Ads 468x60px

.

නාය යැමෙන් මියගිය පුංචි ළමයි තිදෙනා සහ අඹුසැමි යුවළ...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පෙරේදා (01 වැනිදා) සිට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයැම් වලට හසුවීමෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් හයදහස්‌ අටසියයක්‌ පමණ අවතැන් වී ඇත.

අධික වර්ෂාවෙන් වැඩිම හානියක්‌ සිදුව ඇත්තේ කළුතර දිස්‌ත්‍රික්‌කයට වන අතර පුද්ගලයන් එකොළොස්‌ දෙනකු මියගොස්‌ තවත් පවුල් 1209 ක්‌ අවතැන්ව සිටිති.

එකම පවුලේ තිදෙනා මරුට

අගලවත්ත කිතුල්ගොඩ නාහේන්කන්ද නාය ගොස්‌ අසල පිහිටි නිවසකට කඩාවැටීමෙන් එහි සිටි එකම පවුලේ තිදෙනකු මියගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ රේණුකා හේරත්මුදලි (45) මව සහ නදීෂා මධුෂානි (22) හා බුද්ධිනි නිශාදි (09) නමැති දියණියන් දෙදෙනාය.


සිද්ධිය වන අවස්‌ථාවේ නිවසේ සිටි පියා සහ තවත් දියණියක්‌ හා පුතෙකුට දිවි බේරා ගැනීමට හැකි වී ඇත. එමෙන්ම එම නිවසට
ආසන්නව ඇති තවත් නිවසක්‌ ද පස්‌ කන්දකට යටවීමෙන් එහි සිටි එකම පවුලේ දරුවන් දෙදෙනකු මියගොස්‌ තිබේ.

රුසිරු ලක්‍ෂාන් (04) හා සඳරු නිමේෂිකා (07) යන දරුවන් දෙදෙනා මෙසේ මියගොස්‌ ඇත. නිවසට ඉහළින් යම් ශබ්දයක්‌ ඇසී එය බැලීමට මවත් පියාත් නිවසින් පිටතට පැමිණි අවස්‌ථාවේ පස්‌ කන්ද නිවස මතට වැටී එහි සිටි දරුවන් දෙදෙනා මෙලෙස මියගොස්‌ ඇත.

අඹු සැමි යුවළක්‌ එතැනමයි

අගලවත්ත ඕමත්ත ප්‍රදේශයේ ද කන්දක්‌ නාය ගොස්‌ අසල නිවසකට කඩාවැටීමෙන් එහි සිටි අඹු සැමියන් මියගොස්‌ ඇත. ගීකියනගේ පුන්‍යසෝම (58) හා කුසුමාවතී (47) මෙසේ මියගොස්‌ ඇත.

බුලත්සිංහල අඹගහකන්ද නාය යැමෙන් අසල නිවාස දෙකක සිටි පුද්ගලයන් තිදෙනෙක්‌ මියගොස්‌ ඇත. එහිදී මියගොස්‌ ඇත්තේ කේ. නොසිනා (80) මව හා සුනිල් රාජපක්‍ෂ (45) පුතා සහ ආර්. එස්‌. පියසේන (54) නමැත්තැන්ය.

කඩුවෙලත් යුවළක්‌ මරුට

කඩුවෙල මාලබේ ප්‍රදේශයේ නිවසක්‌ මතට ඊයේ රාත්‍රි පස්‌ කන්දක්‌ සහ විශාල තාප්පයක්‌ කඩාවැටීමෙන් එම නිවසේ සිටි අඹු සැමි යුවල මියගොස්‌ තිබේ. එහිදී මියගොස්‌ ඇත්තේ කේ. ප්‍රේමසිරි (73) සහ පේමශීලී (62) නමැත්තන්ය.

වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුරට ගසාගෙන යැමෙන් අගලවත්ත ප්‍රදේශයේ හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ හා ගම්පහ ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙක්‌ මියගොස්‌ තිබිණි.

මෝටර් රථය පාලමෙන් ඇළට

කඩවත මංකඩ ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ පාලමකින් ඉවතට පැන ඇළකට වැටී ඇති අතර එහි සිටි පුද්ගලයන් තිදෙනකු ප්‍රදේශවාසීන් එක්‌ව බේරාගෙන තිබේ.

ගංවතුරෙන් විපතට පත්ව සිටි අගලවත්ත, වැලිපැන්න, පඹරැල්ල යන ප්‍රදේශවල ජනතාව මුදා ගැනීමට හා සහන සැලසීමට යුද හමුදා කණ්‌ඩායම් දෙකකට අයත් සෙබළුන් 500 කට අධික පිරිසක්‌ යොදවා තිබූ අතර නාවික හමුදාව මගින් හෙලිකොප්ටර් දෙකක්‌ හා යාත්‍රා 10 ක්‌ යොදවා තිබිණි.

රාගම දුම්රිය පාර යටවේ

දැඩි වර්ෂාව හේතුවෙන් රාගම දුම්රිය ස්‌ථානයේ දුම්රිය මාර්ග ජලයෙන් යටවී තිබූ අතර මේ නිසා ඊයේ උදැසන සිට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.

ධාරානිපාත වර්ෂාවේ වැඩිම බලපෑම කළුතර දිස්‌ත්‍රික්‌කයට අයත් අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, මතුගම, පාලින්දනුවර, ඉංගිරිය සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට බලපා ඇත.

අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක නිවාස සහ මාර්ග ජලයෙන් යටවීම නිසා ජන ජිවිතය අඩාල විය. ඇතැම් ප්‍රදේශවල ඊයේ (02 වැනිදා) දහවල් වනතෙක්‌ වාහන ගමනා ගමනය කිරීමට නොහැකිව පැවතිණි.

අධික වර්ෂාව සමග කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක්‌ බෙල්ලන සිට නෙළුව දක්‌වාත්, ඩාර්ටන්µSල්ඩ් සහ කිතුල්ගොඩ ප්‍රදේශයේත් විදුලි රැහැන් මතට ගස්‌ කඩාවැටීම් නිසා මහජනතාවගේ ආරක්‌ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්‌ඩලය පියවර ගෙන තිබුණි. එමෙන්ම විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලිබල මණ්‌ඩලය ඊයේ (02 වැනිදා) දහවල් කටයුතු කරමින් සිටියහ.

කළු, නිල් ගංගා පිටාර ගලයි

අධික වර්ෂාව හේතුවෙන් කළුගඟ සහ නිල්වලා ගඟේ ජල මට්‌ටමද ඊයේ (02 වැනිදා) වනවිටත් ඉහළ නඟිමින් පැවති අතර ගඟ පරිහරණය කරන පිරිස්‌ දැඩි අවබෝධයෙන් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඉල්ලා සිටී.

අධික වර්ෂාව සමග ගංවතුර හේතුවෙන් කළුතර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1209 කට අයත් පුද්ගලයන් 4820 ක්‌ ඊයේ (02 වැනිදා) දහවල් වන විට අවතැන්ව සිටි බව කළුතර දිස්‌ත්‍රික්‌ ලේකම් යූ. ඩී. චන්දන ජයලාල් මහතා පැවැසීය. ප්‍රදේශයේ නිවාසවලට සිදුවූ පූර්ණ හා අර්ධහානි පිළිබඳ නිශ්චිත ගණනයක්‌ කර නැතැයිද හෙතෙම කීය.

ගාල්ලේ පවුල් 612 ක්‌ අනාථයි

ගංවතුර තත්ත්වය නිසා ගාල්ල දිස්‌ත්‍රික්‌කය තුළ පවුල් 612 කට අයත් පුද්ගලයන් 1998 දෙනෙකු අවතැන් වී ඇති බැව් ගාල්ල දිස්‌ත්‍රික්‌ ආපදා සහන සේවා මධ්‍යස්‌ථානය පවසයි.

දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හයකට අයත් ග්‍රාම නිලධාරි වසම් 35 කට ගංවතුර තත්ත්වය බලපා තිබේ. ඇල්පිටිය, යක්‌කලමුල්ල, ගාල්ල කඩවත්සතර, නියාගම, නෙළුව, හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට ගංවතුර තත්ත්වය බලපා තිබේ.

ගංවතුර තත්ත්වය නිසා පූර්ණ වශයෙන් නිවාස 02 කට හා අර්ධ වශයෙන් නිවාස 27 කට හානි වී ඇති බවද ආපදා සහන සේවා මධ්‍යස්‌ථානය පවසයි. ගංවතුරෙන් වැඩිම බලපෑමක්‌ එල්ලවී ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට වන අතර එහි පවුල් 472 කට අයත් සාමාජිකයන් 1537 ක්‌ විපතට පත්ව තිබේ.
 
Related Posts with Thumbnails