Ads 468x60px

.

ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනක් වැය කරමින් හදිසියේම ඇස්ටරොයිඩ දඩයමට සැරසෙන්නේ ඇයි

මීයක් කඩන්නේ 
අත ලෙවකන්නටද...?

භීෂණයේ රජු අහසින් පැමිණෙනු ඇතැයි ශත වර්ෂ අනාවැකිකරු වූ නොත්‍රද්‍රමුස් කී දවසේ සිටම මිනිසාගේ ඇස යොමු වූ සූර්ය ග්‍රහ පවුලට අයත් අරුම පුදුම සාමාජික පිරිසක් වූ ඇස්ටරොයිඩ් හෙවත් ග්‍රහක දෙසටය. 

අඟහරු හා බ්‍රහස්පති අතර ඉතිර පැතිර ඇති ලක්ෂ සංඛ්‍යාත ගල් පර්වත සහ ධූලි කැට වලාවන් සමූහය පිළිබඳ අධ්‍යයනයක් ඇරඹුණේ එහෙයිනි. මීටර් කිහිපයක සිට සැතපුම් දහස් ගණන් වූ මහා ගල් පර්වත දක්වාවු ග්‍රහක වළල්ල තුළ පිස්සු වැටුණාක් මෙන් හැල්මේ ගමන් ගනියි. එසේම මේ ගමනේදී එයින් කිහිපයක් තම ගමන් මාර්ගයෙන් පිටතට පැන පෘථිවිය ආසන්නයටම පැමිණෙයි. 

මෙලෙස එන ග්‍රහක පෘථිවියේ ගැටී මහා විනාශයක් සිදුකළ අවස්ථාද වාර්තා වී තිබේ. එහෙයින්ම ග්‍රාහක හෙවත් ඇස්ටරොයිඩ් යනු නිබඳවම මිනිස් සිත භීතියෙන් තැතිගැන්වූ විශ්ව වස්තු සමූහයකි.

ඇමෙරිකාවේ නාසා ආයතනය දැන් සැරසී සිටින්නේ මෙකී ඇස්ටරොයිඩයක් මදු ගසා ඇල්ලීමේ ප්‍රයත්නයකටය. 2025 වන විට ක්‍රියාත්මක කරන්නට සැරසෙන මෙකී වැඩපිළිවෙළ සඳහා මූලික කටයුතු දැන් සැකසී හමාරය. ඒ පිළිබඳ තොරතුරු පසුගිය බ්‍රහස්පතින්දා වන විට ලෝක මාධ්‍ය වෙත ලබා දී තිබුණි.


නාසා හි නිපැයුමක් වන ඔරියන් අභ්‍යාවකාශ යානයේ නැගී යන අභ්‍යාවකාශ ගාමීන් දෙදෙනකු දින 9ක කාලයක් ගෙවා සඳේ ගුරුත්වයෙන් ලැබෙන තල්ලුවද ලබාගෙන ඇස්ටරොයිඩයක් වෙත කිට්ටු කරයි. 


එහිදී ඔවුන් සිලිසිලි බෑගයක් බඳු මන්දක් යොදා ඇස්ටරොයිඩය අල්ලා ගනියි. දැන් යානය ඇස්ටරොයිඩයට සම්බන්ධව තිබියදීම ඒ මතට ගොඩ බැස එහි කැණීම් සිදුකර පරීක්ෂාවට අවශ්‍ය සාම්පල ලබාගැනීම සිදුවෙයි. 
මෙසේ කරන්නේ ඇස්ටරොයිඩය හානිදායි නොවන මාර්ගයකට ඇද බැඳ තබා ගැනීමෙන් පසුවය. මේ සඳහා ඔවුහු දින 6ක් ගත කිරීමට නියමිතය. සියල්ල යහපත් ලෙස සිදු වුවහොත් ඔවුහු තවත් දින 10ක් තුළදී නිරුපද්‍රිතව පෘථිවිය කරා එළැඹෙන්නට නියමිතය.

2014 ඔබාමාගේ අය වැයෙන් මේ සඳහා මුදලක් වෙන්කර ගැනීමට නාසා ආයතනය බලා‍පොරොත්තුව සිටියි. ඒ ඩොලර් බිලියනයක පමණ වූ විශාල සල්ලි මල්ලකි.

ගිය බදාදා වන විට නාසා ආයතනය සිය එඉජ් නමැති අභ්‍යයකාශ දුරේක්ෂය පෘථිවියට ආසන්න ග්‍රහක දෙසට යොමු කරන්නට යෙදුණේ මේ සඳහා සුදුසු ග්‍රහකයන් ගැන සොයා බලන්නටය. 


ග්‍රහක වළල්‍ලේ පෘථිවියට ආසන්න ගල් පර්වත දෙදහසක් පමණ ගැන මේ අනුව මූලික සොයා බැලීම් සිදුකරන්නට නියමිතය. 2025 දී සිදු වන්නට නියමිත දඩයම ඇරඹෙනුයේ මින් අනතුරුවය.

ඒ අතරම 2016 සැප්තැම්බර් වන විට 1999දී හඳුනා ගනු ලැබූ මීටර් 493ක් වූ බෙදු නමැති ග්‍රහකය වෙත ඔසිරිස් රෙක්ස් නමැති අභ්‍යාවකාශ යානය යවා පෙරහුරුවක යෙදෙන්නටද ඔවුහු බලා‍පොරොත්තුව සිටිති. ඉදිරි ඇස්ටරොයිඩ දඩයම ඇරඹෙනු ඇත්තේ මේ පරීක්ෂණ ගමනේ සාර්ථකත්වය මතය.


ඇමෙරිකාව ඩොලර් බිලියන ගණනක් වැය කරමින් හදිසියේම ඇස්ටරොයිඩ දඩයමට සැරසෙන්නේ මක්නිසාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නටදැ’යි කතාවක් තිබේ. ඇමෙරිකාවේ මේ අමුතු ක්‍රියාන්විතය දෙස බැලිය යුත්තේද ඒ ස්ථාවරයේ සිටය.


පෘථිවිය යනු ස්ථාවර සීමිත ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් සහිත තැනකි. දැනටමත් ඇදහිය නොහැකි වේගයකින් මිනිසා මේ සම්පත් භාවිතා කරමින් වනසා දමමින් සිටියි. 


1980 සිට 2008 අතර කාලයේදී ඒක පුද්ගල සමගාමික සම්පත් ප්‍රමාණය අඩුවී ඇති ආකාරයට උදාහරණයකි මේ. එනම් ඇමෙරිකාවේ 20 දක්වාය. දකුණු අප්‍රිකාවේදී 33කි. බ්‍රසීලයේදී 28කි. එය චීනයේදී 17කි. මේ වනවිට මෙකී ප්‍රතිශත ඛිෙදනීය මට්ටමකට අඩුවී ඇති බව කිවයුතුද? 

එසේ නම් අහිමිව යන මේ සමගාමික සම්පත් අප සොයාගත යුතුය. ඒ සඳහා පෘථිවියට ඔබ්බෙන් වූ අභ්‍යවකාශයට ඇස් යොමුකළ විද්‍යාඥයින්ට පෙනී ගියේ කිසිදා අවසන් නොවන ස්වභාවික සම්පත් තැන්පතුවක් සහිත පාවෙන නිදන් දූපත් සමූහයක් ඇති බවයි. 

ඒ තමා, ඇස්ටරොයිඩ ග්‍රහකයක් හෙවත් ඇස්ටරොයිඩයක් මතට ගොඩ නොබැස්සේ වුවද දුරේක්ෂ ආශ්‍රිත වර්ණාවලිමාන ආධාරයෙන් ඒවා තැනී ඇති සංඝටක මොනවාදැයි සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබි තිබේ.

ඒ අනුව හෙළිදරව් වී ඇත්තේ බොහෝමයක් ඇස්ටරොයිඩ මත ජලය, ඔක්සිජන් සහ ලෝහ ලෙස නිකල්, අයන්, කොබෝල්ට්, මැග්නීසියම්, සින්ක්, ඇළුමිනියම් මෙන්ම ප්ලැටිනම්, ටයිටේනියම් සහ රත්රන් ද අඩංගු බවයි. මේවා තමා ඇස්ටරොයිඩ සතු ධන ආකර.


ඇස්ටරොයිඩ මත මේ ධන නිධාන ඇත්තේ සුළු පරිමාණයකින් නම් නොවේ. නාසා ආයතනයේ වාර්තාවකට අනුව ඇස්ටරොයිඩ වළල්‍ලේ ඇති ඛනිජ සම්පත බිලියන 6ක් වූ ලෝකයේ මිනිසුන් අතර සමසේ බෙදුවහොත් එක් අයකුට ඩොලර් බිලියන සියයකට වැඩි සල්ලි මල්ලක් හිමිවනු ඇත. 


යාන්තම් සැතපුමක ප්‍රමාණයක් වූ ඇස්ටරොයිඩයක ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 20ක් පමණ ධන සම්පත් අඩංගු බව තව වාර්තාවක් කියයි. (ට්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයකි. ගණන් හදා බලන්න) යාන්තම් මීටර 30ක් දිග ඇස්ටරොයිඩයක වටිනාකම ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 25-50ත් අතර වනු ඇති බව මේ වාර්තා පෙන්වා දෙයි. 

ප්ලැටිනම්වල පමණක් මිල ඩොලර් බිලියන 150ක් වනු ඇති බව කියන මේ වාර්තාව සත්‍ය නම් ඊළඟ සියවසේ ලෝකයේ නොව විශ්වයේම අධිරාජ්‍යයේ පාලකයා වනු ඇත්තේ මෙකී ඇස්ටරොයිඩ කොල්ලයේ හිමිකරුවන්ය. වැයවී යන ධන සම්පත් සොයා ඇස්ටරොයිඩ කැණ බැලීම සඳහා වු සංකල්පය නවසිය හැත්තෑ ගණන් වල සිටම කතාබහට ලක්වූවකි.

අනාගතයේ බිහිවන්නට නියමිත විශ්ව ජනාවාස සහ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගොඩනැගීම සඳහා අවශ්‍ය ලෝහ ද්‍රව්‍ය සොයාගැනීමත්, විශ්වතරණයේ යෙදෙන යානා සඳහා ඉන්ධන සපයාගැනීමත්, යන කාරණා දෙකම ඉටුකර ගතහැකි සරුසාර ඉල්ලමක් වන ඔහේ පාවී යන ඇස්ටරොයිඩ දෙස ලෝක වෙළෙන්දන්ගේ ඇස යොමු වූයේ ඒ තරම්ම ඈතකදීය. 

මේ වන විටත් නාසා ආයතනයට පෙර ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියන් කිහිපදෙනෙකුම මුදල්යෙදූ ආයතන 2ක් ඇස්ටරොයිඩ අඩියක් විතර කැන බැලීමේ ව්‍යාපෘතිය සඳහා මානබලමින් සිටියි. නාසා ආයතනය සිය මූලික කටයුතු ඇරැඹීම 2021 තරම් ඈත කාලයකට එල්ල කර තිබුණත් මෙකී සමාගම් 2 ලහි ලහියේ දැනටමත් වැඩ අරඹා තිබේ.

ගූගල් සමාගමේ මුල් පුටු හොබවන ලැරී පේජ්, එරික් ඒමිඩට් මෙන්ම දෘඩාංග පිළිබඳ විශිෂ්ටයකු වන චාර්ල්ස් සිමොනොයිද පමණක් නොව චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන් ද මේ සඳහා සිය මුදල් කුට්ටි වෙන්කර තිබේ.

2012දී ප්ලැනටරි රිසෝසස් ආරම්භ කරද්දී එහි ලොක්කන් කියා තිබුණේ තමන්ට ගෝලීය ආර්ථිකය උදෙසා ඩොලර් ට්‍රිලියන ගණනින් ලබාදීමට හැකිවනු ඇති බවටය. 


එහි ප්‍රධාන විධායකයා පෙන්වා දී ඇත්තේ අඩි 98ක් දිග ඇස්ටරොයිඩයකින් තමන්ට පෘථිවි වාසීන්ට අවශ්‍ය ජලසැපයුම ලබාදිය හැකි බවත්, ඊළඟ සියවසේ අභ්‍යවකාශ තරණය සඳහා අවශ්‍ය හයිඩ්‍රජන් ඉන්ධන ඇති පමණ ලබාදිය හැකි බවත්ය. 

එසේම ඩොලර් බිලියන 50ක් වටිනා ප්ලැටිනම් කුට්ටියක්ද ලබාගත හැකි බව ඔහු කියා තිබුණි. කෙසේ වුවද සූර්ය ග්‍රහ මණ්ඩලය තැනුණු මුල් යුගයේ සිට ආරක්ෂිතව පවතින නිදන් දූපත් බඳු ඇස්ටරොයිඩ දඩයම එතරම් සුබදායි කාරණයක් නොවනු ඇති බවටද මත පළවී තිබේ. 

ප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයන්  වන කාර්ල් සේගාන් සහ ස්ටීවන් ජේ ඔස්ටේ‍රා් මේ මතයේ මූලිකත්වය දරන්නෝය. ඔවුන් පෙන්වාදෙන්නේ පෘථිවියට ආසන්න මට්ටමකදී ඇස්ටරොයිඩයක ගමන් මග වෙනස්කිරීමට යාමෙන් භයානක විනාශයක් ඇතිවිය හැකි බවය.

විශ්වයේ සැමදෙයක්ම බිහිව ඇත්තේ තේරුමක් සහිතවය. එහි සමතුලිතතාවයක් තිබේ. එසේම මේ සෑම විශ්ව වස්තුවක් සතුවම එයට අනන්‍ය වූ රිද්මයක් තිබේ. 


ඒවා එකිනෙකා අතර අනේ‍යාන්‍ය වූ සබැඳියාවකින් ද යුතුය. ඉතින් හිතු හිතූ හැටියට එකී සමතුලිතතාව බිඳ දමමින් මංකොල්ලයකට සැරසීම කොතෙක් දුරට මේ විශ්වය ඉවසා සිටිනු ඇතිද?
 
Related Posts with Thumbnails