Ads 468x60px

.

සේරුවිල දිළිඳු ශිෂ්‍යාව මුහුණ දුන් අනුවේදනීය සිද්ධිය

වරද - සපත්තු නැතිව පාසලට පැමිණීම 
දඬුවම - සෙරෙප්පු මාලයක් ගෙලට දැමීම

සේරුවිල කාවන්තිස්ස විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පියුමි වත්සලා සඳමාලි දැරිය එළඹෙන අගෝස්තුවේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානම් වෙමින් සිටින දැරියකි. 

සිවිල් ආරක්ෂක භටයකු වූ සඳමාලිගේ පියා මීට වසර දෙක හමාරකට පමණ පෙර මෙලොව හැර ගියේය. සැමියා මියයාමත් සමග දරුවන් හතර දෙනකු සමග කාගෙවත් හව්හරණක් නොමැතිව මෙලොව තනිවන සඳමාලිගේ මව වන ඉන්ද්‍රානි මැණිකේ අවසානයේ නවතින්නේ සේරුවිල මංගල රජමහා විහාරය ඉදිරිපිට පිහිටි රථ ගා‍ලේය. 

සේරුවිල මංගල රජමහා විහාරය වැඳීමට පැමිණෙන වන්දනාකරුවන්ට තල් හකුරු විකිණීම එකම ආදායම් මාර්ගය කර ගන්නා ඉන්ද්‍රානි වේලක්
හැර වේලක් කමින් ගිනි කාෂ්ඨක අව්වේ වේළෙමින් හරි හම්බ කරගන්නා හැම සතයක්ම වියදම් කරනුයේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි. පවුලක බාලයා ලෙස උපදින කුඩා පියුමිට දුක යනු අමුතු වචනයක් නොවේ.

පියුමි සඳමාලි 4 ශ්‍රේණියේ සිට පාවිච්චි කළ සපත්තු යුගළෙහි අඩි දෙකම ඒ වන විට පතුලටම ගෙවී ගොස් තිබුණි. ඇඟිලි එළියට පනින තරමටම එක සපත්තුවක් කැඩී ගොස් තිබුණි. පාස‍ලේ සිට කිලෝමීටර් තුනක පමණ වූ දුරක් පියුමි වැඩිපුරම ආවේ ගියේ පයිනි. 

බොරළු මතු වූ ගිනියම් වූ බිම ඇගේ පුංචි දෙපතුල් රිදෙව්වද කුඩා පියුමි සපත්තු ඉල්ලමින් අම්මාට කරදර කළේ නැත. එහෙත් පසුගිය දිනක පියුමිගේ කැඩුණු සපත්තුව දුටු කාවන්තිස්ස විද්‍යාලයේ විදුහල්පතිනිය ඇයට කියා ඇත්තේ අලුත් සපත්තු ජෝඩුවක් ගන්නා තෙක් කැඩුණු පරණ සපත්තු ජෝඩුව නොපළඳින ලෙසයි. 

පියුමි දින කිහිපයක් සෙරෙප්පු පැළඳ පාසල් යන්නේ මේ අනුවය. සෙරෙප්පු ජෝඩුවක් පැළඳ පාසලට පැමිණෙන පියුමි දකින නදීකා ගුරුතුමිය දෙවතාවක්ම එසේ පාසලට නොපැමිණෙන ලෙස අවවාද කර තිබේ. 

අලුත් සපත්තු ජෝඩුවක් ගන්නා තෙක් කැඩුන සපත්තු ජෝඩුව නොපළඳින ලෙස විදුහල්පතිතුමිය තමාට කියා ඇති බව පියුමි නදීකා ගුරුතුමියට නොකියන්නේ නදීකා ගුරුතුමියට බොහෝ දෙනකු බියක් දක්වන නිසාය.

‍පොඩි එකියක වුණද පවු‍ලේ අගහිඟකම් හොඳින් හඳුනන පියුමි මෙයට පෙර අවශ්‍ය දෑ ඉල්ලා ඇවිටිලි නොකළද සපත්තු ජෝඩුවක් අරගෙන දෙන ලෙස සඳමාලි තම මවගෙන් ඉල්ලා සිටින්නේ නදීකා ගුරුතුමියගේ තරම දන්නා බැවිණි.

“අවුරුදු නිවාඩුව නිසා පහුගිය දවස් ටිකේම වෙළෙඳාමක් තිබුණේ නැහැ. අතේ තිබුන මුදල් ටිකට කඩේට හකුරු අරගෙන තිබුණේ. ඒ නිසා මම දුවට කීවා මේ සතිය සෙරෙප්පු දෙක දාගෙන යන්න. මම ලබන සතිය වෙන කොට අලුත් සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්නම් කියලා. “පියුමිගේ මව පවසන්නේ එලෙසෙිනි.

පියුමි ඉකුත් 25 වන දින හිමිදිරි උදයේ පාසලට යාමට සැරසෙද්දී සපත්තු ජෝඩුව පිළිබඳ මතක් කිරීමට අමතක නොකළේය. ඊට පෙර දින පාස‍ලේ තිබූ ශ්‍රමදාන කටයුත්තකට සඳමාලිගේ මවට සහභාගි වීමටද නොහැකිව තිබූ බැවින් කඩ ලෑල්ල වසා දමා එදින පාස‍ලේ ශ්‍රමදානයට යෑමට ඇය අදහස් කරගෙන තිබුණි. තමා ශ්‍රමදානයට සහභාගි වීම සඳහා පැමිණෙන විට උදේ ආහාරය රැගෙන එන බව කියමින් ඉන්ද්‍රානි විසින් තම දියණිය වූ පියුමි පාසලට පිටත් කර තිබුණි.

සුපුරුදු පරිදි එදින උදෑසන පන්සිල් ගැනීමෙන් පසු විනය භාර ගුරුතුමිය වූ නදීකා මහත්මිය දරුවන්ගේ විනයට බලපාන අඩුපාඩු සොයා බලන කටයුත්තේ නිරතව සිටියාය. එය ඇයගේ ෙදෙනික රාජකාරියකි.

සෙරෙප්පු පැළඳ පාසලට නොඑන ලෙස දෙවතාවක්ම දැනුම් දී තිබියදී සපත්තු රහිතව පාසලට පැමිණ සිටි පියුමි නදීකා ගුරුතුමියට ඇස ගැටෙන්නේ එහිදීය. එහිදී පියුමි සහ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් දරුවන් දෙදෙනෙකුද නදීකා ගුරු මහත්මියට සපත්තු නොමැතිව හසුව තිබේ.

“තමුසෙලාට මම දැන් දවස් කීයක් කියලා තියෙනවද සපත්තු නැතිව ස්කෝ‍ලේ එන්න එපා කියලා... තමුසෙලා මම කියන දේවල් ගණන් ගන්නේ නැහැ නේද? ඉන්නවකෝ මම හොඳ වැඩක් කරන්න...” යැයි කියමින් එම ස්ථානයෙන් නික්මෙන නදීකා ගුරු මහත්මිය විනාඩි කිහිපයකින් එම ස්ථානයට පැමිණෙන්නේ රැහැන් පටි කිහිපයක්  ද සමගිනි. 

සපත්තු  දෙකක් මිලදී ගැනීමට තරම් මුදලක් අම්මා සන්තකයේ  නැති බව හෝ  අලුත් සපත්තු ජෝඩුවක්  ගන්නා තෙක් කැඩුන සපත්තු ජෝඩුව නොපළඳින ලෙස විදුහල්පතිනිය කියා ඇති බව නදීකා ගුරුතුමිය හමුවේ කීමට  තරම් මුඛරි බවක් අහිංසක පියුමිට නොතිබෙන්නට ඇත.

රැහැන් පටි කිහිපයක් රැගෙන පැමිණෙන නදීකා ගුරුතුමිය ඉන්පසු කරන්නේ ගුරුවරියකට කිසිසේත් නොගැළපෙන කාර්යයකි. පියුමිගේ හා අනෙක් දරුවන් දෙදෙනාගේ සෙරෙප්පු ගලවාගෙන එම සෙරෙප්පු යුගළයන් එකනෙක යා කොට ගැට ගසන ඇය ඉන් පසු එම සෙරෙප්පු මාල පියුමිගේ සහ අනෙක් දරුවන් දෙදෙනාගේ කරෙහි එල්ලන්නේ පාසල නිමවන තෙක් එය ඉවත් නොකරන ලෙස අණ කරමිනි. 

ඊට එම පාස‍ලේ තවත් ගුරුවරියක්ද අනුබල දී තිබේ. පියුමිගේ ඇසට කඳුළු කැට උනා ආවද නදීකා ගුරුතුමියට ඇති බයට එම කඳුළු කැට සඟවා ගනිමින් පන්තියට යන්නේ අනෙකුත් ළමයින්ගේ උසුළු විසුළු හා සිනා මැදිනි.

නදීකා ගුරු මහත්මියට දැරිය අමුත්තියක් හෝ නොහඳුනන අයෙකු නොවේ. පියුමිගේ පැල්පතට යාර සියයක පමණ එපිටින් නදීකා ගුරු මහත්මියගේ නිවස පිහිටා තිබේ. පියුමිගේ නිවස පැල්පතක් ලෙස හඳුන්වන්නේ එය නිවසක් යැයි සඳහන් කිරීම උචිත නොවන බැවිණි.  මුළුමනින්ම ටකරන් තහඩුවලින් සැදුම් ලත් එම පැල්පත පියුමිලාගේ ජීවිතය පිළිබඳ කැඩපතකි.

සෙරෙප්පු මාලය පැළඳ ගත් පියුමි දෝරේ ගැලීමට ඔන්න මෙන්න කියන කඳුළු කැටද සඟවාගෙන පන්තියේ අසුන් ගෙන සිටියාය. මුලදී ඔච්චමට සිනාසුන හයක් හතරක් නොතේරෙන යහළුවන් ටිකෙන් ටික සංවේදී වන්නට විය.

“නදීකා ටීචර් දැන් නැහැනේ පියුමි...ඔයා ඕක ගලවලා දාන්න....” යැයි කිහිප විටක්ම මිතුරියන් කියා සිටියද පියුමි එසේ නොකළාය.

“තමුසේ ස්කෝලෙ ඇරෙනකම්ම ඕක බෙල්‍ලේ දාගෙන ඉන්න ඕනේ... ගලවලා තිබුණොත් බලා ගන්න පුළුවන්...” නදීකා ගුරුතුමියගේ ගිනියම් වූ වචන පියුමිගේ සවන් පුරවා තිබුණි. මුලින්ම පන්තියේ උගන්වා ඇත්තේ , ගණිතයයි. 

ගණිතය විෂය අවසන් වන තෙක්ම ඇය සෙරෙප්පු මාලය පැළඳ අකුරු කර තිබේ. පැන්සල උල් කිරීමට යන පියුමිගේ ඇඟිල්ලක් බ්‍ලේඩ් තලයට කැපී යන්නේ , දෙවන කාල පරිච්ජේදයේදීය. 

ඇඟිල්ලෙන් ගලන ‍ලේ සෝදා ගැනීමට වතුර පයිප්පය ගාවට පියුමි යන්නේ සෙරෙප්පු මාලය දමාගෙනය. පියුමිගේ දහවල් ආහාරයද රැගෙන ශ්‍රමදානයට එක්වීම සඳහා පාසලට පැමිණි පියුමිගේ මව තම දියණිය උදයේ නිවසින් එන විට පැළඳ ආ සෙරෙප්පු යුගළ බෙල්‍ලේ එල්ලා සිටිනු දැකීම ප්‍රහේලිකාවක් විය. දියණිය කතාව කීමට පෙර , අනෙකුත් ළමයින් සිද්ධිය පියුමිගේ මවට හෙළි කර තිබේ.   

“මම ස්කෝලෙට එනකොටම ළමයි ඇවිදින් කිව්වා පියුමි සෙරෙප්පු දාගෙන ආවා කියලා නදීකා ටීචර් සෙරෙප්පු දෙක පියුමිගේ බෙල්‍ලේ එල්ලුවා කියලා. එතකොට දුව කෑම එක ගන්න මා ගාවට ආවා. දුව දැක්කම මගේ පපුව හෝස් ගාලා පිච්චිලා ගියා. අපි මේ තරම් අසරණද කියලා හිතුණා. ඒ එක්කම වගේ මට ලොකු තරහකුත් හිතට ආවා. 

මොකද නදීකා ටීචර් කියන්නේ පිට කෙනෙක් නෙවෙයි. අපේ ගමේම කෙනෙක්. නදීකා ටීචර් මගේ තත්ත්වය හොඳටම දන්නවා. එහෙම දන්න කෙනෙක් වෙලත් ඇයි මෙහෙම දඬුවමක් දුන්නේ කියලා. වේවැලකින්  දෙක තුනක් ගැහැව්ව නම්, මට දුකක් නැහැ. නමුත් ටීචර් සෙරෙප්පු දෙක කරේ එල්ලලා, අපේ දුප්පත්කමට අපහාස කිරීමක් නේද කියලා හිතුණා.

මම හිතන්නේ කිසිම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් එහෙම ඉන්නවා දකින්න කැමති වෙන්න බැහැ.” සෙරෙප්පු දෙක බෙල්‍ලේ එල්ලා ගෙන ඇඟිල්ලද කපා ගෙන සිටි දියණියද කැටිව නදීකා ටීචර් හමුවට යන පියුමිගේ මව ඇයගෙන් අසා සිටින්නේ දුප්පත් අපේ පවුල් වටපිටා දැන දැනත් මගේ අහිංසක කෙල්ලට මෙසේ කළේ ඇයිද කියාය.

එහිදී ගුරුවරියගෙන් ලද ප්‍රතිචාරය එතරම් යහපත් නොවේ. “මට කාගෙවත් පවු‍ලේ තත්ත්වයවත් වටපිටාවවත් වැඩක් නැහැ. මෙයාලා හදන්නත් බැහැ. මට ඕනේ ස්කෝලෙ විනය හදන්න විතරයි.'' යනුවෙනි.
 
“මේ වැඩේ හරියන්නෙ නැහැ දුවේ අපි යමු ‍පොලීසියට. මෙයාලා අපේ අසරණ කමට ඔළුවට අත හෝදන්න හදන්නෙ.” යයි කියමින් සෙරෙප්පු මාලයද රැගෙන පාසලෙන් පිටතට පැමිණෙන්නේ සැබවින්ම ‍පොලීසි යෑමට නොවේ. දැඩි මතධාරී නදීකා ගුරුතුමිය කෙසේ වෙතත් වෙනත් ගුරුවරයකු හෝ පැමිණ මෙය දුර දිග ගෙන නොයන ලෙස ඉල්ලීමක් කරනු ඇතැයි බලා‍පොරොත්තුවෙනි.

“මම ඇත්තටම ‍පොලීසි යන්න හිතාගෙන එහෙම කිව්වේ නැහැ. මම හිතුවේ වෙන ටීචර් කෙනෙක් හරි ඇවිත් ඔන්න ඕක අමතක කරලා දාන්න ළමයා පන්තියට යවන්න කියලා කියයි කියලා. නමුත් නදීකා ටීචර් කිව්වේ ඕන ‍පොලීසියකට තමුසේ යනවා. වැඩිම උනොත් මගේ ජොබ් එක නැතිවෙයි. ඒකට කමක් නැහැ. “යනුවෙනි.

ඉන්ද්‍රානි ස්ථිරවම ‍පොලීසියට යෑමට තීරණය කරන්නේ එවිටය. සේරුවිල සිට සේරුනුවර ‍පොලීසියට කිලෝමීටර් අටක් පමණ තිබේ. එම දුර යෑමට අසල්වැසි සහෝදරයකුගේ ත්‍රිරෝද රථයක් පැමිණෙන තුරු ඇය පාසල ආසන්නයේ පිහිටි බස් නැවතුමේ පැය තුනක් පමණ කාලයක් ගත කළාය.

පියුමිගේ මව මේ සම්බන්ධයෙන් සේරුනුවර ‍පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ ගුරුවරිය සහ එම විද්‍යාලයේ විදුහල්පතිනිය ප්‍රශ්න කිරීම සඳහා ‍පොලීසිය විසින් කැඳවා තිබේ. එහිදී පාස‍ලේ විදුහල්පතිනියද ‍පොලීසියට දෙන ලද කට උත්තරයේ සඳහන් කර ඇත්තේ පාස‍ලේ විනය සෑදීම සඳහා නදීකා ගුරුතුමිය එසේ කර ඇති බවයි. 

කෙසේ වෙතත් මෙම අනුවේදනීය සිදුවීම මවක් වූ විදුහල්පතිනිය එසේ අර්ථකථනය කරද්දී සේරුනුවර ‍පොලීසියේ කොස්තාපල් රංජිත් නිශාන්ත මහතා යහළුවෙකුගෙන් අත මාරුවක් කර ගනිමින් අසල වෙළෙඳසලකට ගොස් දැරියට සරිලන සපත්තු යුගළක් ගෙන එන්නේ දැරිය පිළිබඳ වූ මහත් අනුකම්පාවෙනි. 

ඊට සේරුනුවර ‍පොලීසියේ වැඩබලන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස්
පරීක්ෂක එම්.බි.වීරරත්න මහතාත් සහ උප ‍පොලිස් පරීක්ෂක පාලිත යන මහත්වරුන් දායකත්වය සපයනුයේ පියුමි දැරියට සැබෑ පියවරුන් ලෙසිනි. 

දැරියගේ අනාගත අභිවෘද්ධිය තකා මෙම සිද්ධිය ‍පොලීසියේදීම අවසන් කරන ලෙස පියුමිගේ මව එහිදී වැඩබලන ‍පොලිස් ස්ථානාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ. එය එලෙසින්ම සිදුවුණද මෙම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග දෙබරයකට ගල් ගැසුවා සේ ඇවිලී ගියේය. 

එහි අවසාන ප්‍රතිඵලය වූයේ මෙම සිද්ධිය නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ කන වැටීමයි.

නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතාද කුඩා අවධියේ දුක් කම්කටොලු රැසක් මැද ස්වෝත්සාහයෙන් අධ්‍යාපනය ලබා ජීවිතය ජයගත් අයෙකි. ඉගෙන ගැනීම සඳහා තමන් දැරූ වෙහෙස විමලවීර දිසානායක මහතා ප්‍රසිද්ධ වේදිකාවේ හෙළි කරන්නේ තම ජීවිත කතාව දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද ආදර්ශයක් බව සලකමිනි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් පරීක්ෂණය නිමවන තෙක් අදාළ ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර හරින ලෙස අමාත්‍යවරයා විසින් නියෝග කර ඇත්තේ තම වගකීම නිසි ලෙස අවබෝධ කර ගනිමිනි. 

එහෙත්, ගුරුවරුන් පස් දෙනකු පමණක් සිටින එම පාස‍ලේ එක් ගුරුවරියක් වෙනත් පාසලකට යවන්නේ නම්, ඊට අනුප්‍රාප්තිකයෙකු කෙටි කලකට හෝ ගෙන්වා ගත යුතුය. එසේ නොවුණ හොත් එහි වරද පැටවෛන්නේද පියුමි සඳමාලි දැරියගේ නම ඉදිරියෙනි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු පියුමි දැරිය දැඩි මානසික බිඳ වැටීමකට ලක්ව සිටින්නීය. හතර අතින් පියුමිට සහ ඇයගේ මවට චෝදනා එල්ල වීම ඊට හේතුවයි.  

ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර හැරියොත් ඇයට පාසල හැර නොයන ලෙස කියමින් හඬා වැටීමටද ගුරුවරු පාස‍ලේ දරුවන් පුරුදු පුහුණු කරමින් සිටින බව කියැවේ. එසේම පියුමිට සහ ඇයගේ මවට එරෙහිව දෙමාපියන් පිරිසක් පාසල ඉදිරිපිට පැවැත්වීමට සූදානම් කර තිබූ උද්ඝෝෂණයක් ‍පොලීසිය විසින් වළක්වා තිබේ.

මේ අතරම මෙම සිද්ධියෙන් මහත් සේ කැළඹුණු මිනිසත් බවෙන් ඉහළ මිනිසුන් බොහොමයක් පියුමිට උදව් උපකාර කිරීමට පෙළ ගැසෙමින් සිටිති. 222 බළ සේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් අනුරුද්ධ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පියුමිගේ අනාගතය වෙනුවෙන් සැලකිය යුතු පරිත්‍යාගයක් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු සොයා බලන බවය.

ජාතික තරුණ සේවා සභාව විසින් ඉදිකිරීම් ආරම්භ කොට අතරමග නවතා දමා ඇති නිවසෙහි කටයුතුවලට උදව් කිරීමට ජාතික තරුණ සේවා සභාවේ අවධානය යොමුව ඇති බව පෙනේ. පියුමිලාගේ ටකරන් මඩුව වෙනුවට අතරමගදී ඉදි කිරීම් නවතා දමා ඇති නිවස ඉදිකර දීමට කවරෙකුට හෝ හැකිනම් එය මහත් වූ ආනිශංසයකි.

දැයේ දරුවන්ගේ නුවණැස පාදන දිසාපාමොක්වරු අවමානයට ලක් කිරීම අපගේ අරමුණ නොවේ. ඔවුන් සැබවින්ම දෙවිවරුමය. මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරියට කීමට කතාවක් තිබෙන්නට ඇත. අප ඇයගේ එම අයිතියට ගරු කරමින් ඇය ඇමතීමට කිහිප විටක්ම උත්සාහ කළද ඇය ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

මංගලනාත් ලියනආරච්චි
 
Related Posts with Thumbnails