Ads 468x60px

.

උදය ශ්‍රී මුහුදේ ගිලෙන්න ගොස් අනූ නමයෙන් බේරුණු කතාව...

අපි දෙන්නම මහ 
හයියෙන් කෑ ගැහුවා...

දැනුන හැඟීම් නම් 
අහන්න එපා..

යෞවනයේ ජනාදරණීය ගායක උදය ශ්‍රීට පසුගියදාක අපි කතා කළා. හැම දාමත් අපි ඔහුට කතා කරන්නේ උදයගේ සංගීත ජීවිතයේ කුමක් හෝ අලුත් ආරංචියක් දැන ගන්න. 

අදත් අපි ඔහුට කතා කළේ අලුත් ආරාංචියක් ගැන දැනගන්න තමයි. හැබැයි මේක සංගීත ජීවිතයේ තොරතුරක් නෙමෙයි. පසුගියදාක උදය මාරක අනතුරකට මුහුණ දීලා තියෙන බව අපට ආරංචි වූ හින්දයි අපි කතා කළේ. සිදුවීම උදය අපට පැහැදිලි කළා.

විස්තර පහතින්

උදය ඔබ ළඟදී බොහොම භයානක අනතුරකට මුහුණ දුන්නා කියල ආරංචියි?

ඔව්, ඒක ඇත්ත. ඒ විදියේ අත්දැකීමක් ජීවිතයේ කිසිමදාක මට ලැබිල නැහැ. 

කොහෙදිද අනතුර සිදුවුණේ...?

ත්‍රිකුණාමලයේ ඉඳන් පරෙවි දූපතට බෝට්ටුවේ ගමන් ගනිද්දී තමයි මේ අනතුර වුණේ.

පරෙවි දූපතට ගියේ?

මගේ අලුත්ම ගීතය “කඳුළු පිරිලා” ගීතයේ රූප රචනය රූගත කරන්නයි අපි පරෙවි දූපතට ගියේ.

උදය සමග නිෂ්පාදන කණ්ඩායමත් එතැන හිටියද?

නැහැ.....මමයි බිරිඳයි බෝට්ටුව පැදවූ තැනැත්තයි විතරයි.

සිදුවීම පැහැදිලි කරන්න?

මෙන්න මේකයි සිද්ධිය. මගේ නවතම ගීතය රූපගත කළේ පරෙවි දූපතේ. ලහිරු මුදලිගේ ඇතුළු නිෂ්පාදක කණ්ඩායම කලින්ම දූපතට ගියේ කැමරා ආම්පන්න සකසලා වටා පිටාවේ අවශ්‍ය රූගත කිරීම් කරන්න.


ටික වෙලාවකින් ලහිරු මට කෝල් කළා. ඊට පස්සේ මමයි බිරිඳයි යන්න පිටත් වුණා. පුතයි බිරිඳගෙ අම්මයි දෙන්නත් ත්‍රිකුණාම‍ලේ යන්න එකතුවුණාට ඒ අය හෝට‍ලේ නැවතුණා.

ඊට පස්සේ?

එදා මුහුද ටිකක් රළුයි. ලහිරුලා යන වෙලාවේ පැවතුන තත්ත්වයට වඩා අපි යද්දි ඒ රළු බව වැඩිවෙලා තිබුණේ. බොහොම උසට රැල්ල ගහනවා. ඒත් ඉතින් ගමන නොයා බැහැනේ. අපි දෙන්නා ටිකක් බයවෙලා හිටියේ.


ඒත් බෝට්ටුව පදවන්නට නියමිත කෙනා නම් ඒ තරම් සසල බවක් පෙන්නුවේ නැහැ. ඒ අයට මේ පරිසරය හුරුයි. කොහොම හරි ඉතින් අපි දෙන්නා බෝට්ටුවට නැග්ගා. බෝට්ටුව පිටත් වුණා. එක පාරටම මහ විශාල රැල්ලක් ඇවිල්ලා බෝට්ටුව ඉහළට විසිවුණා.

බෝට්ටුව පෙරළුනාද?

ඒ වගේ අවස්ථාවල බෝට්ටුව පෙරළෙන්න තියෙන ඉඩ අවකාශ වැඩියි කියල තමයි බොහෝ අය කිව්වේ. අපේ බෝට්ටුව පෙරළුනේ නැත්තේ වාසනාවට කියලා හැමෝම කියනවා.

ඉන්පසුව දිගටම බෝට්ටුව පදවාගෙන ගියාද?

අර විශාල රැල්ල මැකිල ගියාට රැළි නැවතුනේ නැහැ. එක දිගට රැලි නැගෙන්න පටන් ගත්ත. ඒ හැම රැල්ලටම බෝට්ටුව උඩ ගිහින් බිම වැටුණා. අංශක අනූවට ඇල වුණත් පෙරළුනේ නම් නැහැ. මේ විදියට ගිහින් දූපතට ළංවෙද්දී රැලි අඩුවෙලා ගියා.

ඔබයි බිරිඳයි දෙන්නා ඒ විනාඩි කිහිපය තුළ හොඳටම කලබල වෙන්න ඇති.....

අපි දෙන්නම මහ හයියෙන් කෑ ගැහුවා. ඒක ඉබේම සිදුවුණේ. ඒ වෙලාවේ  මගේ හිතට දැනුන හැඟීම් නම් අහන්න එපා. සිහිපත් කරද්දීත් හිත කලබල වෙනවා. ස්වභාවයෙන්ම මම වතුරට බය කෙනෙක්. 


වියරු වෙච්ච මුහුදක් මැද බෝට්ටුවක තනිවෙලා ගතකරපු විනාඩි කිහිපය තුළ ඒ බය තව තවත් වැඩිවුණා. බෝට්ටුව පෙරළෙයි කියලමයි මට නම් හිතුනේ.

ගීතයේ රූප රචනය සාර්ථකව නිම කරන්න පුළුවන් වුණාද?

ඒ රූප රචනය සඳහා මම අලුත්ම වෙනස්ම ඇඳුමක් නිර්මාණය කළා. දූපතේ ඇඳුම් මාරු කරන්න බැරි හින්දා මම හෝටලයෙදිම ඒ ඇඳුම ඇඳගෙන වේශ නිරූපණය කරලා කොණ්ඩේ හදාගෙන තමයි ගියේ. ඒත් දූපතට යද්දී මම මුහුදු වතුරින් නෑවිලා. 


සපත්තු දෙක වතුරින් පිරිලා. සපත්තුයි ඇඳුමුයි වේලෙන තුරු අව්වේ ඉඳලා කොණ්ඩේ ආයෙම ජෙල් කරලා මේකප් කරලා තමයි රූපගත කිරීම කළේ. ඒත් හිතේ බය හින්දා මගේ රූගත කිරීම් හරියට කෙරුනද කියල මට සැකයි.

අනතුරින් උදයට කිසිම හානියක් වුණේ නැද්ද?

මටයි බිරිඳටයි කිසිම අනතුරක් සිදුවුණේ නැහැ. ඒත් මගේ සාක්කුවේ තිබුණු කැමරාව, හෑන්ඩ් ප්‍රී එක හා බ්ලූටූත් වතුරවලට අක්‍රිය වුණා. මගේ ෆෝන් එකත් තිබුණෙ සාක්කුවේ. ඒකට නම් කිසිම හානියක් වුණේ නැහැ.

රූගත කිරීම් ඉවර වෙලා ආයෙම එනතුරුම මුහුදෙ රළු බව තිබුණද?

පරෙවි දූපත හරිම ලස්සන තැනක්. ඒත් ඒ ලස්සන විඳගන්න මට බැරිවුණා. මගේ රූගත කිරීම් කළෙත් හිතේ බයෙන්. ඇයි ඉතින් ආයෙම එන්න වෙන්නෙත් බෝට්ටුවේ කියන හැඟීම හිතේ තියෙනවනේ... 


ආපසු එන්න සූදානම් වෙලා බෝට්ටුවට නගිද්දී මුහුදෙ රළුබව ගොඩක්ම අඩුවෙලා තිබුණා. ඊට පස්සෙ තමයි හිතේ බය අඩුවෙලා ගියේ..

ඒ අසීරු මොහොත ගැන සිහිපත් කරද්දී අද මොනවද හිතන්නේ?

(හිනැහී)  මීට පස්සේ නම් මුහුදේ රූගත කිරීම් යොදා ගන්නේ නැහැ කියලයි හිතාගෙන ඉන්නේ. මරණ බය කියන්නේ මොන වගේ දෙයක්ද කියල මම දැන් දන්නවා. 


අපි සමග ගොඩක් තැන්වල පුතාව ගෙනියනවා. ඒත් එදා පුතාවයි අම්මවයි හෝට‍ලේ තවත්තලා යන්න අපිට හිතුණා. පුතාවත් අරගෙන ගියානම් එදා අත්දැකීම මොනවගේ වේවිද කියල හිතන්නත් බැහැ.
 
Related Posts with Thumbnails