Ads 468x60px

.

වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?

මේ සිද්ධිය වුණේ ගුණරත්න වීර කෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා ඉන්න කාලේ. හරියටම කිව්වොත් 2012 ජනවාරි.

එතකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. කුරුණෑගල ඉන්නවා මගේ බ්‍රෝකර් කෙනෙක් උපුල් කියලා. උපුල් පිළිමේ ගැන හොයලා මට කිව්වා ගන්න එන්න කියලා. 

කුරුණෑගලට යන්න කලින් මම පිළිමේ ගැන හොයලා බැලූවා. මට මුලින් ආරංචි වුණේ ඒක මැණික් ඔබ්බපු මහා ලක්ෂ්මී පිළිමයක් කියලා. මේ වගේ දේවල් ඞීල් කරද්දී පරිස්සම වැදගත්. පිළිම ගැන, නිධාන ගැන දන්න කියන හාමුදුරුවරු, බ්‍රෝකර්ලා මගේ ළඟ ඉන්නවා. 

ඒ වගේම මේ ඞීල්වල ඉන්න මුදලාලිලාත් මගේ හොඳ යාළුවෝ. දකුණට කැරකුණු හක්ගෙඩි හතරක් ඒ පිළිමේ හතරවටේ තියලා දිනපතාම පිච්ච මල් පූජා කළාම හිතූ පැතූ දේ ලැබෙනවා කියලා තමයි මට ආරංචිය ආවේ. ඉතිං මටත් ඕනෑ වුණා ඒ පිළිමේ ගන්න.’’

ඔහු, වාස් ගුණවර්ධන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සිටි සමයේ තමන්ට සිදුවූ අත්දැකීමක් ගැන කියන්න පටන් ගත්තේ එලෙසිනි. ලියුම් කරුට ඔහු හමුවන්නේ ප‍්‍රසිද්ධ වෙරළ හෝටලයක පැවති උත්සවයකදීය. ඔහු අතමිට සරු ව්‍යාපාරිකයෙකි. එමෙන්ම පෞරාණික භාණ්ඩ පිළිබඳව හසළ දැනුමක් ඇත්තෙකි. 


විටෙක ඔහු ඒවා මිලට ගනී. තවත් විටෙක වැඩිම මිලට ඒවා නැවත විකුණයි. ඒ අතරින් තමා ආසා කරන දේ තම එකතුවේ තබා ගනී. වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත්වීමෙන් පටන් ගත් කතාව අවසානයේ වාස්ගේ පරණ සෙල්ලමක් ගැන ඔහු කී කතාව අපූරුය. 

‘‘ලකී කියලා බ්‍රෝකර් කෙනෙක්ට කියලා තමයි ඔය කියන පිළිමේ තියෙන පන්සලේ හාමුදුරුවෝ ළඟට උපුල් මාව එක්කන් ගියේ. ලකීව මම අඳුනන්නේ නෑ. ඒ වගේම ඒ එයාගේ ඇත්ත නමද කියන්න දන්නෙත් නෑ. ඔක්කොම ගනුදෙනු වුණේ ෆෝන් එකෙන්. මම උපුල්ට කියනවා. උපුල් ලකීට කියනවා. 

ලකී ඒ හාමුදුරුවන්ට කියනවා. මෙතනදී මම ටිකක් කපටි වුණා. ගනුදෙනුව බ්‍රෝකර්ලා දෙන්නෙක් හරහා වුණොත් මට පාඩුයි. ඒක නිසා හාමුදුරුවෝ මට පිළිමේ ගන්න එන්න කිව්ව දවසට දවස් දෙකකට කලින් මම ගියා ඩිමෝ බට්ටා වාහනේකින්. 

ඒක පන්සලක් නෙමෙයි හෝටලයක් වගේ. මට මතක විදියට ඒක ඇතුළේ පිරිවෙණකුත් තිබුණා. ලොකු හාමුදුරුවෝ තමයි මේ ඞීල් එක කළේ. එයා තමයි එහේ අධිකරණ සංඝනායක. තාමත් එයාම තමයි ඉන්නේ. මම ඩිමෝ බට්ටා එකෙන් ගිය නිසා එදා ලොකු හාමුදුරුවෝ නෑ කිව්වා. 

ඒත් ලොකු හාමුදුරුවෝ ඇතුළේ හිටියා කියලා මට විශ්වාසයි. පන්සලේ වටාපිටාව ගැන සැකයක් මගේ හිතට ආවා. ඔත්තු බලන්න වගේ කීපදෙනෙක්ම පන්සලේ හිටියා.’’ ඔහු, පන්සලේ හාමුදුරුවන්ට වඩා කපටිය. වාස්ට වඩා කෛරාටිකය. 

ඔහු ඒ ගමනින් පසු නැවත හැරී එන්නේ ඊට දින දෙකකට පසු එකී පිළිමය මිලදී ගැනීමට වුවද, ඊට පළමුව යන්නේ මේ ඇන්ටික් කෙරුවාවේ නමගිය තම හිතමිතුරු මුදලාලිලා කිහිපදෙනකු හමුවන්නටය. ඒ පිළිමය ගැන ඞීල් දාන්න නොව පිළිමය මිලදීගත් පසු සිදුවන දේ දැනගන්නය. 

පළමුව හමුවන්නේ ගලේවෙල ප‍්‍රදේශයේ ජයටම ඇන්ටික් බිස්නස් කරන හිටපු ග‍්‍රාමසේවකයෙකි. ඔහු වටිනා පුරාවස්තු මිලදී ගෙන විදේශිකයන්ට විකුණන මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. කතාව වෙනස් වන්නේ හිටපු ග‍්‍රාමසේවක, ගොකරැල්ල පිළිමය ගැන කියන කතාවෙනි.

‘‘මම කිව්වා අනිද්දට මම පිළිමය ගන්නවා කියලා. මට ඒ පිළිමේ ගන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවම මිනිහා කිව්වා ඒ පිළිමේ ගන්න ගිහින් මිනිහට වුණු සිද්ධිය. ලක්ෂ 70කට ඒ පිළිමේ අරන් එද්දී ගොකරැල්ල පොලිසියෙන් මිනිහව අල්ලලා. 


ඊට පස්සේ ගොකරැල්ල පොලිසියේදී මිනිහට කියලා මේවා එක්ක අහුවුණාම බේරෙන්න බෑ, දන්නවානේ පුරාවිද්‍යා බඩු එක්ක අහුවුණාම වෙන දේ, මේක දුරදිග යන කේස් එකක් කියලා. 

පස්සේ මිනිහා ළඟට ඇවිත් පොලිස් කාරයෙක් කියලා තියෙනවා වාස් මහත්තයට කියලා ගොඩදාගන්න පුළුවන් ලක්ෂ 20ක් ඕනෑ කියලා. පස්සේ මිනිහා ඒ ලක්ෂ 20 දීලා ඇවිල්ලා. මට කිව්වා ඒ පිළිමේ ගන්න එපා, එයාට ලක්ෂ 90ක් පාඩුවුණා කියලා. දැන් කියන්න කරන්න දෙයක් නැතුවයි ඉන්නේ කිව්වා. 

ඒත් මට මිනිහාව විශ්වාස නැති නිසා බණ්ඩාර කියලා පොළොන්නරුවේ මුදලාලි කෙනෙකුට මම කතා කළා. මිනිහා මහනුවර තමයි බිස්නස් කරන්නේ. එයා කිව්වෙත් ඒ කතාවම තමයි. බණ්ඩාර මේ පිළිමේ අරන් තියෙන්නේ කෝටියකට. ලක්ෂ 25ක් දීලා තමයි මිනිහා බේරිලා තියෙන්නේ. 

බණ්ඩාරට කෝටියයි ලක්ෂ විසිපහයි දෙකම නෑ. තව දඹුල්ලේ මුදලාලි කෙනෙකුත් කෝටියකට පිළිමේ අරගෙන ලක්ෂ 25ක් පොලිසියට දීලා ඇවිත් කියලා ආරංචි වුණා. මුලින් ගොඩක් අය මේ ඞීල් එක ගැන දැනගෙන හිටියේ නෑ. 

සමහරු බයට කිව්වේ නෑ. තව සමහරු ලැජ්ජාවට කිව්වේ නැහැ. පිළිමේ විකුණුවට පස්සේ පන්සලෙන්ම පොලිසියට කෝල් එක දෙනවා. මගදි අල්ලනවා. පොලිසියෙන් සල්ලි ගන්නවා. ඊට පස්සේ නිදහස් කරනවා. 

හැමදේම දන්න වාස් මේක නොදැන ඉන්න බෑ. අනික වාස් නොදැන වාස්ගේ නම විකුණලා කුරුණෑගල පොලිසිවල ඒ කාලේ කාටවත් සෙල්ලම් දාන්නත් බෑ. මේක ගැන දැනගෙනත් මට ඒ පිළිමේ බලන්න ආසාවක් ආවා.’’

ඔහු එතැන් පටන් තමාටද සිදුවීමට නියමිත දේ පිළිබඳව හොඳින්ම දනී. එබැවින් තමාට පැමිණෙන්නටයැ’යි කියූ දින ඔහු යන්නේ පිළිමය මිලදී ගැනීම අනිවාර්යයෙන් සිදුකරන සෙයියාවෙනි. 


එහෙත් සූදානම් ශරීරයෙනි. ඔහු තම නවීන ජීප් රථය පන්සලට ඇතුළු කළ මොහොතේ සිට ඔත්තු බලන කිහිපදෙනකු ජංගම දුරකතන ගෙන රථයේ ඡුායාරූප ගෙන ඇත. දුරකතන ඇමතුම් ගෙන ඇත. 

ඒවා පිළිබඳව විමසිලිමත්වෙමින් සිටියදී ඔවුන් ළඟට ආ හිමිනමක ඔහුගේ සහ ඔහු සමග පැමිණි අනෙකුත් තිදෙනාගේ තොරතුරු විමසා ඇත. ඉන් අනතුරුව පන්සල තුළට ගන්නා ඔවුන් හමුවට එන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ය.

‘‘ලොකු හාමුදුරුවෝ ඇවිත් ඇහුවා මහත්තුරු ගන්නවාද කියලා. බලන්න ඕනෑ කිව්වාම බලන්න බෑ ගන්නවා නම් ගන්න කියලා. චෙක් ගන්නේ නෑ. සල්ලිවලින් ගෙවන්න ඕනෑ කිව්වා. හරි අපි ගන්නම්. ඒත් ඊට කලින් බලලා ඉන්න ඕනෑ කිව්වාම හතරදෙනාගෙන් ගන්න කෙනාට විතරක් එන්න කිව්වා. ඒ වෙලාවේ මාත් එක්ක බ්‍රෝකර් උපුල් සහ ඩ‍්‍රයිවර් හිටියා. තව මාත් එක්ක ආව යාළුවෙකුත් හිටියා. 


පිළිමේ බලන්න මම ඇතුළට ගියා. ඒක අඩි දහයයි දහය වගේ කළුවර පොඩි කාමරයක්. ඒකෙ ඇන්ටික් ලොකු කබඞ් එකක් තිබුණා. හාමුදුරුවෝ කබඞ් එක ඉස්සරහ මට වාඩිවෙන්න කියලා දොර ඇරලා පෙන්නුවා. කබඞ් එකේ තට්ටු 4ක් තිබුණා. 

පහළම තට්ටුවේ පිළිමේ තිබුණේ බී‍්‍රෆ්කේස් තුන හතරක් එක්ක. මම හිතන්නේ කලින් මේ ගැටේට අහුවුණු අයගේ සල්ලි බෑග් වෙන්න ඕනෙ ඒ. පිළිමේ අඩි එකහමාරක් විතර දිගයි. උස අඟල් 8ක් 10ක් වගේ. ඒකේ මැණික් ගල් ඔබ්බලා තිබුණා. ඒක කිරිගරුඬ පිළිමයක්. මම කිව්වා එළියේ අයට පෙන්නන්න ඕනෑ කියලා. 

හාමුදුරුවෝ කිව්වා එහෙම බෑ ගන්නවා නම් ගන්න. නැත්නම් යන්න කියලා. මට කිව්වේ ලක්ෂ 150ක්. අන්තිමට කිව්වා ලක්ෂ 120කට දෙන්නම් කියලා. මම ඒ වෙලාවේ කිව්වා මම ගන්නම්. ඒත් එළියේ අයට පෙන්වන්න ඕන කියලා. එළියට ගෙනියන්න දෙන්න බෑ කිව්වා. 

මගේ කැමරාව අරගෙනයි මම ඇතුළට ගියේ. ඒක ෆෝන් එකක් වගේ නිසා මම කිව්වා මේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් එළියේ අයට පෙන්වන්නම් කියලා. ඒත් ඒකටත් බෑ කියලා පස්සේ කිව්වා එකක් ගන්න කියලා. ඒ පින්තූරය තමයි මේ.’’

ඔහුගේ ීදබහ ෘීක්‍-ඔ 700 කැමරාව බැලූ බැල්මට නවීන ස්මාර්ට් ජංගම දුරකතනයකට සමානය. ඔහු එයින් ගත් පින්තූරය සමග එදා පන්සලෙන් එළියට එන්නේ තමා බැංකුවෙන් මුදල් රැගෙන නැවත පැමිණෙන බව කියමිනි. 


පන්සල් වත්තෙන් ජීප් රථයෙන් නික්මුණද ඔහු එතැන් පටන් යන්නේ ඩිමෝ බට්ටා වාහනයකිනි. පිළිමය මිලදී නොගත්තද ඒ මතු ආරක්ෂාව පිණිසය. තම එකතුවට ගොකරැල්ලේ එම පිළිමය නැතත් ඔහු සතුව පිළිමයේ විශාල කළ ඡුායාරූපයක් ඇත. 

ඡුායාරූපයට අනුව එය මැණික් ඔබ්බවා ඇති කිරිගරුඬ බෝසත් ප‍්‍රතිමාවකි. ‘‘වාස් ගුණවර්ධනයි පන්සලේ හාමුදුරුවොයි එකතුවෙලා මේ වැඬේ කළා කියලා තමයි ඒ කාලේ මේ බිස්නස් කරන අය අතරේ කතාව පැතිරුණේ. 

පිළිමේ ගන්න ගිය ගොඩක් අයට දෙපැත්තකින්ම සල්ලි නැතිවුණා. ඒ බිස්නස් එක කරපු හාමුදුරුවෝ අදටත් හොඳට ඉන්නවා. ඒ පිළිමේ මතක් වෙන්න අදටත් මම මේ පින්තූරේ ලොකු කරලා තියන් ඉන්නවා.’’

ෂියාම් ඝාතනයට අත්අඩංගුවට පත්වන්නට පෙර වාස් ගුණවර්ධනගේ ෆේස්බුක් පිටුවේ අපූරු ඡුායාරූප ගොන්නක් තිබුණි. ඒ අතර වැඩිපුරම තිබුණේ රටේ ඉහළම පෙළේ උදවිය සමග ගත් ඡුායාරූපය. ඒ අතරින් පතර පන්සල් තුළ මල් පූජා කරන පින්තූර සහ ස්වාමීන් වහන්සේලා ගෙන් විවිධ උපහාර සන්නස් පත් ගන්නා පින්තූරද බොහෝය. 


වාස් ගුණවර්ධන අත්අඩංගුවට පත්වෙද්දී එහි තිබූ පින්තූර ගොන්නෙන් අද වනවිට බොහොමයක් ඉන් ඉවත් කරගෙන තිබුණද අදටත් කවර පිටුවට ඇත්තේ වාස් ගුණවර්ධන පවුල අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමන් සමග ගත් ඡුායාරූපයකි. 

එම ඡුායාරූපය ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ 2012 වසරේ මැයි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදීය. වාස්ගේ අරලියගහ මැදුරේ පින්තූර අතර අපූරු පින්තූරයක් විය. එහි වාස් ගුණවර්ධන තරු පටි සහිත පොලිස් නිල ඇඳුමෙන් සැරසී යමක් දෙසට අත දිගුකර පෙන්වයි. වාස්ගේ එක පැත්තක සිටින්නේ මහජන බැංකුවේ වත්මන් සභාපති ධුරය හොබවන ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත්ය. 

වාස්ගේ අනෙක් පැත්තේ සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. රටේ අදෘශ්‍යමාන ලෙස මූල්‍ය කටයුතු හොබවන සේදර සෙනරත්ටත්, ජනාධිපති වරයාටත් මැදිව වාස් අත දිගුකර පෙන්වන්නේ එදා ගොකරැල්ලේදී විකුණන්න තිබූ පිළිමය වීම අපූරුය.

කතාව පැහැදිලිය. ඒ පිළිමය අරලියගහ මැදුරට ගියේ කෙසේද, අදටත් එය අරලියගහ මැදුරේද, නැතිනම් අත්අඩංගුවට පත් කෞතුක වස්තූන් ලෙස ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදුන්නාද දන්නේ වාස්ය.

හතළිස් දෙහැවිරිදි රාමසාමි ප‍්‍රභාකරන් හෙවත් මැජෙස්ටික් ප‍්‍රභා නමැති ව්‍යාපාරිකයා තමා වධ බන්ධනයට පත්කරමින් මාස 28ක් රඳවා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කළේය. 


එහි ප‍්‍රධාන වග උත්තර කරුවා එවකට සීසීඞී අධ්‍යක්ෂ වාස් ගුණවර්ධන විය. නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පොලිස් අධිකාරී මොහින් ඩෝල් ඇතුළු පොලිසියේ පස්දෙනකු අනෙක් වග උත්තර කරුවෝ වෙති. 

ත‍්‍රස්ත විමර්ශන භාරයේ සිටියදී වාස් ගුණවර්ධන තමාගෙන් මිලියන 100ක කප්පමක් ඉල්ලූ බවත්, තමාට වධහිංසා කළ බවත් මැජෙස්ටික් ප‍්‍රභා මානව හිමිකම් ක‍්‍රියාධරයන්ට පවසා තිබුණේ ප‍්‍රභා පැහැරගෙන යන්න දින කිහිපයකට පෙරදීය. 

වාස්ලාට විරුද්ධව මානව හිමිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසෙන්නට තිබූ දිනට දින 3කට පෙර එනම් 2012 පෙබරවාරි 11වැනිදා හත් දෙනකුගෙන් යුත් කල්ලියකින් වැල්ල වත්තේදී ප‍්‍රභා අතුරුදන් කරන්නේ අදටත් තොරතුරක් නැතිවන්නටය. 

පැහැර ගැනීමෙන් පසු ප‍්‍රභාගේ බිරිඳට කැඩුණු දෙමළෙන් දුරකතන ඇමතුම් දී පිරිසක් පවසන්නේ ස්වාමියා නිදහස් කරන්නට රුපියල් මිලියන 100ක් අවශ්‍ය බවය. දින දෙකකට පසු නැවතුණ ඒ ඇමතුම අදටත් නිහඬය. 

වාස් සීසීඞී අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කාලයේ කොළඹ දෙමළ ව්‍යාපාරිකයන්ට අත්වුණේ ප‍්‍රභාට සිදුවූ කතාවේ අනෙක් කතාවය. දැනට අත්අඩංගුවේ සිටින ක‍්‍රිෂාන්ත විශ්වරාජ් විසින් කොළඹ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිළිබඳව වාස්ට දැනුම් දෙන ලදි. 

එවකට යුද්ධය පැවතුණ සමය බැවින් වාස් කළේ එල්ටීටීඊ චෝදනාව මත ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමය. ඔවුහු එදා බොරු චෝදනාවලට හිරේ නොයා වාස් ඉල්ලූ කප්පම ගෙවා නිදහස ලද්දෝය. කප්පම නොගෙවූ වන්ට සිදුවුණේ කුමක්ද දන්නේ ඔවුනුත් වාස් ගුණවර්ධනත් ඔහුගේ සහචරයනුත් පමණි.

වාස් සීසීඞී අධ්‍යක්ෂ ලෙස කොළඹ සිටියදී මැජෙස්ටික් ප‍්‍රභාත්, සඳුන් ලසිත කුමාර විතානත් පැහැර ගැනෙන්නේ් එල්ටීටීඊ ලේබලය යටතේය. අත්අඩංගුවට ගනිති. කප්පම් ඉල්ලති. දුන්නොත් නිදහස් කරති. නොදුන්නොත් අතුරුදන් කරති. 


ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කුරුණෑගල ආ පසු පිළිම වටා, කප්පම් වටා ගෙතෙන මේ කතාවද එක හා සමානය. කොළඹදී අතබර ව්‍යාපාරිකයන් වාස්ට මාට්ටු කළේ ක‍්‍රිෂාන්ත විශ්වරාජ්ය. කුරුණෑගලදී ව්‍යාපාරිකයන් වාස්ට මාට්ටු කරන්නේ වයඹ පළාත් ප‍්‍රධාන සංඝනායකයකුයැ’යි කියාගන්නා භික්‍ෂුවකි. 

කොළඹදී කප්පම් ගන්න වස්තු බීජය වන්නේ එවකට පැවති එල්ටීටීඊ වාතාවරණයයි. කුරුණෑගලදී කප්පම් වස්තු බීජය වන්නේ මේ ව්‍යාපාරිකයා කියන පිළිමය නම් දැන් එය ඇත්තේ කොහිද?

වාස් කුරුණෑගල සිටි කාලයේ ගොඩකවෙල පොලිසියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ටියුඩර් අබේවික‍්‍රමය. දැන් ඔහු කුරුණෑගල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිය. 


ඔහුගෙන් උපාය මාර්ගිකව අප කළ විමසීමකදී මුලින් පිළිමයක් ගැන කීවද, පසුව කීවේ එවැනි පිළිමයක් ගැන නොදන්නා නමුත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සොරාගත් පිළිමයක් පිළිබඳව පමණක් තමන්ට මතක බවයි. වාස් ගුණවර්ධනගේ බාල පුත් හසිඳු වාස් ගුණවර්ධන 2012 අගෝස්තු 9 වැනිදා ෆේස්බුක් කවර පිටුවට යෙදූ පිළිම වහන්සේ නමකගේ පින්තූරයක් අදද ඇත. 

එහි පහළ සඳහන් කර ඇත්තේ ගොකරැල්ල රජචේතියාරාම විහාරස්ථානයේ විකිණීමට තබා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද්දක් බවය. එහි පසුබිමද අරලියගහ මැදුරය. හිතවත් උසස් පොලිස් නිලධාරියකු දිනක් අපූරු කතාවක් කීවේය. 

තමන්ගේ විසිපස් වසරක පොලිස් සේවය තුළදීවත් අල්ලන්න බැරිවූ තරමේ විශාල අපරාධ, නොසිතන ආකාරයේ ස්ථානවලින් වාස් ගුණවර්ධන ක්ෂණිකවම අල්ලා ගන්නා බවය. ගොකරැල්ල පිළිමයත් ඒ කතාවට තවත් එක් ඌනපූරණයක් බව අපට සිතාගත හැකිය. 

අවශ්‍ය දේ කරගත්තාට පසු ඊළඟ උසස්වීම වෙනුවෙන් තොගය පිටින්ම අල්ලා දීම එක අතකින් ඒ කාර්යය වසා දැමීමට පහසුම මග ලෙස වාස් සිතුවා වන්නට පුළුවන. 

අද වාස් ද ඒ කාරණාව තුළම හිරවීම දෛවෝපගතය. වාස් ගුණවර්ධන යනු එහි ප‍්‍රධානීන් භාවිතයට ගෙන ඉවත දමන ලද එක් නිෂ්පාදනයක් පමණි. වාස් ගුණවර්ධන සේවය කළේ ඔහුගේ ඉහළ හාම්පුතුන්ටය. 

වාස් පිළිබඳව සෙවීමේ අවශ්‍යතාව වැඩිවන තරමට හාම්පුතුන් ඒවාට ගෑවෙන තරමද වැඩිවනු ඇත. එහෙයින් ෂියාම්ට පමණක් මේ පරීක්ෂණ සීමාකර මේ කියන සංඝනායක කවුද යන්න සෙවීම බුද්ධ ශාසනයේ නාමයෙන් නොකෙරෙනු ඇත. වාස් ගුණවර්ධනගේ වාසනාව මුළුමනින්ම ඉවරයැ’යි සිතිය නොහැකිය. 

ඔහුට ඇති සියලූ චෝදනා ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප‍්‍රකාශ ඉල්ලා අස්කරගෙන නිරුපද්‍රිතව වාස් එළියට ඒමට බැරිකමක් නැත. ඒ මහා වරප‍්‍රසාදයට අයත් එකම කොන්දේසිය වනුයේ මොනම හේතුවක් නිසා හෝ තම හාම්පුතුන්ගේ නම් නොකෙළෙසිය යුත්තේය යන පොරොන්දුවය.

- කසුන් පුස්සවෙල
 
Related Posts with Thumbnails