Ads 468x60px

.

පොසොන් කූඩුවට ලැබුණු තෑග්ග ගත්තට විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගහලා

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ගුරුතුමිය දණගස්‌සවයි... 

තවත් ශිෂ්‍යයෙක්‌ විදුහල්පතිතුමාට පහර දෙයි... 

විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ අංශ ප්‍රධානි නිලධාරිනියට පහර දෙයි

යන පුවත්වල උණුසුම තවමත් දොන්කාර දෙද්දී අසන්නට ලැබුණු තවත් අනුවේදනීය කතාවක්.

"පාසලේ නම කියනකොට පොසොන් කූඩු තරගයේ ත්‍යාග මුදල් ගන්න උඹ වේදිකාවට නැග්ගේ ඇයි දැයි අසමින් විදුහල්පතිනිය මට වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා" 

යෑයි දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් පහර කෑමට ලක්‌ වී කළුතර නාගොඩ මහ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන 11 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ඉෂාර ජයලත් සිසුවා ඊයේ (27 වැනිදා) දහවල් අපත් සමඟ පැවසුවා. මේ කතාව ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඉෂාර ජයලත් ශිෂ්‍යයා මෙසේද පැවසුවා.

දොඩන්ගොඩ පොසොන් කූඩු තරගයක්‌ පැවැත්වුණා. මම තරගයට ඉදිරිපත් වීමට දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා හමුවුණා. ඔහු මට අයෑදුම්පත්‍රයක්‌ දී විදුහල්පතිනියගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නැයි කීවා. මං විදුහල්පතිනියගෙන් අවසර ලබාගෙන

අයෑදුම්පත පොලිසියට දී තරගයට ඉදිරිපත් වීමට ලස්‌සන පොසොන් කූඩුවක්‌ හැදුවා. පොසොන් පොහෝ දින කූඩුව ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා. පොසොන් කූඩු තරගයට අප පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ප්‍රථම ස්‌ථානය හිමිවුණා.

පොසොන් කූඩු තරගයේ ත්‍යාග ප්‍රදානය කළ දා පාසලෙන් මං ඉදිරිපත් කළ කූඩුවට ත්‍යාග මුදල් හිමිවුණා. පාසලේ නම කියන විට මං ගිහින් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් ත්‍යාග මුදල් ලබාගත්තා.

මං වේදිකාවෙන් බැස එන විට විදුහල්පතිනිය මා අත තිබූ මුදල් උදුරා ගත්තා. මං වේදිකාවට නැගල ගන්න තිබූ ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි දැයි ඇසුවා.

26 වැනිදා මා පාසල් ගියා. පාසලේ උදැසන රැස්‌වීමේදී මුතුකුමාර සර් මං ළඟට පැමිණ "මැඩම් ගන්න හිටපු ත්‍යාග මුදල් උඹ ගත්තේ ඇයි? රැස්‌වීම අවසන් වුණාට පස්‌සේ මැඩම් හමුවන්න" කීවා. රැස්‌වීමෙන් පසුව මට මැඩම් ගැසුවා. වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා. මට වේදනාවක්‌ ඇතිවුණා. මං පාසලේ බියෙන් සිටියා.

රාත්‍රියේ තාත්තා හා අම්මා මාව පරීක්‍ෂා කළා. තුවාල දැක දොඩන්ගොඩ පොලිසියට එක්‌කරගෙන ගොස්‌ පැමිණිල්ලක්‌ දැම්මා. තුවාල පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් මට රෝහලට ඇතුළත් වෙන්න ලිපියක්‌ දුන්නා. 26 වැනිදා රාත්‍රි රෝහලට ඇතුළත් වුණා.

පහර කෑමට ලක්‌ වූ දරුවාගේ පියා වන තොටවත්ත බණ්‌ඩාරගේ අනුර ජයලත් මහතා මෙසේ පැවසුවා. පහර කෑමට ලක්‌ වී ඇත්තේ මගේ පුතා. ඔහු ලස්‌සන කූඩුවක්‌ පොසොන් කූඩු තරගයට නිර්මාණය කර ඉදිරිපත් කර ත්‍යාග ලබා ගත්තා. මුදල රුපියල් 15,000 යි. එම මුදල් විදුහල්පතිනිය ගත් බව පුතා කීවා. 26 වැනිදා මම සහ බිරිඳ රැකියාවට ගිහින් ගෙදර එන විට පුතා ගෙදර සිටියේ නැහැ.

ඔහු ලිපියක්‌ ලියා තිබුණා. එහි මෙසේ සඳහන් කර තිබුණා.

"අම්මේ තාත්තේ ඊයේ මට කූඩුව හින්ද මැඩම් මට පිට්‌ටනියේ රැස්‌වීම් ශාලාවේ ඉස්‌සරහට ගෙනල්ලා හොඳටම ගැහුවා. මට දැන් ඉස්‌කෝලේ යන්න බැහැ. ලැඡ්ජයි. ඒ හින්ද ගෙදරින් යනවා. මම ආයේ එන්නේ නැහැ. මාව ආයේ හොයන්න එපා. මීට පුතා යෑයි සඳහන් කර තිබුණා. මං ලිපිය බලා කලබල වුණා. 


මමත් බිරිඳත් අසල්වාසීන්ද රාත්‍රියේ පුතා හොයන්න ගත්තා. කැලෑවක සැඟවී සිටි පුතාව අප සොයාගත්තා. දොඩන්ගොඩ පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ කළා. පුතාව පරීක්‌ෂා කළ පොලිස්‌ නිලධාරීන් ඔහුගේ පිටේ තිබූ වේවැල් පාරවල් හා තුවාල නිසා රෝහල්ගත කරන්න ලිපියක්‌ දුන්නා. 

පුතාව 26 වැනිදා රාත්‍රි රෝහල්ගත කළා. මාගේ තවත් දියණියක්‌ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ ඉගෙනුම ලබනවා. දියණියටත් මේ නිසා දැන් පාසල් යන්න බැහැ. මගේ පුතාට අමානුෂික ලෙස පහරදීම පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

මේ දරුවා පිළිබඳව සොයා බැලීමට ඊයේ දහවල් මා නාගොඩ රෝහලට ගිය විට දොඩන්ගොඩ පොලිසියේ ළමා කාර්යාංශයේ පොලිස්‌ කාන්තා සැරයන්වරියක්‌ හා පොලිස්‌ කාන්තා කොස්‌තාපල්වරියක්‌ මෙම දරුවාගෙන් ප්‍රකාශ ලබාගන්නා අයුරු දක්‌නට ලැබුණා.

පාසල තුළදී තම නිර්මාණ බිහිකර සිය දක්‍ෂතා පෙන්නුම් කරන පාසල් දරුවන්ට මෙසේ විදුහල්පතිනිය විසින් එල්ල කරන ලද වේවැල් ප්‍රහාරය දෙමාපියන් බහුතරයක්‌ හෙළා දකින බව අපට දැනගන්න ලැබුණා.
 
Related Posts with Thumbnails