Ads 468x60px

.

විවාහයට කාලය වෙලාව ගැන මට කියන්න බැහැ මමත් මේ සොයන්නේ ඒ වෙලාව තමයි - දුලානි

කිසියම් රංගනයකදී ශරීරය තරමක් නිරාවරණය වන ඇඳුම් ඇඳිය යුතු වුණා...

අබා චිත්‍රපටයේ භුම්භක භූතා කා අතරත් කතාබහට ලක්වුණු චරිතයක් විය. ඒ චරිතයට පණපෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ද වන දුලානි අනුරාධාය. දුලානි පාසල් ගුරුවරියකි.

ඇය මේ වන විට විශාල නිර්මාණ ප්‍රමාණයකට දායක නොවූව ද ඇයගේ අපුරු රංගන ටෙලිනාට්‍ය චිත්‍රපට කීපයකින්ම අපට දැකගත හැකි විය. දුලානි අපගේ කලා ක්‍ෂේත්‍රය තුළ බැබළෙන තරුවක් ලෙස හැඳින්වීම ඉතා නිවැරදිය.

’කුවේණි’ චිත්‍රපටයේ රංගනයෙන් පසුව ඔබ තරමක් නිහඬ වුණාද?

නැහැ. කොහොමටත් මම නිර්මාණවලට දායක වෙන්නේ ගොඩක් අඩුවෙන්. ටෙලිනාට්‍ය කීපයකට දායක වුණා. ඒ වගේම මම දායක වුණු ‘පරාවර්ථන’ චිත්‍රපටය ළඟදී තිරගත වේවි.

මේ දවස්වල ඔබ මොනවද කරන්නේ?


ප්‍රධාන වශයෙන්ම පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම ‘සකිසඳ සුවාරිස්’, ‘සඳ ඔබ මගේ’ ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට දායක වෙනවා.

’කුවේණි’ රංගනයට ලැබුණු ප්‍රතිචාර ගැන තෘප්තිමත්ද?

ඔව්. මම තෘප්තිමත්. කුවේණි චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබුණා. සමාජයේ ගොඩක් දෙනෙක් මගේ ඒ රංගනය ආදරයෙන් වැලඳගත් බව පෙනුණා.

ඔබ වෘත්තියෙන් ගුරුවරියක් නිසා රංගනයේ දී සීමා හදාගෙන තිබෙනවාද?

මෙතෙක් මම දායක වී ඇති නිර්මාණවලදීත් ඒ චරිතවලට අවශ්‍යම දේ පමණයි කළේ. කිසියම් රංගනයකදී ශරීරය තරමක් නිරාවරණය වන ඇඳුම් ඇඳිය යුතු වුණා නම් ඒවා ඇඳිය යුතුම ද කියන එක ගැන මම අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කළා. ඒ චරිතයට ඒ දේ අවශ්‍යම නම් පමණයි මම ඒ දේ කළේ. අද මම ඒ පිළිබඳ වඩාත්ම සැලකිලිමත් වෙනවා.

ඒ අද මම පාසල් ගුරුවරියක් ලෙස දරුවන්ට වඩාත් ආදර්ශවත් විය යුතු නිසා. අද දරුවන් මනසින් ඉතා උසස් මට්ටමක ඉන්නවා. අපේ කාලේ වගේ නෙමෙයි, අද දරුවන්ට ඕනෑම දෙයක් දැනගන්න මාර්ග ඕනෑතරම් තියෙනව. මගේ පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරු, පාසල් දරුවන් දන්නවා මම සාමාන්‍ය ගුරුවරියකගෙන් එහා ගිය චරිතයක් කියලා.

ඒ නිසා මගේ රංගන ගැන එතරම් ගැටලුවක් නැති බවයි මගේ හැඟීම. ඒ නිසා රංගනයේ දී විශාල සීමා මම දමාගෙන නෑ. නමුත් මම හැමදෙයක්ම කරන්නේ මම කවුද, මගේ දෙමවුපියන් කවුද යන කරුණු ගැන සිතා බලලයි.

ගුරු වෘත්තියේ යෙදෙන ගමන් කොහොමද ඔබ රංගන කටයුතු සඳහා කාල වේලාව වෙන් කරගන්නේ?

කලින් කිව්වා වගේ මම අඩුවෙන් නිර්මාණවල යෙදෙන කෙනෙක්. මම නිර්මාණවලට දායක වෙන්නේ ගුරුවරියක් විදියට මට තියෙන නිවාඩු අරගෙන. එහෙම කරලත් පසුගිය අවුරුද්දේ මගේ නිවාඩු කීපයක් ඉතිරි වුණා. ඒ වගේම නිර්මාණයකට මට කතාකළාම මම අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරනවා පාසලේ නිවාඩු කාලේ රූපගත කිරීම් යොදාගන්න. ඒ ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්න අයත් ඉන්නවා.

ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා පාසල් දරුවන් ඔබට ගොඩක් ආදරේ ඇති?

ඇත්තෙන්ම ඔව්. පාසල් දරුවො මට ගොඩක් ආදරෙයි. ඇතැම් දරුවො මම අඳින විදිය මම කතාකරන විදිය දිහා බලාගෙන ඉන්න බව මට තේරෙනවා. මාව දැක්කම ඇතැම් දරුවන්ගේ මුහුණුවල හැඟීම් වෙනස් වෙනවා. ගුරු විවේකාගාරයේ ඉන්න විට පවා ඇතැම් දරුවෝ එබිල මා දිහා බලනවා. ඒ ඔවුන් මට ආදරය කරන නිසා. දරුවන්ගේ ඒ ආදරය හරිම පිවිතුරුයි. සුන්දරයි.

ළඟදීම තිරගතවීමට නියමිත ‘පරාවර්ථන’ චිත්‍රපටයේ ඔබේ රංගනය කෙබඳුද?

’පරාවර්ථන’ ජයනාත් ගුණවර්ධනගේ අපූරු සිනමා නිර්මාණයක්. එහි කුසුම් ලෙසයි මම රඟපාන්නේ. කුසුම් ඉතා අඩු වයසෙදි පාසල් ගමන කෙරවළ කරගෙන දෙමවුපියන්ගේ වචනයටත් පිටුපාල ගෙදරින් ගිය යුවතියක්. ඇය ජීවිතයට මුහුණ දෙන හැටි තමයි මේ චිත්‍රපටයේ නිරූපණය වෙන්නේ.

නර්තනය පැත්තෙන් ඔබේම දෙයක් කරන්න අදහසක් නැතිද?

ඒකට මට ලොකු ආශාවක් තියෙනවා. නමුත් ඒකෙදි මාව දිරිමත් කරන්න. මට උදව් කරන්න කෙටියෙන් කිව්වොත් ඒ වැඩේදි මාව ඇදගෙන යන්න කෙනෙක් නෑ. මට තනිවම එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසයි නර්තනය පැත්තෙන් යමක් කරන්න ප්‍රමාද.

’මහ පොළොව අපි නොවේ’ ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ගොඩක් දෙනෙක් ආදරය කළා නේද?

ඒ ටෙලිනාට්‍යයේ මගේ රංගනයට සමාජයේ සෑම දෙනෙක්ම ආදරය කළා. ඒ සාර්ථකත්වයට මූලිකම හේතුව තමයි, එම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ උපදෙස්. ඒ චරිතය තුළ ගස් නැඟීම වැනි අමාරු දේවල් කරන්න තිබුණා.

මම මේ ක්‍ෂේත්‍රයට ආවෙම අමාරු දේවල්  කරල. ‘අබා’ චිත්‍රපටයේ පටන් ‘කුවේණි’ චිත්‍රපටය දක්වාම ඒක එහෙමයි. එම රඟපෑ බොහොමයක් චරිත සුකුමාල චරිත නෙමෙයි. මා මෙතෙක් රඟපෑ ගොඩක් චරිතවල කටුකත්වය තිබුණා.

ඔබ විවාහය කල් දමනවාද?

නැහැ. කල්දැමීමක් නෑ. ඒක තමන්ට ලැබෙන වෙලාව. මට විවාහ යෝජනා එනවා. ඒ වගේම මට ආදරය කරන අයත් ඉන්නවා. නමුත් මගේ විවාහයට සුදුසු දවසක් තියේවි. මම රංගනයට ආවේ පාසල් යන කාලෙ නෙමෙයි. ඒකට නියමිත වෙලාවක් කාලයක් තිබුණා.

ඒ වගේම තමයි මගේ විවාහයටත් සුදුසු කාලයක් වෙලාවක් තියේවි. ඒ කාලය වෙලාව ගැන මට කියන්න බැහැ. මමත් මේ සොයන්නේ ඒ වෙලාව තමයි. විවාහ වෙන්නේ නෑ කියන අදහසක් මට නෑ.
 
Related Posts with Thumbnails