනයක් නොදැනීමය. ඊට ද හේතුවක් තිබේ. ඒ, ඉහත සඳහන් දේශපාලන අවශ්‍යතාවලම කොටසක් වන මාධ්‍ය බේගල්ය.

සමූහ ඝාතන පිළිබඳ බේගල් පතුරන අතරම ලොකු අකුරුවලින් මාධ්‍යවල පළ වන්නේ ලෝක විනාශය ගැනය. කැබිලිත්තේ හාස්කම් ගැනය. රාවණාගේ උමග හා ඔහුගේ පැමිණීම ගැනය. අලුත්ම කතාව පියාඹන පීරිසි ගැනය. 


එක් සමූහ මිනී වළක් වෙනුවට මිනී වළවල් 100ක් හමු වුව ද සමාජය පොළොව දෙසට හැරෙනු වෙනුවට අහස දෙස බලන්නේ පියාඹන පීරිසි මතු වන තෙක්ය. පහර දිය යුත්තේ ජීවත්ව සිටින වධකයන්ට නොව වධකයන් මෙහෙයවූ දේශපාලන බල ව්‍යාපෘතිවලටය. 

මන්ද සමාජය නිර්වින්දනය කර මේ මොහොතේ ද ක‍්‍රියාත්මකව ඇත්තේ කිසි දිනෙක ඇට කටු හමු නොවන වර්ගයේ මර්දනයකි.

 
Related Posts with Thumbnails