Ads 468x60px

.

තරුණයකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ ‍පොලිස් නිලධාරිනියගේ කතාව

තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ ‍පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් ‍පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ ‍පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම්ය. 

මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පති බල ප්‍රදේශයෙනි. 

නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි. එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම ‍පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨක යන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. 

මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති ‍පොලිස් දෙපාර්ත මේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛිෙදනීය සිදුවීම් පෙලකි.

ඇය සේවය කරනුයේ යම් ‍පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික ‍ලේකම්වරියක ලෙසිනි. එම පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නීය. ඒ කාලය තුළ වරින්වර පත්ව ආ ‍පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකු

ගේම පෞද්ගලික ‍ලේකම්වරිය වූයේ ඇයය.

මෙම නිලධාරිනිය විවාහකය. තිස්පස් වියැතිය. සැමියාද ‍පොලිස් පරීක්ෂක වරයෙකි. දෙදෙනාට දාව දරුවන්ද සිටියි. ඉන් එහාට ඒ පවු‍ලේ තොරතුරු සටහන් තබන්නට යන්නේ නැත. ඒ එම දරුවන්ටත්, ඇගේ සැමියාටත් ඒ තුළින් යම් බලපෑමක් සිදුවිය හැකි නිසාය.


මෙම නිලධාරිනිය ‍පොලිස් සේවයට එක්ව ඇත්තේ උප ‍පොලිස් පරීක්ෂක වරියක ලෙසිනි. ‍පොලීසියට එක්වූ දා සිටම ඇය ‍පොලීසියට ගෙන දුන්නේ කීර්තියකි. ඒ බොක්සිං ක්‍රීඩාවෙනි. ක්‍රීඩාවෙන් ඉදිරියට ගියාක් මෙන්ම ඇය මෙයට වසර දෙක තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයටද ගොස් තිබුණාය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ කළ පරීක්ෂණයකින් සමත්වය.


තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියටය. සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවෙකි. ‍පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත් ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදීය. 


දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත. ‍පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇතිවුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි.

ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ 28 වෙනිදා රාත්‍රියේදීය. එමෙන්ම මෙම නිලධාරිනිය නිදාගෙන හුන් ඔහුගේ බිරිඳටත් සිව් හැවිරිදි දරුවාටත් පහරදී ඇති බවද සඳහන් වේ.


ඔහුගේ බිරිඳත්, ඔහුත් ඉකුත් 29 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ ‍පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බවය. ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙසය.


ඇය එසේ කරනු ලබන කරදර ගැන මෙම තරුණයා බිරිඳව පවා දැනුවත් කර තිබි ඇත. ඒ ඇයගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් නිසා බව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවේ කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.


“අපි දෙන්නා කතාබහ කරන එක නතර කරන්න හදන්න එපා.”යනුවෙන් ඇය ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පැමිණිල්ලෙහි සඳහන්ය.


වරක් ඇය බලහත්කාරයෙන් ඔහුව පැහැර ගෙන ගියේ යැයි සඳහන් කර ඇත්තේ බියගම පැත්තේ හෝටලයකටය. එදා ඔහුව රැගෙන ගොස් ඇතැයි පැමිණිල්‍ලේ සඳහන් වන්නේ දරුවාටත් බිරිඳටත් ඔහුටත් වෙඩි තබා මරා ඇයත් සිය දිවි හානි කර ගන්නා බවට තර්ජනය කරමිනි. 


ඒ ඇතිවුණු බියට ඔහු ඇය සමග හෝටලයට ගියද, බිරිඳ සිය දරුවාද සමග ගමේ ගිය බව සඳහන්ය. ඒ ගොස් ටික කලකට පසු බිරිඳ නැවත පැමිණියත් ‍පොලිස් පරීක්ෂකවරියගෙන් නම් ගැලවිල්ලක් නොලැබුණු බවත්, පවුල් ජීවිතය විනාශ වුණු බවත් ඔහු නියෝජ්‍යය ‍පොලිස්පතිවරයා හමුවේ පවසා ඇත.

‍පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය. ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය.  


එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ  මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ. ඔහුව නිදහස් කරන්නේ පසු දිනය.

නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවට එවර මෙම තරුණයා බිරිඳත් සමග ගොස් ඒ ගැන පැමිණිලි කරන්නේ දිගින් දිගටම ඇගෙන් එල්ල වුණු තාඩන පීඩන ඉවසා ගන්නට නොහැකි වූ තැනය. ඒ අනුව දැන් මෙම ‍පොලිස් නිලධාරිනියට එරෙහිව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකය. 


එම පරීක්ෂණය සිදුවන්නේ සහකාර ‍පොලිස් අධිකාරීවරයකු යටතේය. ඇයට ‍පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ගිනි අවි පවා මේ වන විටත් භාරගෙන හමාරය. ඉන් නොනැවතී ඇගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම නිලධාරිනිය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු ආකාරය ගැනද විවිධ තොරතුරු දැනගන්නට තිබේ. ඇය දීර්ඝ කාලයක් බොක්සිං ක්‍රීඩාවේ නිරතව සිටි තැනැත්තියකි. එහිදී හිසට වැදෙන පහරවල බලපෑම් මතුවන්නේ කාලයක් ගතවන විට බවද පැවසේ. 


මෙවැනි සාධක නිසා හටගත් පීඩනය තීව්‍ර වන්නට තවත් හේතුවක් තිබි ඇති බවද සඳහන් වේ. ඒ ඇතැම්  ඉහළ නිලධාරීන්ගෙන් ඇයට එල්ල වන අයුතු බලපෑම්ය. මෙය  ‍පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු  දන්නා ප්‍රසිද්ධ රහසක් බවද පැවසේ.

මේ ආකාරයෙන් ඉහළ ‍පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ඒ පීඩනයන් හේතුකොටගෙන ඇය යම් මානසික ආතතියකට ලක්ව සිටි නිසා ඒ බව හඳුනාගත් ඇතැම් ඉහළ නිලධාරීන් උපදේශන සායනවලට පවා ඇයව යොමු කර තිබුණු බව සඳහන්ය.


‍පොලිස් නිලධාරිනිය අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ ඇයට එල්ල වූ මේ ආකාරයේ විවිධ බලපෑම් හේතුවෙන් හටගත් ව්‍යාකූලතා හේතුවෙන් විය නොහැකිද යන්න මේ ගැන දන්නා බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නය වී ඇත. ඒ නිසා ඇගේ වැඩ තහනම් කර ඇයව හුදෙකලා කිරීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද යන්න පිළිබඳව මෙහිදී ඇතිවන්නේ ගැටලුවකි.


ඇයව ඒ තැනට පත් කළ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පරීක්ෂණයක් කිරීමට ‍පොලිස් බලධාරීන්ගේද අවධානය යොමු වෙන්නේ නම් එය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට යම්  පිටුවහලක් වනු ඇත. එහෙත් ඊට ඉහළ පුටුවල රැඳී සිටින ‍පොලීසියේ නිලධාරීන්ගෙන් ඉඩක් ලැබේවිදැයි ඇත්තේ ගැටලුවකි.


ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails