Ads 468x60px

.

අරියධම්ම හිමි සහ සෝම හිමියන්ගේ ඇවෑමෙන් සාසනයට 'රිවස්‌ ගියර්' වැටුණු හැටි.

පන්විල හාතලේ රෝහණ මුණසිංහාරාමයට කඩා වැදුණ ගැහැනු දහහතර දෙනෙක්‌ සහ පිරිමි දහහතර දෙනෙක්‌ විහාරාධිපති හිමියන්ට පහර දී උන්වහන්සේගේ සිවුර ගලවා සරමක්‌ ඇන්දවූහයිද පසුව උන්වහන්සේ බස්‌ නැවතුමක බැඳ දමන ලද්දේ යෑයි ද ඊයේ (30 දා) අපට වාර්තා වුණා.

මේ මැර හමුදාව මේ වන විට රිමාන්ඩ් හිරගෙදර ය. ඉතිහාසය කර කැවෙන්නාක්‌ සේ සාසනය ද පරිහානිය කරා ගමන් කරමින් තිබේද?

කිසියම් දෙයක්‌ පරිහානියට පත්වීම සහ යළි ගොඩ ඒම ස්‌වභාවධර්මයේ නීතියකි. ලෝක විනාශය පවා මෙයට පෙර අවස්‌ථා කිහිපයකදීම සිදුවිය.
සාසන පරිහානි යුගයක්‌ ද මේ රටේ තිබූ අතර භික්‍ෂූන් වහන්සේලා ගණින් නාන්සේලා ලෙස නම් කර පාංශුකූලය පමණක්‌ දෙන අයවලුන්ගේ මට්‌ටමට පත් වූ යුගයක්‌ මෙහි විය. 

හරියාකාර උපසම්පදාවක්‌ පවා රට තුළ නොවූ නිසා පිටරටින් උපසම්පදාව ආනයනය කිරීමට වැලිවිට සරණංකර හිමියන්ට සිදුවිය. මෙවැනි යුගයක්‌ යළි පහළ වෙමින් පවතින බව පෙනෙයි. මේ පහළවීම සිදුවන්නේ ඊයේ පෙරේදා හෝ පසුගිය අවුරුද්දේ සිට නොව අවුරුදු ගණනකට පමණ පෙර සිට ය. 

තල්දූවේ සෝමාරාම නමැති භික්‍ෂුව විසින් අගමැති බණ්‌ඩාරනායකට වෙඩි තබා ඔහු මරණ ලද්දේය. එම මිනීමැරුම සංවිධානය කළ වරදට එකල පිහිටි නැව් සමාගමක අධ්‍යක්‍ෂවරයකු වූ මාපිටිගම බුද්ධරක්‌ත නමැති භික්‍ෂුව හිරේ ගියේ ය. 

බණ්‌ඩාරනායක ඝාතනයත් සමඟම ගිහියෝ භික්‍ෂූන්ට ඉතා නරක ලෙස අවමන් කරන්නට පටන් ගත්හ. සමහර පන්සල්වලට දන් වේලක්‌ දීමට පවා දායකයෙක්‌ නැති විය. මේ පරිහානිගත තත්ත්වයෙන් මිදෙන්නට "පන්සල" නමැති ආධ්‍යාත්මික ආයතනයට සෑහෙන කලක්‌ ගතවිය.

ඉන්පසු පානදුරේ අරියධම්ම හිමි සහ ගංගොඩවිල සෝම හිමි වැනි භික්‍ෂූන් වහන්සේලා බුදුදහම ජනතාවගේ එදිනෙදා ජීවිතයට සමීප කළ නමුදු උන්වහන්සේලාගේ ඇවෑමෙන් පසු නැවතත් සාසනයට 'රිවස්‌ ගියර්' එක වැටිණි. භික්‍ෂූන්වහන්සේ දේශපාලනයට පැමිණි පසු වැඩේ තවදුරටත් 'වර්චස්‌' විය. 

පාර්ලිමේන්තුව තුළදී ආණ්‌ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරුන් විසින් ආණ්‌ඩුවට උදව් කරන මන්ත්‍රී භික්‍ෂූන් වහන්සේගේ සිරුර මඬින ලද අවස්‌ථාව ගැන ඔබට මතකද? මෙය කළේ රට ජාතිය ආගම ගැන නිතර කියවන ආණ්‌ඩුවේ ඇමැතියෙකි. 

ඒ සිද්ධියෙන් පසු ඇතැම් භික්‍ෂූන් වහන්සේ දේශපාලනයෙන් ඉවත් වූහ. එහෙත් එසේ ඉවත් වන විට, උන්වහන්සේ දේශපාලනයට පැමිණීමෙන් සිදු වූ හානිය කිසිදු ආකාරයකින් ප්‍රතිසංස්‌කරණය කරගත නොහැකි විය.

පසුගිය දිනවල වටරැක විජිත නමැති චීවරධාරියා හැසිරුණු නීච ආකාරය අපට කිසිදු ආකාරයකින්වත් අමතක කරන්නට බැරි ය. අද තිබෙන පන්සල්වලින් වැඩි හරියක්‌ දෙස බලන විට පන්සල තුළ දේවාල තිබේද, නැත්නම් දේවාල තුළ පන්සල් තිබේද යන්න හරියාකාරව සොයා ගැනීමට නොහැක. 

කොළඹ පන්සල් වැඩි හරියක්‌ තුළ වැඩිපුර කෙරෙන්නේ දෙහි කැපීම සහ පිංකැටවලට සල්ලි පුරවා ගැනීම ය. එහෙත් ගමේ පන්සල්වලට මේ චාන්ස්‌ එක නැත. ඒවායේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේට අඳින්නට සිවුරු නැත. වළඳන්නට දානය නැත. 

ශිෂ්‍ය භික්‍ෂූන්ට ලියන්නට පොත් නැත. පන්සලේ ලයිට්‌ බිල ගෙවීමට පිං කැටයට රුපියලක්‌ දැමීමට කෙනකු නැත. කොතෙක්‌ බෝධි පූජා පැවැත්වුවද ලයිට්‌ බිල ගෙවීමට සම්මාදම් වන දායකයෙක්‌ නැත. 

එයට හේතුව, දායකයන්ට ද වැලේ වැල් නැත. කොළඹ බොදුනු දායකත්වය සහ ගමේ බොදුනු දායකත්වය අහස හා පොළොව මෙනි. කොළඹ අයට සල්ලිවලට කරන්නට දෙයක්‌ නැත. 

ගමේ අයට කිසිවක්‌ කරන්නට සල්ලි නැත. මේ කවර තත්ත්වයක්‌ තුළ වුවද භික්‍ෂුවකගේ සිවුර ගැලවීමට සිංහල බෞද්ධයකුට ඉඩ දිය යුතු නැත. පන්විල හාතලේ සිද්ධියට සම්බන්ධ අයට කොළ අතු ඇන්දවිය යුතු ය.
 
Related Posts with Thumbnails