Ads 468x60px

.

මහා පරිමාණ කැසිනෝ හෝටල් සහ අපේ රටේ කැසිනෝ ධර්මද්වීපය

කැසිනෝ සූදු කී‍්‍රඩාව සඳහා පහසුකම් ඇති මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා වූ යෝජනා වකට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන පුවතක් මෑතකදී අපට වාර්තා වුණා. 

වාර්තා වන පරිදි මෝටර් ෆ්‍රෙන්ඞ් ප්‍රොපටීස් ලිමිටඞ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශි‍්‍රතව ජෝන් කීල්ස් හෝල්ඩින් පී.එල්.සී. සමාගම විසින් ඩොලර් මිලියන 650ක ආයෝජනය ඉන් එකකි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8150කි.

සීමාසහිත ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස් සමාගමට ඞී. ආර්. විජේවර්ධන මාවතේ ඇමරිකානු ඩොලර් මිලියන 350ක් වටිනා ආයෝජනයක් සඳහාත් මෙම අනුමැතිය ලැබී ඇත. මෙය දෙවැන්න වේ. මේ ආයෝජනයේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 4375කි.

කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර ලබාදී ඇති බවට රජයට විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති 
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 
දැක්වූ අදහස් පහතින්.

ප‍්‍රශ්නය - කැසිනෝ සඳහා බලපත‍්‍ර දීල තියෙනවද?

පිළිතුර-  දීලත් නැහැ. දෙන්නෙත් නැහැ.

ප‍්‍රශ්නය-  ඒත් ආයතන කීපයකට ඒ සඳහා අනුමැතිය දී තිබෙන බව මාධ්‍යවල සඳහන් වුණා.


පිළිතුර- ලංකාවේ කැසිනෝ සූදුව පවතින්නෙ බලපත‍්‍රයකින් නොවෙයි.

ප‍්‍රශ්නය-  එහෙම නම් තියෙන්නෙ කොහොමද?


පිළිතුර- කැසිනෝ සූදුව තියෙන්නෙ බදු ගෙවීමකින්. ඔට්ටු හා සූදු කී‍්‍රඩාවක් වශයෙන් පවත්වා ගෙන යන ස්ථාන තිබෙනවා. ඒකට බදු ගෙවනවා. ඒ බදු ගෙවීම යටතේ සෙල්ලමක් ලෙස පවත්වාගෙන යනවා. මේ රජය මගින් නීතිගත කිරීම කර තිබෙනවා. 


කවුරු හරි බදු ගෙවනවා නම් මුදල් අමාත්‍යංශයෙන් අවසර ගතයුතු වෙනවා. ඒ අනුව දැනට පවත්වාගෙන යන අයට හැර අලූතෙන් කාටවත් ඇතුල් වෙන්න බැහැ.

ප‍්‍රශ්නය-  කැසිනෝ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබ ඇති බව කියන කතාවෙ සත්‍යයක් නැද්ද?


පිළිතුර-  කැබිනට් අනුමැතියක් කැසිනෝවලට ලබාදීල නැහැ. මිශ‍්‍ර ව්‍යාපෘතිවලට දීල තියෙනවා.

ප‍්‍රශ්නය- මිශ‍්‍ර ව්‍යාපෘතිවලට දීල තියෙනව කිව්වෙ.


පිළිතුර-  මිශ‍්‍ර ව්‍යාපෘති යටතේ විවිධ විනෝදාංශ තියෙනවා. කැසිනෝ සෙල්ලම් කිරීමට අවශ්‍ය නම් කලින් බදු ගෙවන කෙනකු එක්ක මාරු කර ගන්න  ඕනෑ. අලූතෙන් ගන්න බැහැ.

ප‍්‍රශ්නය-  ඔබ මේක උදාහරණයකින් පැහැදිලි කළොත්


පිළිතුර-  වයින් ස්ටොර්ස් එකක්, තියෙන ස්ථානයකින් වෙනත් ස්ථානයකට ගෙනිහිල්ල පවත්වාගෙන යා හැකියි. ඒක අලූතින් වයින් ස්ටෝර්ස් බලපත‍්‍රයක් දීමක් නොවෙයි. තිබුණ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන ගියා. එකම වයින් ස්ටෝර්ස් එක. 


අලූත් එකක් නොවෙයි. තිබුණ බලපත‍්‍රයම පමණයි. ස්ථානය මාරුවුණා. ඒ වගේ තමයි කවුරු හරි එක්ක ගිවිසුමක් ගහගෙන ඒ අය බද්දට ගත්තොත් අපට කළ හැකි දෙයක් නැහැ.

ප‍්‍රශ්නය-  උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ කැසිනෝ පවත්වාගෙන යාමට අවසර දීම රටට හානියක් නොවේද?


පිළිතුර-  ඩොලර් මිලියන 200 කට වැඩි ව්‍යාපෘති සඳහා ලංකාවෙ බදු සහන දෙනවා. දේශීය ව්‍යාපාරිකයින්ට වගේම විදේශීය ව්‍යාපාරික යන්ටත් ඒ බදු සහන ලැබෙනවා. ඒ බදු සහන මත කාමර 400, 500 ඇති එපාට්මන්ට්, සුපර්මාර්කට් ඇතුළු විවිධ පහසුකම් ඇති ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. 


එවැනි ව්‍යාපෘති අනුමැතිය ලබා දුන්විට ඒවායේ විනෝදාස්වාද කටයුතු සංචාරක කටයුතු සඳහා වූ දේවල් පවත්වාගෙන යාමට ඉඩ තියෙනවා. නමුත් අපි ඒවා පවත්වාගෙන යාමට බලපත‍්‍ර දෙන්නෙ නැහැ. ඒ අයට කැසිනෝ සෙල්ලම් කරන්න අවශ්‍ය නම් බදු ගෙවන එකත් මාරුකර ගන්න පුළුවන්.

ප‍්‍රශ්නය- බදු ගෙවන එකත් මාරු කරගන්න  ඕන. ඒ කියන්නෙ.


පිළිතුර-  බදු ගෙවන ස්ථාන 6ක් ලංකාව ඇතුළෙ තියෙනවා නම් කොතැනට වුවත් මාරු වෙන්න  ඕනෑ. ඒ හයම තමයි. වැරැදි අර්ථකථන දෙන්න යනවා. අපි අලූතෙන් දෙන්න යනවලූ. ඒක වැරැදියි. ධම්මික පෙරේරාට, රවි විජේරත්නට කැසිනෝ තියෙනවා. 


ඒ සඳහා බලපත‍්‍ර නැහැ. ඔට්ටු හා සූදු යටතේ බදු ගෙවනවා. ඔවුන් ඔවුන්ගේ කැසිනෝ ව්‍යාපෘතිය මේ අලූත් අය සමඟ ගිවිසුමක් ගැහුවොත් අපට කරන්න දෙයක් නැහැ. රජයක්ලෙස බලපත‍්‍රයක් දෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය- බදු ගෙවන කැසිනෝ ස්ථාන කීපයක් තියෙනවද?


පිළිතුර- මම දන්නා තරමට 6ක්. කැසිනෝ සඳහා කිසිම බලපත‍්‍රයක් දෙන්නේ නැහැ. 


ඒ පිළිබඳව කළුතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා දැක්වූ අදහස් පහතින්.

සූදු කර්මාන්ත සඳහා කොළඹ නගරය තෝරා ගැනීමෙන් සිදු වන්නේ අපේ මේ ධර්ම ද්වීපය කැසිනෝ ද්වීපයක් බවට පත් වීමයි. 

අපේ රට ධර්ම රාජ්‍යයක් විධියට තිබුණු බලාපොරොත්තු කඩ වෙනවා. බුද්ධාගමට ප‍්‍රමුඛත්වය දෙනවා කියන, ආගමික සංස්ථාවලට ප‍්‍රමුඛත්වය දෙනවා කියන අපේ ප‍්‍රතිපත්ති කඩ වෙනවා. අවසානයේ අපේ රට විනාශය කරා අරගෙන යනවා. මේ නිසා මේකෙන් ඇති වන බලපෑම් පිළිබඳව රජය තක්සේරුවක් ලබා ගත යුතුයි.

එක්කෝ මේ රජය ජනතාවට බොරු නොකර ඇත්ත කියන්න  ඕනෑ ‘‘අපි මේ රට සූදුලන්තයක් බවට කැසිනෝලන්තයක් බවට පත් කරනවා’’ කියලා. එවිට ජනතාවට ඒක තෝරා බේරා ගන්න පුළුවන් වේවි. හැබැයි ජනතාවට බොරු කියන එක බරපතළ වරදක්.

මේ රටේ සංවර්ධනය පිළිබඳව ආණ්ඩුව විවිධ උපාය මාර්ග හඳුනා ගෙන තිබෙනවා. එයින් රජය ප‍්‍රමුඛ උපාය මාර්ගය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ සංචාරක කර්මාන්තය හා කැසිනෝ සූදු ව්‍යාපාරයයි. මේ රජය බල්ලො මරල හරි සල්ලි සොයන්න උත්සාහ කරනවා. විධිමත් ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති කම මේකට හේතුවයි.

නීත්‍යානුකූල කැසිනෝ ශාලා හයක්  දැනට ක‍්‍රියාත්මකව පවතින බව රජය කියනවා. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ ඇතුළත් වන කැසිනෝ ක‍්‍රීඩා කීපයක්.


බකාරා, පුන්ටෝ බැංකෝ, බිග්සික්ස්, බ්ලැක් ජැක්, බුවලේ, චෙමින්ඩිෆර්, චක් අලක්, ක‍්‍රවුන් ඇන්ඞ් ඇන්කර්, ෆාරෝ ෆාරෝ බෑන්ක්, හසාඞ්, පෝකර් ඩයිස්, පොන්ට‍්‍රන්, ඇමෙරිකානු හෝ ප‍්‍රංශ රැලේ, ටෙ‍්‍රන්ටේ, එච් ක්වොරන්ටේ, වීල් ඔෆ් ෆෝචූන්.


 මේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන්නේ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත) පනත යටතේ වූ වගන්තිවලට අනුකූලවය.

සුඛෝපභෝගී හෝටල, සම්මේලන මධ්‍යස්ථාන, විනෝදාස්වාදය, සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, සාප්පු සංකීර්ණ, නිවාස සංකීර්ණ, කාර්යාල පහසුකම් ළමා විනෝදාස්වාද කටයුතු ඇතුළු අංගෝපාංග රාශියකින් මේ ව්‍යාපෘතිය යුක්ත වෙයි.

මේ ව්‍යාපෘති දෙකම අනුමත වනවිට ”කැසිනෝ” යන නම සඳහන්ව නොතිබි බව ද පැවසේ. එහෙත් ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේදී එම ව්‍යාපෘතියට අදාළව පවත්වාගෙන යන අංශ පිළිබඳව (නිත්‍යානුකූල) විරෝධතාවක් දැක්වීමට ද අවස්ථාව අහිමිවී ඇත.

2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනතට අනුව ඇමැතිවරයා විසින් නිකුත් කරනු ලබන වලංගු බලපත‍්‍රයක අධිකාරිය යටතේ හැර සහ ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් නියම කරන නිශ්චිත ප‍්‍රදේශයකදී හැර කිසිම තැනැත්තකු 2012 ජනවාරි මස 1 වැනි දින සිට කැසිනෝ ව්‍යාපාරවල නිරත නොවිය යුතුය.

කැසිනෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මහජනයා දැනුම්වත් කළ යුතුව ඇත.

පනතට අදාළ නියෝග කි‍්‍රයාත්මක නොකරන අවස්ථාවක අධිකරණයේ නඩු විභාගයකින් වරදකරු වූ විට වසර 5ක් බන්ධනාගාරගත කිරීම හෝ මිලියන 5ක දඩයක් හෝ එම දඬුවම් දෙකටම යටත්වෙයි.

එසේම නිකුත් කරන බලපත‍්‍රය නිශ්චිතව දක්වනු ලබන නියමයන් හා කොන්දේසිවලට යටත්විය  යුතුය.

කැසිනෝ සම්බන්ධයෙන් පවත්නා පනත යටතේ වූ නීති සමහරක් මේවා වුවද අද එම සූදුව පිළිබඳව විවිධාකාර මත හා චෝදනා ඉදිරිපත්වී ඇත. මේ විරෝධතා නිසා රජය ප‍්‍රකාශකර ඇත්තේ අලූතින් බලපත‍්‍ර නිකුත් නොකරන බවයි. 


සංචාරක ව්‍යාපාරයේ වර්ධනය සඳහා කැසිනෝ ව්‍යාපාරයද අත්වැල් බැඳගත යුතු බවට ද අදහස් ඇත. පසුගිය අයවැයෙන් කැසිනෝ සඳහා අති විශාල මුදල් ප‍්‍රමාණයක් බදු වශයෙන් නියම කෙරිණි.

සිංගප්පූරු, තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක් සිය සංචාරක ව්‍යාපාරය දියුණුකර ගැනීමේ මූලික ව්‍යාපාරයක් ලෙස කැසිනෝ පවත්වාගෙන යයි. 


සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වසර දෙකකට පමණ කැසිනෝවලට අවසරදී තිබුණත් පසුව දිගටම පවත්වාගෙන යයි.

මැලේසියාවේ කැසිනෝ ව්‍යාපාරය සඳහා වෙන්කළ ස්ථානයක් පවතී. සාමාන්‍ය ජනතාවට පහසුවෙන් ප‍්‍රවේශවීමට නොහැකි ප‍්‍රදේශයක් ඒ සඳහා යොදාගෙන ඇත. විදේශික සංචාරකයන් හා විදේශික සූදුකරුවන් සඳහා පමණක් මේ ප‍්‍රදේශ වෙන්කර ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිදෙනා බෞද්ගාමිකයෝ වෙති. සූදු කී‍්‍රඩාව පිළිබඳව විරෝධය විවිධ අංශවලින් හා දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වී ඇත.

අද බස්නාහිර පළාතේ කොළඹ ඞී. ආර්. විජේවර්ධන මාවතේ ජේම්ස් පැකර් හෝ ක‍්‍රවුන් කැසිනෝ සඳහා අවස්ථාව ලබාදීමට සූදානම්වන බවට චෝදනා ඇත. මෙම ක‍්‍රවුන් ආයතනය සූදු කර්මාන්තය ප‍්‍රමුඛව පවත්වාගෙන යන ව්‍යාපාරයකි. 


මෙවන් ආයතනයක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ හෝටලයක් පැවැත්වීම සඳහාම නොවනු ඇත. හෝටලය සමඟ කැසිනෝ ව්‍යපාරයද අපූරුවට පවත්වනු ඇතැයි විශ්වාස කිරීමට සිදුවේ.

විශේෂයෙන් ශ්‍රී ලාංකික පොදු ජනතාව කැසිනෝ වැනි කී‍්‍රඩාවලට ඇබ්බැහිවී විනාශවීමට ඉඩ ප‍්‍රස්තා  ලබා නොදිය ුයතු බවට මතයක් පවතී. එය සාරධර්ම විනාශ කිරීමකි. 


එයට හේතුව නම් කැසිනෝ කී‍්‍රඩාවට, පවතින තවත් අංගයන්ය. මත්පැන්, දුරාචාරය මේ සියල්ල කැසිනෝ සූදුව හා බැඳී පවතී. ඒ සියල්ල සදාචාරය හා සාරධර්ම විනාශ කිරීමට හේතුවෙති.

ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පිළිබඳව හා කැසිනෝ පිළිබඳව පවත්නා පනත් පළමු පනත 1930 අගෝස්තු 1 වැනි දින ඔට්ටු ඇල්ලීම හා අශ්ව රේස් පිළිබඳ පනත.


1961 දෙසැම්බර් 5 වැනිදා සූදු සංශෝධන පනත (අංක - 48)
1957 සූදු සංශෝධන පනත (අංක 26)
1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත (මේ වනතුරු පනතක් ලෙස කි‍්‍රයාත්මක වේ)
2001 - ඔට්ටු හා සූදු බදු සංශෝධන පනත (අංක x7)
2005 - අංක 9 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත
2010 - අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත

තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් කැසිනෝ ව්‍යාපාරය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද නිර්දේශ මෙසේය.


කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීමේදී එය රජයේ පුළුල් සංවර්ධන වැඩ පිළිවෙළට අනුකූල වන්නේ කෙලෙසකදැයි විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.


ජනතාව අනුමත කළ රජයේ සංවර්ධන උපාය මාර්ගය වන්නේ ”මහින්ද චින්තන” ඉදිරි දැක්ම”යි. එහි පරමාර්ථය වන්නේ පළමුව, අහිමිකරවා ඇති ආර්ථික සමෘද්ධිය හා නූතන සංවර්ධනයේ ප‍්‍රතිලාභ රටේ පොදු මහජනයාට හිමිකරදීමයි. 


දෙවනුව දිගුකාලීන තිරසාර සංවර්ධනයකට අවශ්‍ය අඩිතාලමද, සමාන්තරව සකස් කිරීමයි. මෙම ඉදිරි දැක්මේ පදනම වන්නේ පංචබල කේන්ද්‍ර වැඩ සටහනයි. 

එනම් ශ්‍රී ලංකාවේ විශිෂ්ට භූගෝලීය පිහිටීම උපයෝගී කරගෙන බටහිර හා නැගෙනහිර යා කරන නාවුක, ගුවන්, වාණිජ වෙළෙඳ හා දැනුමේ කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීමයි.

පංචබල කේන්ද්‍ර වැඩ සටහන යටතේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය අත්‍යවශ්‍ය අංගයක් වන අතර එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා පිළිබඳව පැහැදිලි විස්තරයක්ද ”මහින්ද චින්තන ඉදිරි දැක්ම” හි දක්වා ඇත. 


එහි විශේෂයෙන් සංචාරක කර්මාන්තයට අදාළ ලෙස දක්වා ඇති ක්ෂේත‍්‍ර වන්නේ දේශීය ආයුර්වේදය, පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික සංචාරක කර්මාන්තයයි. 

මෙමගින් අවධානය යොමුකර ඇත්තේ ඉහළ ගුණාත්මක තත්ත්වයකින් යුතු තිරසාර සංචාරක කර්මාන්තයක් බව පැහැදිලිය. එහෙත් මහින්ද චින්තන ඉදිරි දැක්මේ කිසිදු තැනෙක කැසිනෝ ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයක් පිළිබඳව සඳහන් කර නැත. 

කැසිනෝ මගින් ඉන්දියාවේ අතිරික්ත ධනය ඇද ගැනීමක් අපේක්ෂා කළ ද එයට පටහැනිව එය ඉන්දියාවේ කළු සල්ලිවලින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ නැටවෙන තත්ත්වයක් උදා කිරීමට ද හේතුවීමට ඉඩ ඇත.

මෙවන් වටපිටාවක් මත කැසිනෝ ව්‍යාපාරය උපාය මාර්ගිකව වැදගත් ක්ෂේත‍්‍රයක්ලෙස සැළකීම හා ඊට විශේෂ බදු සහන ලබා දීමට යෝජනා කිරීම ගැටලූ සහගතය. 


කැසිනෝ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට පෙර ඉන් සිදුවන වාසි සහ අවාසි ගැඹුරින් විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. කැසිනෝ ව්‍යාපාරය හරහා රටට ඇතුළු වන්නේ සේවා ආර්ථිකයක් මුල් කරගත් සදාචාර සම්පන්න සමාජයකට අහිතකර ලෙස බලපාන්නාවූ ගුණාංගයන්වේ. 

එහි එක් ප‍්‍රමුඛ අංගයක් වන්නේ සමස්ත ආර්ථිකයට විශාල විනාශයක් කැඳවාගෙන එන පිළිලයක් බඳු වූ කළු සල්ලි නීත්‍යානුකූල කිරීමයි. මෙවන් තත්ත්වයක් මත බදු සහන ද ලබා දීමට යෝජනා කිරීමෙන් සිදුවනුයේ රටට ලැබෙන එකමවාසිය වූ මූල්‍ය වාසියද නොලැබී යාමයි.

මෙයට අමතරව කැසිනෝ ව්‍යාපාර සමග ගණිකා ව්‍යාපාරය හා මිනිස් ජාවාරම මත් ද්‍රව්‍ය හා සැහැල්ලූ අවි ජාවාරමද වැඞීයාමේ තර්ජනයක් ඇත. මෙය ඇතැම් රටවල මාධ්‍ය හා දේශපාලන ක්ෂේත‍්‍රයන්ද අස්ථාවර කර ඇති බව නොරහසකි. 


කැසිනෝ ව්‍යාපාරවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂිත කලාපයකට පමණක් කැසිනෝ ව්‍යාපාර සීමා කිරීමට කැසිනෝ පිළිබඳ පනත මගින් තීරණය වූ නමුත් මෙතෙක් එවන් විශේෂිත කලාපයක් හඳුන්වා කටයුතු නොකිරීම බරපතල ප‍්‍රශ්නයකි. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස අවිධිමත් ලෙස කැසිනෝ ව්‍යාප්ත වෙමින් පවතින අතර, රටේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් කොළඹ කොටුව ආශි‍්‍රත ප‍්‍රදේශය ද කැසිනෝ ව්‍යාපාරයට යටවෙමින් පවතී. 

කොළඹ වටිනා ඉඩම් විදේශීය බැංකු හා මූල්‍ය ආයතන ආකර්ෂණය කර ගැනීමට ද, වෙළෙඳ භාණ්ඩ හුවමාරුවත්, ජාත්‍යන්තර සමුළු හා ප‍්‍රදර්ශන මූලස්ථානයක් ගොඩනැගීම පිණිස ද, යොදා ගැනීම දිගුකාලීනව වඩාත් වැදගත්වේ යැයි සිතමි.

සිංගප්පූරුව වැනි රටවල් ඉතා දැඩි නීති රීති යටතේ කැසිනෝ පවත් වාගෙන යන නමුත් අපේ රටේ එවැන්නක් දක්නට නැත. විදේශ ධනය ඇදී ඒම වෙනුවට රටේ මුදල් පිටරටට ඇදීයාමේ අනතුරක්ද මෙයින් උදාවිය හැකිය. කිසිදු රටක් කැසිනෝ වැනි සූදුවක් සඳහා බදු පනත් 8ක් මගින් සහන දෙන උපාය මාර්ගික ආයෝජන තත්ත්වයක් ලබාදී නැත.

1977 දී ආණ්ඩුවේ ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 21%ක් වූ අතර එය 2012 දී 12% දක්වා අඩුවී තිබේ. එහි බරපතල අයවැය හිඟයකට ප‍්‍රධානතම හේතුවක්වී ඇත. මෙවැනි තත්ත්වයක් මත කැසිනෝ බදු විරහිත ලෙස පවත්වා ගැනීමෙන් බදු ගෙවන ජනතාව ලබාදෙන ආදර්ශය හා මූල්‍ය විනයට ලබාදෙන බලපෑම ඉතා විනාශකාරීය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ හඳුන්වා දීමට අපේක්ෂා කළ පංචබල කේන්ද්‍රය වෙනුවට සූදුව හා මත් ද්‍රව්‍ය පිළිබඳ බටහිර සහ නැගෙනහිර යා කරන කේන්ද්‍රයක් බවට පත්වීමේ අවදානමට දැනටමත් ශ්‍රී ලංකාව ගොදුරු වෙමින් පවතී. 


එබැවින් කැසිනෝ උපාය මාර්ගික වශයෙන් වැදගත් ලෙස සළකා ඉදිරිපත් කර ඇති බදු සහන යෝජනාව පිළිබඳව ගැඹුරින් යළි විමසා බැලීම සුදුසු යැයි මම යෝජනා කර සිටිමි.

මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති දෙකක් කි‍්‍රයාත්මක කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වූ වගන්තිවලට අනුකූලවය. මෙම ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යනු කුමක්ද?

1978 අංක 4 දරණ ආයෝජන මණ්ඩල පනත යටතේ ස්ථාපනය කරන ලද මගින් අදාළ රේඛීය අමාත්‍යංශය විසින් යම් යෝජිත ව්‍යාපාරයක් ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත යුතුය.

යම් ව්‍යාපෘතියක් එසේ හඳුනා ගැනීමෙන් පසු ආයෝජන විෂය භාර ඇමැතිවරයා විසින් සෑම යෝජිත ව්‍යාපෘතියක් සඳහාම අදාළ තොරතුරු සම්බන්ධයෙන් කරන නිදහස් කිරීම්ද ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශ කළ යුතුය.

එම ගැසට් පත‍්‍රය නිකුත් කර දින 30ක් ඉක්මවූ පසු ආයෝජන විෂය භාර ඇමැතිවරයා මුදල් විෂය භාර ඇමැතිවරයා විමසා එම ව්‍යාපෘතිය ක‍්‍රමෝපාය ව්‍යාපෘතියක් ලෙස සැළකීමට මූලික හේතුව සහ ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තුවන බදු නිදහස් කාල සීමාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට දැක්විය යුතුයි. 


මේ ව්‍යාපෘතිය හඳුනා ගැනීම බදු නිදහස් කිරීම පිළිබඳව කැබිනට් ඇමැතිවරුන්ගේ අනුමැතිය ලැබිය යුතුවේ. ඒ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලැබූ පසු ගැසට් පත‍්‍රය මගින් කරනු ලබන නියමයන් මගින් අදාළ කරුණු නිශ්චිතව දැනුම්දිය යුතුය. මාස 3ක් තුළ පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.

ජාතික යහපත සඳහා වූද, ආර්ථික හා සමාජමය ප‍්‍රතිලාභ රටට ලබාදෙන ජනතා යහපතට අදාළ භාණ්ඩ හා සේවා සැපයීම සඳහා වූ ක‍්‍රමෝපායික වැදගත්කම සැළකිය යුතු ප‍්‍රමාණයකින් විදේශ විනිමය රට තුළට ගලා ඒම රැකියා අවස්ථා හා ආදායම් උත්පාදනය කිරීමේ අවස්ථා ප‍්‍රවර්ධනය කිරීම සහ තාක්ෂණය පිළිබඳව සුභවාදී පරිවර්ථනයද මගින් රටේ වෙනසක් කළ හැකි ව්‍යාපෘති අදහස්වේ.
 
Related Posts with Thumbnails