Ads 468x60px

.

මර්සි එදිරිසිංහ සඳහටම දෙනෙත් පියා ගනි


වසර ගණනාවක්‌  ශ්‍රී ලාංකික රසික ප්‍රජාව හාස්‍යයෙන්, ප්‍රහසනයෙන් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ රංග ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය ඊයේ (17වැනිදා) පෙරවරුවේ සඳහටම දෙනෙත් පියා ගත්තාය.

කලක්‌ රෝගාතුරුව ගම්පහ සෙත්මා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි මර්සි එදිරිසිංහ මහත්මිය මියයන විට 68 වැනි වියෙහි පසුවුවාය.

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ නවක මඬල වැඩසටහනට 1964 දී එක්‌වූ මර්සි එදිරිසිංහ මහත්මිය 1966 දී වැලිකල රත්නගේ "උගුරට හොරා බෙහෙත්" නාට්‍යය ඔස්‌සේ ප්‍රසිද්ධ වේදිකාවට එක්‌වූවාය. එතැන් පටන් වේදිකා

නාට්‍ය 60 කට වැඩි ප්‍රමාණයක රඟපා ඇති ඇය සිනමාවට ප්‍රවිශ්ට වූයේ "දියමන්ති" චිත්‍රපටයෙනි. 

ගුවන් විදුලියේ විනෝද සමය වැඩසටහන ඔස්‌සේ මහත් ජන ප්‍රසාදයක්‌ දිනාගත් ඇය හාස්‍ය රංගනයේ රජතුන් කට්‌ටුව ලෙස නම් දැරූ ඇනස්‌ලි, සැමුවෙල්, බර්ටි තිදෙනා සමග එකම කාන්තා චරිතය ලෙස එක්‌වෙමින් 1983 වසරේ සිට හාස්‍ය රස උත්පාදනය උදෙසා කැප වුවාය.

ඇය ප්‍රථම නාට්‍ය නිර්මාණය "මෝහිණි"1986 දී වේදිකාවට ගෙන ආවාය. ජාතික රූපවාහිනි හඬ කැවීම් අංශයට එක්‌වෙමින් නිර්මාණ ගණනාවක හඬ කැවීම් ශිල්පිනියක බවට පත්වූ ඇය බගලවතී ඉස්‌කෝලේ හාමිනේ ගේ චරිතයට හඬ කැවීමෙන් මෙරට දරුවන් අතර ප්‍රචලිත වුවාය.

මීට වසර දෙකකට පෙර තම සැමියා ගේ වියෝවෙන් මහත් සේ දුකට පත් ඇය බොහෝ කලක්‌ පදිංචිව සිටියේ අංක 541, නුවර පාර, අඹේපුස්‌ස, වරකාපොළ ලිපිනය දරන නිවසේ ය.

අවසන් ගෞරව දැක්‌වීම සඳහා ඇයගේ දේහය අද 18 වැනිදා දහවල් 12.00 දක්‌වා කොළඹ කලාභවනේ තැන්පත් කර තැබෙන අතර අද සවස වරකාපොළ පිහිටි ඇයගේ නිවසට රැගෙන යැමට නියමිත බව රූපවාහිනි උප සිරැසි හඬ නළු එකමුතුව වෙනුවෙන් කලාශිල්පි රෝහණ සිරිවර්ධන මහතා කීවේය.

අවසන් කටයුතු 19 වැනි බදාදා සවස 4.00 ට වරකාපොළ කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.
 
Related Posts with Thumbnails