Ads 468x60px

.

හෙදියන් - පවුල් සෞඛ්‍ය කනිෂ්ඨ සේවක පිරිස්‌ අතින් පයින් වතුර බෝතල් වලින් ගුටි කෙළි.!


ගැබිනි මවුවරුන් 
'සිහි නැතිකර' 
හෙදියෝ ගිහින්

දරු ප්‍රසූතියට සූදානම්ව පැමිණි මව්වරුන් ඉදිරි පිටදී රාගම රෝහලේ සූතිකාගාරය තුළ හා ඉන් පිටතදී ඊයේ (30 දා) පෙරවරුවේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් අතින් පයින් සහ වතුර බෝතල්වලින් එකි නෙකාට ප්‍රහාර එල්ලකර ගැනීම නිසා එම ස්‌ථානය යුද පිටියක්‌ බවට පත් වුනු පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

මේ නිසා රාගම රෝහලේ ගැබිනි මව්වරු දැඩි භීතියකට පත්ව සිටින බවත් මෙසේ ප්‍රහාර එල්ල කර ගැනීම නිසා තුවාල වූ හෙදියන් පස්‌
දෙනෙක්‌ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අට දෙනෙක්‌ හා කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයකු එම රෝහලේම වාට්‌ටු කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් රෝහල් ප්‍රකාශකයෙක්‌ අප වෙත පැවසුවා.

මෙම ගැටුම නිසා රාගම රෝහල් හෙදියන් සේවයෙන් ඉවත්ව ගොස්‌ ඇති අතර ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කළ රෝගීන් එම ශල්‍ය කර්මයට භාජනය කිරීමට පෙර හෙදියන් සේවයෙන් ඉවත්ව ගිය බව වෛද්‍යවරයෙක්‌ ප්‍රකාශ කළේය.

එසේ නිර්වින්දනය කළ රෝගීන් සැත්කමට භාජනය නොකර යළි සිහිය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට වෛද්‍යවරුන්ට සිදුවූ බව ද එම වෛද්‍ය වරයා කීවේය. රෝහල් සූතිකාගාරවල සිටින ඊයේ දිනයට දරු ප්‍රසූතියට සූදානම් කර තිබූ මව්වරුද දැඩි අවදානම් තත්ත්වයක පසුවූ බව කීය.

රෝහලේ ඇතැම් ශල්‍යාගාර තුළ රෝගීන්ට ශල්‍යකර්ම සිදුකරමින් සිටින අතරතුරදී හෙදියන් එම ස්‌ථානයෙන් ඉවත්ව ගිය බවද ඉහත වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

රෝහල් ශල්‍යාගාර සියල්ල හෙදියන් නොමැති නිසා ඊයේ සවස්‌ වනවිට වසා දමන තත්ත්වයට පත්ව තිබූ බව ද එහෙත් වෛද්‍යවරුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය එක්‌ව සේවා කටයුතු සිදුකිරීමට උත්සාහ ගන්නා බව ද ඉහත වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සූතිකා පුහුණු ප්‍රශ්නය මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙද නිලධාරීන් ඉදිරියේ සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් දිවයිනේ සෙසු රෝහල්වල මෙන්ම රාගම රෝහලේද දින කිහිපයක සිට අර්බුදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබිණි.

රාගම රෝහලේ මෙම තත්ත්වය උත්සන්න වී තිබුණු අතර දින කිහිපයක සිට සූතිකාගාරය තුළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් කිහිප දෙනෙකු හෙදියන් විසින් සිරකර තබාගෙන සිටින බවට ද පැමිණිලි ලැබි තිබිණි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙද නිලධාරීන් ඉදිරිපිට අත්සන් නොතබන නිසා ඔවුන් සේවයට වාර්තා නොකළ අය සේ සලකා සූතිකාගාරය තුළට පැමිණීමට ඉඩ ලබා නොදීමටත් ඒ වනවිට දින තුනක සිට සූතිකාගාරය තුළ සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට ඉන් පිටතට යැමට අවහිර කිරීමටත්, හෙදියන් කටයුතු කරන බව ද පැමිණිලි ලැබි තිබිණි.

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයද පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සහාය දක්‌වති. සූතිකාගාරය තුළ සිරවී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ඊයේ (30දා) පෙරවරුවේ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සේවකයකු ආහාර රැගෙන යද්දී හෙද නිලධාරීන් විසින් ඔහුට පහර දී ඇත. 


මේ අවස්‌ථාවේදී කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ තවත් පිරිසක්‌ සූතිකාගාරය අසලට පැමිණි ඇති අතර එහිදී හෙද නිලධාරීන් සහ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය අතර ගැටුම් ආරම්භ වී තිබේ. මීට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ද මැදිහත්වී ඇති අතර ගැටුම සූතිකාගාරය තුළ සිටින හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අතරටද ව්‍යාප්ත වී ඇත.

ඒ අවස්‌ථාවේදී සූතිකාගාරය තුළ දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මව්වරු කිහිප දෙනෙකුද සිට ඇත. හෙදියන්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය අතින් පයින්, වතුර බෝතල්වලින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිද්දි ගැබිනි මව්වරු දැඩි භීතියට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් රාගම පොලිසියටද පැමිණිලි කර ඇති අතර ඊයේ දහවල් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ද උසස්‌ පොලිස්‌ නිලධාරීන්, රෝහල් අධ්‍යක්‍ෂවරයා සහ වෘත්තිය සමිති එක්‌ව මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්‌ද රෝහල් පරිශ්‍රය තුළදී පවත්වා ඇත.

සෞඛ්‍ය බලධාරීන් හා රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙම ගැටලුවට සාධාරණ විසඳුමක්‌ නොදීම හා පවතින පරිපාලනය නීති ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ද හෙදියන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීම සහ හෙදියන්ට පහර දීම සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේත්, අමාත්‍යාංශය යටතේත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කරනතුරු හෙදියන් රාජකාරී කටයුතුවලින් බැහැරව සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails