Ads 468x60px

.

කොරියන් නැව පෙරළුණෙ කොහොමද?

මගීන් සහ භාණ්‌ඩ ප්‍රවාහනය යන කාරණයේදී වඩාත්ම ආරක්‍ෂාකාරී මාධ්‍යය ලෙස ජාත්‍යන්තර තලයේදී පිළිගනු ලබන්නේ ගුවන් යානයයි. දෙවන තැන නැව් සහ බෝට්‌ටුවලටත් තෙවන තැන ගොඩබිම ගමන් කරන වාහනවලටත් හිමිවේ. 

ප්‍රවාහන කටයුතුවලදී ඉතාම අඩුවෙන් අනතුරට ලක්‌වන්නේ ගුවන් යානාය. නැව් ගිලෙන්නේද කලාතුරකිනි. එහෙත් බස්‌ කාර් මෝටර් සයිකල් ඇතුළු ගොඩබිම් වාහන නිතර හැපෙයි, පෙරළෙයි. 

එහෙත් ගුවන් යානයක්‌ කඩා වැටුණ විට හෝ නැවක්‌ ගිලුණු විට ලැබෙන ප්‍රචාරය සහ හටගන්නා සන්ත්‍රාසය ඉතා විශාලය. මෙයට තෙදිනකට පෙර, එනම් අප්‍රේල් 16 වැනිදා කොරියන් අර්ධද්වීපයට නිරිත දිගින් කහ මුහුද සහ චීන මුහුද අතර මායිමේ පිහිටි Jindo දූපත් සමූහයට කි. මී. 20 ක්‌ ඈතින් ගිලීගිය කොරියන් මගී යාත්‍රාව සාමුද්‍රික අනතුරු ඉතිහාසය සමග සසඳන කල සුළු සිද්ධියකි.

එහෙත් කලාතුරකින් හටගන්නා අනතුරක්‌ වන නිසා එයට ලැබුණේ ලොකු ප්‍රසිද්ධියකි. මෙයට මාස එකහමාරකට පෙර අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයද ගුවන් අනතුරු ඉතිහාසය සමග බලන කල
සුළු දෙයකි. එහෙත් ගුවන් යානයක්‌ කඩා වැටෙන්නේ ඉතා කලාතුරකින් නිසා එය මහ දෙයකි. 

දකුණු කොරියන් නෞකා අනතුරින් මියගිය සංඛ්‍යාව තවම හරියට සොයාගෙන නැතත් එම ප්‍රමාණය 300 ඉක්‌මවන්නේ නැත. එහෙත් 1945 ජනවාරි 30 වැනිදා ජර්මන් යුද අනාථයන් 9500 ක්‌ ප්‍රවාහනය කරමින් සිටි Wilhelm Gustloff නමැති නෞකාව සෝවියට්‌ රතු හමුදාව විසින් බෝල්ටික්‌ සාගරයේදී ගිල්වනු ලැබීමෙන් පෙර කී 9500 දෙනාම මියගියහ. 

පිලිපීනයට අයත් මගී නෞකාවක්‌ වූ MYDona paz 1987 දෙසැම්බර් 20 වැනිදා MT Vector නමැති තෙල් නැවක්‌ සමග ගැටුණේය. ඒ සමගම තෙල් නැව ගිනිගත් අතර Dona Paz නැවටද ගිනි ඇවිළිණ.

එහි සිටි මගීන් 4386 ක්‌ පිළිස්‌සීම සහ මුහුදු බත්වීම හේතුවෙන් මියගියහ. යුද්ධයකින් පරිබාහිරව වැඩිම පිරිසකට මරු කැඳවූ නාවික අනතුර ලෙස ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ Dona Paz අනතුරය. මේ අනතුරු දෙක සමග සසඳන කල 1912 අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික්‌ සයුරේදී ගිලී ගිය ටයිටැනික්‌ නෞකාව පවා එතරම් බරපතළ සිද්ධියක්‌ නොවේ. එයින් මළ ගණන 1500 ට වැඩි වන්නේ ස්‌වල්පයකි.

කොරියන් නැවේ ෙ€දවාචකයේ පසුබිම 

ටොන් 6825 ක්‌ බර Sewol නමැති මගී නෞකාව අඩි 479 ක්‌ දිග සහ අඩි 72 ක්‌ පළල යාත්‍රාවකි. කොරියානු සහ ජපන් ඒකාබද්ධ සමාගමක්‌ විසින් තනන ලද මෙය මගීන් 921 කට සහ නෞකා කාර්ය මණ්‌ඩල 35 කටද ගමන් කළ හැකි පරිදි ඉදිකරන ලද්දකි. මගීන්ට අමතරව මෝටර් රථ 180 ක්‌ද අඩි 20 කන්ටේනර් 50 ක්‌ රැගෙන යැමට මෙම නැවට හැකිය. 1994 දී ඉදිකිරීමෙන් පසු වසර 18 ක කාලයක්‌ මේ නැව ක්‍රියාත්මක වූයේ ජපන් කොඩිය යටතේ එරට නැවක්‌ ලෙසය. 2013 මාර්තු 15 වැනිදා සිට එය දකුණු කොරියානු නැවක්‌ බවට පත් විය. එතැන් පටන් මේ නැව සතියකට තුන් වරක්‌ කොරියන් වරාය දෙකක්‌ වූ ඉන්චියොක්‌ සහ ෙ-ජු අතර මගී ප්‍රවාහනයේ නියුක්‌ත විය. නැවේ ගමන් කරන මගීන්ගේ ආරක්‍ෂාව කොරියන් වෙරළාරක්‍ෂක හමුදාව විසින් සහතික කරන ලදී. මේ නැව මගී ප්‍රවාහනයට සුදුසු බවට අවසන් වරට පරීක්‍ෂා කර සහතික කෙරුණේ මේ වසරේ පෙබරවාරි 19 වැනිදාය.

Sewol මගී යාත්‍රාව අනතුරට පත්වන අවස්‌ථාවේදී එහි සිටි මගීන් සංඛ්‍යාව ගැන මතභේද පවතී. දකුණු කොරියාවේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ උප ඇමැතිවරයා කියන පරිදි එහි සිටි මගීන් ගණන 459 කි. ඔවුන්ගෙන් 325 ක්‌ පාසල් ශිෂ්‍යයෝය. ගුරුවරු 15 ක්‌ද වෙනත් මගීන් 89 ක්‌ද නෞකා කාර්ය මණ්‌ඩලයට අයත් 89 දෙනෙක්‌ද, එහි වූ බව උප ඇමැතිතුමා කීය. එහෙත් වෙනත් වාර්තාවක්‌ මගින් කියෑවෙන පරිදි මගී ප්‍රමාණය 475 කි.

නැවක්‌ පෙරළෙන්නේ කෙසේද?

හිල්කළ ටින් කබලක්‌ හෝ පොල් කටුවක්‌ වතුරට දැමූ විට වහා යට යන පරිද්දෙන් නැවක්‌ ගිලෙන්නේ නැත. ඒ සඳහා සැලකිය යුතු කාලයක්‌ ගත වේ. නැව විශාල වූ තරමට එම කාලය වැඩිවෙයි. විශාල නැවක්‌ සාගරය මැද අනතුරට ලක්‌වූ විට නැව් බඳට හානි වී ජලය කාන්දු වීම ඇරඹුණේ නම් නැව ඇල වීමට පටන් ගනී. සමහරවිට වම්පසින් හෝ දකුණුපසින් ගසන රළ පහර සැර වැඩි වූ විටද නැව වම් පැත්තට හෝ දකුණු පැත්තට ඇලවෙයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Listing යනුවෙනි. මෙසේ ඇලවීම ක්‍රමානුකූලව වැඩිවී එක්‌ පැත්තක බර අනෙක්‌ පැත්තට දරා ගැනීමට බැරිවූ විට නැව පෙරළෙයි. එහෙත් නැව විශාල නම් එකෙනෙහිම ගිලෙන්නේ නැත. ඒ සඳහාද කාලයක්‌ ගත වෙයි. නැවේ අභ්‍යන්තර වායු කුහර හිස්‌ කාමර හෝ ශාලාද වැඩි නම් ඒවාට ජලය පිරීමට කිසියම් වේලාවක්‌ ගතවෙයි. මගීන් බේරා ගැනීම සඳහා එම කාලය යොදාගත හැකිය. නැව සම්පූර්ණයෙන්ම එක්‌ පැත්තකට පෙරළුණ විට එයට Capsizing යෑයි කියනු ලැබේ.

Sewol නැව අනතුරට පත් වූයේ කෙසේද?

Sewol නැව ගමන් කළ සාගර ප්‍රදේශය ගල් කුළු හෝ ගල් පරවලින් සම්පූර්ණයෙන්ම නිදහස්‌ වූ තැනකි. ඒ බැවින් යාත්‍රාවේ යට කොටස ගල් කුලක්‌ හෝ ගල් පරයක්‌ සමග ගැටෙන්නට ඉඩක්‌ නැත. එසේ නම් නැව ගිලෙන්නට ඇත්තේ නැවේම හටගත් දොෂයක්‌ නිසා බව පිළිගැනීමය. උදාහරණයක්‌ ලෙස නැව හදිසියේම හරවන ලද්දේ නම් නැව තුළ වූ කන්ටේනර් හෝ වෙනත් බර බඩු ලිස්‌සා ගොස්‌ නැවේ එක්‌ පැත්තකට පමණක්‌ රොක්‌වී එම පැත්තේ බර වැඩිවන්නට ඉඩ ඇත. එවිට නැව ඇල වීමට පටන් ගනී. නැව හදිසි හැරවීමකට ලක්‌වූ බවට සාක්‍ෂි ඇත.

දකුණු කොරියාවේ Ansan ප්‍රදේශයේ Danwon නමැති උසස්‌ පාඨශාලාවක්‌ තිබේ. රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් තනනු ලැබ දකුණු කොරියානු රජයට පරිත්‍යාග කෙරුණු මේ පාසල 10-12 ශේ්‍රණිවලින් පමණක්‌ සමන්විතය. මෙහි ශිෂ්‍යයන් ගණන 1746 කි. Sewol නැවේ ගමන් කළ පාසල් සිසුන් සියලුම දෙනා පාහේ Danwon පාසලේ උගත් අය වෙති. අප්‍රේල් 16 වැනිදා උදේ 8 ට Danwon පාසලේ උප විදුහල්පතිට පාසල් ශිෂ්‍යයකුගේ පියගෙන් දුරකථන ඇමතුමක්‌ ලැබිණි. Sewol නැව ගැන නරක ආරංචියක්‌ ලද නිසා ඒ ගැන පරීක්‍ෂා කර බලන ලෙස එම පියා ඉල්ලන ලදී. නැව පැත්තකට ඇලවී ගිලෙන්නට පටන් ගත් බව ඒ අනුව උප විදුහල්පතිට සොයා ගැනීමට හැකි විය. උදේ 8.58 ට කොරියන් නාවික හමුදාව මගීන් බේරා ගැනීමට නැව වෙත ගියේය. ඔවුන්ගේ සහයට කොරියන් ගුවන් හමුදාවද පැමිණුනාහ. සාමාන්‍ය ප්‍රමාණයේ යුද්ධයකට අවශ්‍ය නැව් සහ ගුවන් යානා මේ සඳහා යොදවන ලදී. අප්‍රේල් 17 වැනිදා උදේ වරුව වන විට 174 දෙනකු බේරා ගැනීමට හැකි විය. 284 ක්‌ ආගිය අතක්‌ නැති වූහ. මළ සිරුරු 4 ක්‌ හමුව තිබිණ. එදිනම රාත්‍රි 8 වන විට බේරාගත් පිරිස 174 කි. අතුරුදන් වූ ගණන 290 ක්‌ බව හෙළිවිය. මේ ගණන තවදුරටත් එහා මෙහා වෙමින් පවතී.

(Mail Online/Telegraph/Wikipedia)
අනුර සොලමන්ස්‌
 
Related Posts with Thumbnails