Ads 468x60px

.

දියට නොබසින අයත් බිලිගන්නා අහුපිනි ඇල්ල..

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අහුපිනි ඇල්ල සම්බන්ධ ගුප්ත විශ්වාස හා බැඳුණු පැහැදිලි මනෝ විද්‍යාත්මක පසුබිමක් ද තිබේ.

එහෙත්, එක්වරම ඒවා අමුඅමුවේ නිරාවරණය කිරීමෙන් එම ප්‍රදේශයේ ඇති සාම්ප්‍රදායික ගැමි විශ්වාස පද්ධතියට යම් බලපෑමක් සිදුවීමට පුළුවන. එමෙන්ම පාරම්පරික ගැමි විඥානය මත පදනම් වන ඒ අද්භූත විශ්වාස තුළ යම් සමාජ සහ මානව විද්‍යාත්මක හරයක් ද ගැබ්ව ඇති බව ද නොරහසකි. 


නමුත් මේ වන විටත් මෙබඳු ජන විශ්වාස සම්බන්ධ විධිමත් සමාජ හෝ මානව විද්‍යාත්මක ගවේෂණ සිදුව ඇති බවක් පෙනෙන්නට නැත. අදාළ ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන් විසින් එබඳු කාරියකට මුල පුරන්නේ නම් එමගින් උපයා සපයා ගත හැකි මානව හා සමාජ විද්‍යාත්මක ප්‍රතිලාභ සුළු පටු නැත.

“දිය ඇල්ලෙන් ඔය භයානක  ශබ්දේ ඇහිලා මාස දෙකක් ඇතුළත කවුරුහරි ඔය ඇල්ලට බිලිවෙනවා කියන කතාවත් සම්පූර්ණ ඇත්ත” 


අහුපිනි ඇල්ල පිළිබඳ අද්භුත විශ්වාස සම්බන්ධ විමසුමක් කිරීම පිණිස වෛද්‍ය සුගත් විජේවර්ධන සහ සහන් සංකල්ප සමග එහි ගිය මට අහුපිනි ඇල්ල ඉහත්තාවේ පිහිටි ඇපලවත්තේ ගම පදිංචිකරුවකු වන අහුපිනි
ඇල්ල සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති ද වන රෝහණ රන්ජන් අබේරත්න මහතා කීය.

“කොහොමද ඒක ඔප්පු කරන්නේ?” ඔහුගේ එම ප්‍රකාශය හමුවේ මම ද ඇසීමි. “වෙන මොකුත් ඕනේ නෑ. දිය ඇල්ලෙන් මට ඔය මූසල විලාපේ ඇහිලා මාස දෙකක් යන්න හම්බු වුණේ නැහැ. අරනායක මාවනැල්ල පාර හදන්න ආපු කට්ටියක හිටපු මන්දාරම් නුවර පැත්තේ ඉලන්දාරියෙක් ඇල්ලට බිලි වුණා” හෙතෙම කීය.


අහුපිනි ඇල්‍ලේ ඉහළ කොටසේ ඇල්ල අද්දරින් වැටී ගත් මාවත අද්දර අපගේ මේ කතාබහ සිදුවන අතරේ අප සිටි තැන පසුකර යමින් සිටි වියපත් ගැමියකු ද මඳකට අප සමීපයේ නතර විය.


“මේ වගේ දිය ඇල්ලක් ළඟ දිය අනතුරුවලින් මිනිස් ජීවිත නැතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක කොහොමද බිලිගැනීමක් කියලම හිතන්නේ?”


එම ගැමියා අපගේ කතාබහ සම්බන්ධයෙන් පළකරන උනන්දුවෙන් දිරිමත් වූ සුගත් ඇසීය. ගැමියා අහුපිනි ඇල්ල සමීපයේ පිහිටි ඇපලවත්තේම පදිංචි ජේ.පී. වික්‍රමසිංහ නමැත්තෙකි.


“මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ ඇල්ලට බිලිවෙන අයගේ මිනී ඒ වෙලාවේ මතුනොවුණොත්, ඊළඟට මතුවෙන්නේ හත්වෙනි දවසේ. නැත්නම් දාහතර වෙනි දවසේ. එහෙමත් නැත්නම් විසි එක් වෙනි දවසේ. බැරිවෙලාවත් ඔය දවස් තුනේ මිනී හම්බු නොවුණොත් ඒ මැරුණු කෙනා ගැන කිසි හෝඩුවාවක් හොයා ගන්න බැරිවෙනවා” හෙතෙම කීයේ නොදත් දෙයක් සම්බන්ධයෙන් අප දැනුවත් කිරීමට මෙනි.


“අර මම කියපු ඇල්ලට බිලිවුණු හෙම්මාතගම පැත්තේ මුස්ලිම් ළමයගේ මිනිය ඇල්ල පහළ තිබිලා හම්බ වුණේ හරියටම විසි එක්වෙනි දවසේ. මතකයි නේද?” වික්‍රමසිංහ කී කතාව තහවුරු කිරීමට මෙන් අබේරත්න ඇසීය.


“හොඳයි අපි හිතමු ඔය අද්භූත නාදය පැත්තකින් තියෙද්දී කවුරුවත්ම ඇල්ලට බහින්නේ නැතුව ඉන්නවා. එතකොට කොහොමද බිලි වෙන්නේ. කොටින්ම දැන් මෙතන ඉන්න මාව ඔය ඇල්ලට බිලිවෙන්න පුළුවන්කමක් නැහැනේ” මම කීවෙමි.


“එහෙම කියන්න එපා” මගේ එම කතාව අවසානයේ අබේරත්න කීය. ඒ කිසියම් අනතුරු ඇඟවීමකට මෙනි.


“මීට අවුරුදු හත අටකට විතර කලින් පරිසරය ගැන ඉගෙන ගන්න අවුරුදු විසි ගණනක විතර තරුණ ළමයෙක් මෝටර් සයිකලයකින් ඔය ඇල්ල ළඟටම ගිහින් තිබුණා. සාමාන්‍යයෙන් ඔය පහළට වැටුණු පාරේ මෝටර් සයිකලයක් යන්න අමාරුයි. 


ඒත් කොහොම හරි මේ ළමයා ගිහින් තිබුණා. නමුත් ඊට පස්සේ මේ ළමයට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ. ළමයා ආපු බයිසිකලය ඊට පහුවෙනිදා හවස් වෙනතුරුම ඇල්ල බලන්න හදලා තියෙන නැරඹුම් අට්ටාලය ළඟ නතර කරලා තිබුණා. 

ඉතින්, තවදුරටත් මේක බලාගෙන ඉන්න බැරි හින්දා මගේ මස්සිනා (ජේ.පී. වික්‍රමසිංහ) දෙවැනි දවසේ හවස හයට විතර ‍පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ පණිවුඩය දුන්නා. කොහොම හරි එදා සවස හයහමාරට විතර ‍පොලීසියෙන් ඇවිත් සිද්ධිය බලාගෙන ගිහින් ආයිමත් පහුවෙනිදාට එළිවෙන්න රෑ දෙකට විතර ආවා. 

ඊට පස්සේ මමයි මගේ අම්මයි තාත්තයි ‍පොලීසියත් එක්ක ගිහින් ඇල්ල වටේ සෝදිසි කරනකොට මේ ළමයගේ මිනිය කැ‍ලේ මැද්දේ තිබිලා හම්බු වුණා. ළමයා මැරිලා තියෙන්නේ ඇල්ලට වැටිලා ‍නෙවෙයි. ඇල්ල ගාව තියන ගල් පරුවතේකින් ලිස්සලා ගිහින් ඔළුව දෙබොක්කාවක හිරවෙලා” හෙතෙම කීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටි අන්දමට අහුපිනි ඇල්‍ලේ ඇති මිනීකඳවල නම් ස්ථානය අද්දර තවමත් ඉඳහිට අද්භූත දර්ශන ද මැවේ. එහි වඩාත් විස්මයට කරුණ වනුයේ ඒවාට දිවා රාත්‍රී භේදයක් නොතිබිමය.


“මේ සිද්ධිය වුණේ එක්දහස් නවසිය අනූපහේ. මගේ අම්මා ඉන්නේ අරණායක. ගම්‍පොල හරහා ගියොත් අරණායකට යන්න කිලෝමීටර් පනහකට කිට්ටු දුරක් තියනවානේ. 


ඒත් ඇල්ල අයිනෙන් වැටුණු නාත්තකන්දවත්ත පාරෙන් පහළට බැස්සාම අරණායකට තියෙන්නේ බොහොම පුංචි දුරක්. ඉතින් දවසක් මම මගේ නෝනත් එක්ක දවල්ට කෑම එහෙම කාලා ඔය ඇල්ල අයිනේ පාරෙන් අරණායක යන්න පිටත් වුණා. 

ඒ වටේටම කැලෑව, ගෙවල් තියෙන්නේ තරමක් එපිටින්. “අර කවුද අපි ඉස්සරහින් යන කොණ්ඩේ කඩාගත්තු ගෑනු කෙනා?” ඔය ගමනේදී මට ඉස්සරහින් යමින් හිටපු මගේ නෝනා එකපාරටම මගෙන් ඇහුවා. ඒ හරියටම මිනීකඳවල ළඟදී; ඒත් මම ඒ පැත්ත බලනකොටයි දැක්කේ ඒ පැත්ත පළාතේ මිනිස් පුළුටක්වත් නැති බව.

නෝනාගේ මේ කතාවෙන් මාව එකපාරටම ගැස්සුණා. ඒත් මම ඒ බවක් හැඟෙව්වේ නැහැ. ඔය අතරේ මගේ නෝනා තව ටිකක් දුර ගිහින් ආයිමත් මගෙන් අහනවා “කවුද අනේ අර ඉස්සරහින් යන කොණ්ඩෙ කඩාගත්තු ගෑනු කෙනා කියලා” ඒත් මනුස්සයෙක් තියා පේනතෙක් මානේ මැසි මදුරුවෙක් වත් නෑ. 


ඒත් මම මගේ හිතේ තියෙන හැඟීම පෙන්නන්නේ නැතුව, “ඒ අර උඩහ ගෙදර අක්කානේ” කිව්වා. ඒ මේ සිද්ධියෙන් නෝනාගේ හිත කලබල වෙන එක වළක්වන්න. කොහොම හරි මේ බොහොම මෑත දවසක එක ටීවී චැනල් එකක ඇල්ල ගැන වැඩසටහනක් ප්‍රචාරය වුණා. 

ඒකෙදීත් කියවුණා; ඔය ඇල්ල ගැන අද්භූත විශ්වාස තියනවා කියලා; අන්න එතකොට තමයි මාත් ඉස්සර වෙලාම මිනීකඳවල ළඟදී වුණු අර පරණ සිද්ධිය ගැන ඇත්ත කතාව නෝනාට කිව්වේ. එතකොට එයා ඒ කතාව අහලා බයවුණු විදිහට ඒ සිද්ධියට මුහුණ දුන්නු වෙලාවේම මම ඇත්ත කිව්වා නම් මොනතරම් බයවෙයිද කියලා මට හිතුණා” අබේරත්න කීය.

කෙසේ හෝ අහුපිනි ඇල්‍ලේ මතු වෙතැයි පැවසෙන මෙම අද්භූත නාදය අබේරත්නට ඇසී ඇත්තේ ඇල්‍ලේ වැටී මිය ගිය මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුර සෙවීම පිණිස තනිව ඇල්ල අද්දරට ගිය වේලාවකදීය. 


ඔහු තනිව එසේ ඇල්ල සමීපයට ගොස් ඇත්තේ එම තරුණයාගේ ඥාතීන් සය දෙනකු ද ඊට පෙර ඇල්ල සමීපයට ගිය බවට ලත් තොරතුරකට අනුවය. එහෙත්, අබේරත්නට එම සය දෙනා දක්නට ලැබි නැත. ඊට හේතුව ඒ වන විට ඔවුන් ඒ මළ සිරුර සොයා ඇල්‍ලේ පහළ ප්‍රදේශයට, එනම් මධ්‍යම පළාතෙන් සබරගමු පළාතට “පල්ලම් බැස” තිබිමය. 

ඒ කෙසේ හෝ මෙම සයදෙනාගේ අතුරුදන් වීමෙන් කිසියම් චකිතයකට පත් අබේරත්න ඇල්ල අද්දර ගසක් උඩට නැඟ ‘හූ’ හඬකින් ඔවුනට සංඥා කොට තිබේ. එහෙත් ඊට ද ප්‍රතිචාරයක් ලැබි නැත. මෙවන් තත්ත්වයක් තුළ ඒ සයදෙනාගේ අතුරුදන්වීම මුල් කොට අබේරත්නගේ සිත තුළ පැවති චකිතය ත්‍රීව්‍ර අයුරින් ඉහළ ගොස් තිබුණාට සැක නැත.

මෙවන් තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම පුද්ගලයකු තුළ කාංසාත්මක තත්ත්වයක්  ඉස්මතුවීමේ පැහැදිලි හැකියාවක් තිබේ. එම මානසික ක්‍රියාකාරීත්වය මුල් කොට ඇතිවන කාංසාත්මක තත්ත්වය එසැනින් ශරීරයේ කායික ව්‍යුහයට ද බලපෑම ඉතා සාමාන්‍ය දෙයකි. 

එවිට ඕනෑම අයෙකුගේ කායික ව්‍යුහයේ වෙනස්කම් ඇතිවෙයි. හූ හඬ කිහිපයක් තබා යළි ගසින් බිමට බැස ගත් අබේරත්නගේ සිරුර තද ශීතලයකින් වෙලී ගොස් ඇත්තේ ඒ අනුවය. එමෙන්ම තමන් කුඩා කාලයේ සිට අසා තිබූ ඇල්ලෙන් මතු වන එම සියොළඟ ලොමු දැහැගන්වෙන අද්භූත විලාපය ඔහුට ඒ මොහොතේ අසන්නට ලැබි තිබේ.

මෙය අබේරත්නට සැබවින්ම අසන්නට ලැබුණු දෙයක් ද නැතහොත් දිය ඇල්ලෙන් නැඟුණු අද්භුත නාදයක් ඇසෙතැයි යන සිත තුළ පැවැති විශ්වාසය මුල්කොට සිත තුළින් පැන නැඟුණු ව්‍යාජ භ්‍රාන්තියක් හෝ මායාවක් ද යන්න පිළිබඳවද අප මඳක් සිතා බැලිය යුතුය. 

මක්නිසාද මෙබඳු කාංසාත්මක තත්ත්වයක් යටතේ එවැනි භ්‍රාන්ති සහ මායාත්මක අත්දැකීම් ලැබිමේ පහසු හැකියාවක් පවතින බැවිනි. මෙහිදී ව්‍යාජ භ්‍රාන්තිය යනු බාහිර පරිසරයෙන් නැගෙන කිසිදු හඬක් හෝ උත්තේජනයක් නොමැතිව හුදෙක් යමෙකුගේ සිත තුළින් එබඳු හඬක් නිර්මාණය වී බාහිර ශබ්දයක් ශ්‍රවණය වන්නාක් මෙන් එය මනැසට දැකීමකි. එහෙත් මා ඉහත සඳහන් කළ මායාව මීට තරමක් වෙනස්ය.

වෙනදා සාමාන්‍යයෙන් නිරතුරු අත්දකින්නට ලැබෙන දියඇල්‍ලේ නාදය අද්භූත විලාපයක් මෙන් එය මනැසට දැකීමකි. විලාපයක් සේ සවන් වැකීම මායා ගණයට වැටෙයි. එහෙත්, මෙබඳු සිදුවීම් සම්බන්ධයෙන් පරම සත්‍යය මෙම විද්‍යාත්මක න්‍යාය වීමට සේම නොවීමට ද යම් හැකියාවක් පවතී, ඒ බව ද මෙම සටහනේ සමාප්ති වාක්‍යය ලෙසින් සටහන් කර තබනු කැමැත්තෙමි.
 
Related Posts with Thumbnails