Ads 468x60px

.

වාහනයේ පාඩුව - ගුටිකෑමේ පාඩුවට අමතරව තවත් විපාක රාළහාමි පසුපස එන්ටත් බැරි නැත

පොලිස්‌ නිලධාරියකුට අමානුෂිකව පහර දී ඔහු ගමන් කරමින් සිටි වාහනය ද ගිනි තබා විනාශ කිරීමේ නින්දිත ක්‍රියාවක්‌ පිළිබඳව අනාවරණය කර තිබිණි.

මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ සුමින්ද සමන් නමැති කොස්‌තාපල් වරයකු බව ද එහි සඳහන් විය. හේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව රථවාහන පොලිස්‌ ඒකකයේ සේවයේ නිරත වූ අයෙකි.

ඔහුට පහර දුන් මැරයෝ කවරහුදැයි මේ ලියන විටත් අනාවරණය වී නොතිබිණි. ඒ තොරතුරු අනාවරණය වේද යන්නත් ස්‌ථිරව කිව නොහැක. සාමාන්‍යයෙන් මේ වර්ගයේ පාදඩ ප්‍රහාර, අශික්‍ෂිත හා ප්‍රචණ්‌ඩ

දේශපාලන අන්ධකාරයකින් නිකුත් වන භයානක විෂ වර්ගයක්‌ වීම එයට හේතුවකි. ඒ ගැන සොයන්නෝ පමණක්‌ නොව ලියන්නෝ ද ප්‍රවේශම් විය යුතු වෙති.

මේ ප්‍රහාරයට පෙර එක්‌තරා දෙයක්‌ සිදු වී තිබේ. ඒ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ රියෑදුරකුට මෙම නිලධාරියා විසින් දඩ කොළයක්‌ නිකුත් කර තිබීමය. 


අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ පිවිසුමේදී තමන් නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක්‌ ලබාදීමේ සිද්ධිය තමන්ට පහර දීමට හේතු වන්නට ඇති බවට සැකයක්‌ තිබෙන බව ද ගුටි කෑ පොලිස්‌ නිලධාරියා පවසා තිබිණි.

අපගේ පත්‍රයේම සඳහන් වූ පරිදි මේ නියෝජ්‍ය ඇමැතිවරයා නිර්මාංශ භෝජනයෙන් යෑපෙන පරම අවිහිංසාවාදියෙකි. හේ මෙත් සිතින් ලොව දෙස බලන, අන් දුක්‌ තමන්ගේ මෙන් ගන්නා අයෙක්‌ බව එයින් අප සිතා ගත යුතු නොවේද?

ඇත්තටම අපේ මැති ඇමැති උතුමෝ අප වෙනුවෙන් කොපමණ දුක්‌ උහුලත්ද? ජනතා සේවය නිසාම ඔවුන්ට ඉතා කටුක දුක්‌ අනුභව කිරීමට සිදුවේ. වේලාවට කෑමක්‌ නැත. ජනතා ප්‍රශ්න ඒ තරමටය. ඒවාට යට වී දුෂ්කර ක්‍රියා කරන අතරවාරයේ ඉතා කලාතුරකින් ලේ ධාතුව කුපිත වී කෙනකුට බැණ වැදුණත් දවස්‌ ගණනක්‌ ඒ වෙනුවෙන් පසුතැවෙයි.

මේ පසුබිම තුළ මේ සිද්ධිය අපගේ ද සැකයට තුඩුදෙයි. අනෙක්‌ අතට මොන නීතිය කැඩුවත් ජනතාවගේ දෙවියන් සේ සිටින එතුමන්ලාට දඬුවම් දීමට පොලිසිය කවුද? ඒ පරම සත්‍යය වටහා ගත් අය පොලිසියේ ද සිටිති. ඔවුහු එබඳු තැන්වල තුෂ්නිම්භූතව සිටිති. නැත්නම් අහක බලා ගෙන සිටිති. අන්න මොළය·

මේ නිලධාරියාට එබඳු ප්‍රායෝගික දැනීමක්‌ හෝ දේශපාලනය ගැන වැටහීමක්‌ වී නම් මෙබඳු ඉල්ලාගෙන කෑමක්‌ සිදුවේද? බාගවෙලාවට ඇමැතිවරුන් දුසිම් හත අටක්‌ සිටින රටක ප්‍රසිද්ධ නොවන අය හඳුනාගැනීම ද පහසු නැත. ඒ මොනවා වුණත් මේ නිලධාරියා අපේ පොලිසියට ගැළපෙන කෙනෙක්‌ නම් මෙලෙස ක්‍රියා කරයිද?

මේ මෝඩ ප්‍රතිචාරය නිසා බොහෝ දෙනෙක්‌ මේ සිදුවීම් දෙකම එකට ගලපන්නට පෙළඹෙන බව ද පෙනේ. එහෙත් එය හරිද? මේ රාළහාමි නොදැනුවත්ව උන්නැහේට ඕනෑ තරම් තරහකාරයන් සිටීමට ද හැකිය.


පොලිසියේ අය සමඟ හැපීම කළුගල්වල ඔළුව ගසා ගැනීමක්‌ බව දන්නා ඒ සතුරෝ හරියටම මේ සිද්ධිය දැනගෙන පසුව ක්‍ෂණිකව මෙසේ ක්‍රියාත්මක වූවෝ ද යන සැකයත් බැහැර කළ නොහැක.

අනෙක්‌ අතට දේශපාලනඥයන් සමඟ ගැටෙන්ට යන රාළහාමිලා සිටිත්ද? මොළේ කළඳක්‌ වී නම් එවේලේම මේ සිද්ධිය ගොඩ දා ගන්ට තිබුණා නේද? කළ යුතුව තිබුණේ කඳ සීරුවෙන් තබා සැලියුට්‌ එකක්‌ ගැසීමය. මින් මතුව හෝ මෙබඳු තැන්වලදී ප්‍රඥවෙන් ක්‍රියා කිරීමට රාළහාමිට නුවණ පෑදේවායි පතනු විනා අපට මේ ගැන කිසිවක්‌ කිව නොහැක.

වාහනයේ පාඩුව - ගුටිකෑමේ පාඩුවට අමතරව තවත් විපාක රාළහාමි පසුපස එන්ටත් බැරි නැත. අපේ හිතවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකතුමාට ද මෙබඳු අවස්‌ථාවක වුවත් තමන්ගේකම අමතක කිරීමට සිදුවන බව ද අපට වැටහෙයි.

කෙසේ හෝ වේවා මේ සිදුවීම් පෙළ අතර යම්කිසි සබඳතාවක්‌ තිබේ නම් ඒ ගැන සොයා බැලීම පොලිස්‌පතිතුමාට බාර වගකීමකි. එසේම මේ රාළහාමිට පහර දී වාහනය ගිනිතැබූ කාලකණ්‌ණි රොත්ත අල්ලා ගැනීම මේ සිද්ධියේ කෙළවරකට ගෑවී සිටින අර අවිහිංසාවාදී නියෝජ්‍ය ඇමැතිවරයාගේ හොඳ නාමය තහවුරු කිරීමට ද හේතු වනු ඇත.
 
Related Posts with Thumbnails