Ads 468x60px

.

වෙබ් අඩවි මඩ ප්‍රචාර ගැන නිළියන්ගේ අදහස්...

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් අළලා විවිධාකාරයේ කටකතා, මඩ ප්‍රචාර, පෞද්ගලික තොරතුරු විවිධ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන අන්දම වර්තමානයේ විටින් විට දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් විවිධ නඩුහබ වලටත් පැටලෙන්න සිදුවෙලා. මේ වෙබ් අඩවි පිළිබඳ නිළියන් කීප දෙනෙකු ගෙන් අදහස් විමසා බලන්නට අපි අදහස් කළේ ඒ නිසා.

වෙබ් අඩවි සදාචාර සම්පන්න විය යුතුයි
- සේමිණී ඉද්දමල්ගොඩ

“වෙබ් අඩවියක සදාචාර සම්පන්න බවක් තිබෙන්නට ඕනෙ. යම් මාධ්‍යයකින් දක්වන ප්‍රවෘත්තියක සත්‍ය අසත්‍ය බව ඉතාම වැදගත් වෙනවා.

අද වෙබ් අඩවි වල විතරක් නෙමෙයි වෙනත් මාධ්‍යවලිනුත් නිකුත් වෙන එක් අසත්‍ය ප්‍රකාශයකින් කෙනෙක් ගේ ජීවිතයට කීර්තියට විශාල හානියක් වෙන්න පුළුළුන්.


“ඒ නිසා ඕනෑම මාධ්‍යයක් සදාචාර සම්පන්න විය යුතුයි. කාගෙ හරි වුවමනා වෙනුවෙන් පෙනී සිටින ඒවා ඉටුකරන මාධ්‍ය පවතිනවා. මේවා කාට හරි මඩ ගහන්න, අපහසුතාවට පත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා.

ඇත්තටම එය වැරදි සහගතයි. මාධ්‍ය යොදා ගත යුත්තේ කාගෙවත් වුවමනා ඉටු කරන්න නෙමෙයි පුද්ගලයාට සමාජයට සෙතක් වෙන දේ වෙනුවෙනුයි.

වැරදි වැඩ කරන්නෙ මානසික ලෙඩ්ඩු
- මුතු තරංගා

“මම හිතන්නේ මේ වෙබ් අඩවි නිසා රටේ ජනප්‍රිය අයට නොමිලේම ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේ ප්‍රසිද්ධිය ලබාදීම සමහර විට මේ වෙබ් අඩවි ක්‍රියාත්මක කරන අය නොදැන කරන දෙයක්.

ඇත්තටම වෙබ් අඩවි තියෙන්න ඕනෙ. නමුත් මේ ඔස්සේ වැරදි ප්‍රචාර කරන එක මම අනුමත කරන්නේ නැහැ. එය පව් වැඩක්. වැරදි වැඩ කරන අය ඉන්නවා. නමුත් හැමෝම එහෙම නැහැ. සමහරු ඉන්නවා කරන්න දෙයක් නැති වුණාම මේ වෙබ් අඩවි හරහා මඩ ප්‍රචාර දියත් කරනවා. එය වැරදි වැඩක්.”

“වෙබ් අඩවියක් ඔස්සේ අපිට යම් යම් කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් සමහර මානසික ලෙඩුන් මේ මාධ්‍ය නිවැරදිව හසුරුවන්න දන්නේ නැහැ.

රංගන ක්ෂේත්‍රයේ වගේම හැම ක්ෂේත්‍රයකම විවිධ දේවල් සිදු වෙනවා. නමුත් බොහෝ විට සිදුවන්නේ කලාකරුවන් ප්‍රසිද්ධ නිසා ඔවුන්ගේ පෞද්ගලික දේවල් මේවාහි ප්‍රචාරය වීමයි. බොහෝ පිරිසක් පුරුදු වෙලා තිබෙනවා මේ වෙබ් අඩවි බලන්න.

ඇත්තටම වෙබ් අඩවි පැවැතිය යුත්තේ හොඳ දේ වෙනුවෙනුයි. නමුත් වර්තමානයේ සිදුවන්නේ ඒ දේවල් වැරදි විදිහට භාවිත වන එකයි.


අද තියෙන්නේ ගින්දර නැතිව දුම් නගින වෙබ් අඩවි
- දමිතා අබේරත්න

ලංකාවේ තරම් වෙබ් අඩවි වැරදියට පාවිච්චි කරන පිරිසක් මම නම් කොහේවත් දැකලා නැහැ. ඒ තරමට මිනිස්සු පරිහානියට පත්වෙලා තිබෙනවද කියන එක මේ වෙබ් අඩෙවි දකිත්දී සිතෙනවා. 


ලංකාවේ ඕපදූප හොයන මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අය ඕනම කෙනෙක් ගැන ඕනම වෙලාවක වැරදි පුවත් ප්‍රචාරය කරන්න පැකිලෙන්නේ නැති බව පෙනෙනවා. ඇත්තටම ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙන වෙබ් අඩවි තුළින් මේකද විය යුත්තේ?

රටට දැයට ප්‍රයෝජනවත් දෙයක් මේ වෙබ් අඩවි තුළින් ප්‍රචාරය වන්නේ නැහැ. මේ වායින් සිදුකරන්නේ මිනිසුන්ගේ පුද්ගලික ජීවිතවලට පහර ගහන එකයි‍. කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දේශපාලනඥයින් මේ වගේ රටේ ජනප්‍රිය පුද්ගලයින් ගේ පෞද්ගලික දේවල් සොය සොයා පහර ගැසීම කරනවා.

ඇත්තටම මේ අය ජීවිතේ මොකක් හෝ තැනකට ආව අය. ඒ සඳහා ඔවුන් බොහෝ කැප කිරීම් කරමින් දුක් ගැහැට විඳිමින් ජීවිතේ ජය ගත් අය. මේ අය සාමාන්‍ය මිනිසෙකුට කරන්න බැරියමක් කරන පිරිසක්. මේ මිනිසුන්ට අපහාස කරන එක මඩගහන එක ඇත්තටම හරිම පව්කාර වැඩක් විදිහට මම දකිනවා. අද තිබෙන්නේ ගින්දර නැතිව දුම් පත්තු කරන වෙබ් අඩෙවි.

විශේෂයෙන්ම මං ගැන පළවූ බොහෝ ප්‍රවෘත්ති කිසිම පදනමක් නැතිව පළවූ ඒවා මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අය කිසිම පදනමක් වගකීමක් නැතිව අනුන්ගේ කුණු හොයමින් ජීවත් වන පිරිසක්. මෙවැනි වගකීමක් නැති කිසිම ප්‍රයෝජනයක් නැති වෙබ් අඩවි ලංකාව වගේ රටක තිබීම ඇත්තටම කනගාටුවක්.


ජනප්‍රිය වෙන්න වෙන්න මඩ ගහනව වැඩියි
- මනීෂා නාමල්ගම

“මෑත කාලයේ අතිශයින් ජනප්‍රිය වූ මාධ්‍යයක් තමයි වෙබ් අඩවි මාධ්‍ය කලාව. වෙබ් අඩවි තිබෙන්න ඕන. නමුත් එය වැරදි ආකාරයට භාවිත කිරීමයි නොකළ යුත්තේ. 


අද මේ වෙබ් අඩවි පරිහරණය කරන්නේ ඉතාමත් වැරදි සහගත ආකාරයෙන් බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ ඔස්සේ සිදු කෙරෙන මඩ ප්‍රචාර වැඩි වශයෙන් බලපාලා තිබෙන්නේ රටේ ජනප්‍රිය පිරිසක් වන කලාකරුවන්ටයි.

ජනප්‍රිය අය ගේ චරිතවල අතිශය පෞද්ගලික කාරණා අතිශයෝක්තියෙන් යුතුව මේ වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක් වෙනවා. කෙනෙක් කරපු දෙයක් හෝ නොකරපු දෙයක් මේ අය මහා ලොකු දෙයක් විදිහට හුවා දක්වනවා.

ඇත්තටම අපි ගැන හොඳටම දන්න අය ඉන්නේ අතළොස්සක් පමණයි. බහුතරයක් පිරිස අපි ගැන දන්නෙ නැහැ. මේ දියත් වන මඩ ප්‍රචාර නිසා අනෙක් නොදන්න බහුතරය හිතන්නේ මේ අය පතුරුවන මේ බොරු දේවල් ඇත්ත කියලා.

ඇත්තටම කෙනෙක් ගේ චරිතය ගොඩනඟා ගන්න විශාල කාලයක් යනවා. ඉතාම දුක් මහන්සි වෙලා ගොඩනඟා ගත් ඒ චරිතය විනාශ කර දමන්න මේ වෙබ් අඩවිවලට ගත වන්නේ ඉතාම සුළු මොහොතයි. පෞද්ගලිකව ගත්තම මමනම් වෙබ් අඩවි ගෙන යන මාධ්‍ය භූමිකාව අනුමත කරන්නේ නැහැ. ඒ ගැන මට ඇත්තේ කනගාටුවක්.”
 
Related Posts with Thumbnails