Ads 468x60px

.

විනෝද චාරිකාවක්‌ අතර තුරදී කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ ඛේදවාචකය

මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවකට සහභාගවී ආපසු පැමිණෙමින් සිටි බණ්‌ඩාරගම - ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු පිරිසක්‌ අතර සිටි එක්‌ සිසුවකු කඩුගන්නාව ප්‍රදේශයේදී පෙරේදා (02දා) ප්‍රපාතයකට ඇදවැටිමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩබ්. චමෝද් පුෂ්ප කුමාර නමැති දහතුන් වියෑති සිසුවෙකි. පෙරේදා (02 වැනිදා) මහනුවර බලා ගමන් ගත් ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන චාරිකාවට මියගිය චමෝද්ගේ නැගණිය වූ ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්. චමෝදි තත්සරණි දැරියද එක්‌ වූවාය.

චමෝදි දැරියගේ ආරක්‍ෂාවට ඇගේ මව වන ටී. ඩී. ප්‍රිංගනීත් සොහොයුරු චමෝද් පුෂ්ප කුමාරත් චාරිකාවට එක්‌වී ඇත.

චාරිකාව නිමවා ආපසු පැමිණෙමින් සිටියදී පිරිස පළතුරු මිලදී ගැනීමට කඩුගන්නාව දුර්ග මාර්ගයේ රථය නවත්වා ආපසු ගමන ආරම්භ කර ටික

දුරක්‌ පැමිණ සොයා බැලීමේදී බසයේ චමෝද් සිසුවා නොමැති බව හෙළිවී තිබේ.

පිරිස රැගත් බසය ආපසු රථය නවතා තිබූ ස්‌ථානයට පැමිණ පොලිසියට දැනුම්දී අවට ගම්වැසියන්ගේද ආධාරයෙන් සොයා බැලීමේදී අඩි 100ක්‌ පමණ ගැඹුරු ප්‍රපාතයක තිබී චමෝද්ගේ සිරුර සොයාගෙන තිබේ.

බණ්‌ඩාරගම බලා යන අතරතුර පහළ කඩුගන්නාව පලතුරු කඩ අසල බස්‌ රථය නවතා ඉන් බැසගත් මව්වරු සමග දරුවන්ද බැස ඇත. මියගිය දරුවාද තම මව සහ නැගනිය සමග බසයෙන් බැස ඇති අතර මෙම දරුවා පාර අයිනේ ඇති බට වැටෙන් රිංගා ප්‍රපාතය දෙසට ගොස්‌ තිබේ. 


එහිදී ඔහු ප්‍රපාතයට වැටෙන අයුරු බස්‌ රථයේ සිටි එම්. කවීෂ ප්‍රසාද්ලී (7) දරුවා දැක තිබේ. චමෝද්ගේ මව ප්‍රියන්ගනී පුතා නැහැ කියා සොයන විට අයියා අතනින් වැටුණා කියා එම දැරිය පෙන්වීමෙන් පසු පලතුරු කඩ හිමියන් සහ ප්‍රදේශවාසීන් ලණුවක ආධාරයෙන් අඩි 300 ක්‌ පමණ ප්‍රපාතයට බැස ශිෂ්‍යා පාරට රැගෙන විත් තිබේ.

ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සරණ පුෂ්පකුමාර මහතා- 


මේ අධ්‍යාපන චාරිකාවට ප්‍රාථමික අංශයේ දරුවන් 30 ක්‌ සමග මව්වරු 28 ක්‌ සහ ගුරුවරුන් දෙදෙනෙක්‌ මාත් සමග එකතුවෙලා හිටියා. මියගිය දරුවාගේ මව පී. ඩී. ප්‍රියංගනී සමග ඇගේ කුඩා දියණියද සිටියා. බස්‌ රථයේ සිටි දරුවන්ට බිමට බහින්න එපා කියලා ගුරුවරුන් දෙදෙනා සමග මම පාර බැලුවා. 

ළමයි පාර පනියිද කියලා ළමුන් කිහිප දෙනෙක්‌ ඒ අයගේ මව්වරු සමග බසයෙන් බැස කඩවලට ගියා යෑයි කීය. මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය පවත්වා ඔහුගේ ළඟම ඥතියෙකු වෙත බාරදෙන ලෙස මාවනැල්ල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය මාවනැල්ල පොලිසියට නියෝග කළාය.
 
Related Posts with Thumbnails