Ads 468x60px

.

බිම වැටුණු දෙවන යානයේ තිබුනේ පෙර අතුරුදන්වූ යානයේ සිටි පිරිසගේ මළසිරුරුලු

පිට පිට සිදුවූ ගුවන් අනතුරු වැලක් නිසා මේ වනවිට ගුවන් ගමන් ක්ෂේත්‍රය මහත් භීතියට හා කැළඹීමට පත්ව තිබේ. 

මැ‍ලේසියානු ගුවන් සේවයට අයත් එක් යානයක් අතුරුදන්වී හා තවත් යානයක් ගමන් කළ මගීන් සියල්ලන්ම මරුමුවට පත්කරමින් කඩා වැටීමේ ආන්දෝලනාත්මක සිදුවීම්වල උණුසුම තවමත් තිබියදී පසුගියදා තායිවානයේද ගුවන් අනතුරක් වාර්තා විය.  

හදිසි අවස්ථාවක් ලෙස සලකා බිමට බස්සවන්නට යාමේදී අනතුරට ලක්වූ මේ යානයේ සිටි මගීන් අතරින් මෙම ලිපිය ලියන මෙහොත වන විට පනස් එක්දෙනෙක් මියගොස් තිබේ. ඒ සමගම වාර්තා වූයේ ඇල්ජීරියාවේ ගුවන්යානයක්ද කඩාවැටී ඇති බවය. මේ සමග මතුවන
ගැටලුව වන්නේ ගුවන් සේවාවන්ගේ අනාගතය කෙසේවනු ඇතිද යන්නයි.

මෑත කාලයේදී ගුවන් යානාවක් පිළිබඳව බරපතළම ආන්දෝලනය ඇතිකළේ පසුගිය මාර්තු අටවැනිදා කිසිදු සලකුණක් නොතබා අතුරුදන් වූ මැ‍ලේසියන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානය විසිනි.

මගීන් දෙසිය විසිහතක් සමග අතුරුදන් වූ යානය සෙවීමට මැ‍ලේසියාව සමග රටවල් කිහිපයක් එක්වූ අතර වරින්වර ගුවන්යානා කොටස් හමුවුණද අවසානයේදී ඒ කිසිවක් අතුරුදන් වූ යානයේ නොවන බව කියැවිනි. 

මේ අතුරුදන්වීම සම්බන්ධ විවිධ මත පැතිරෙන අතරේ පසුගියදා තවත් මැ‍ලේසියන් එයාර්ලයින්ස් යානයක් අනතුරට ලක්විය. එම්.එච්. 17 නම් වූ බොයිං වර්ගයට අයත් යානයේ සිටි දෙසිය අනූඅටදෙනාටම මරු කැඳවමින් යුක්රේනයට යානය කඩාවැටුණේ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් වීම ගුවන් අනතුරු මෙන්ම ගුවන් සේවයන්ගේ අනාගතය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්කරන්නක් විය.

මේ යානය කඩා වැටුණේ යුක්රේන බෙදුම්වාදීන් විසින් පාලනය  කරනු ලබන ප්‍රදේශයකටය. යුක්රේනයේ බෙදුම්වාදී අරගලයක් දැන් කලකට පෙර ඇරඹුණු අතර යුක්රේනය රුසියාවට ඈඳාගැනීම රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ගේ අරමුණයි. 

ඔවුන්ට ආයුධ සපයන බවට ව්ලැදිමීර් පුටින්ගේ රජයට චෝදනා එල්ලවෙයි. අනතුර සිදුවූ පසු මේ මිසයිල ප්‍රහාරය යුක්රේන බෙදුම් වාදීන්ගේ පැත්තෙන් එල්ල වූ බවක් කියැවුණූු අතර බෙදුම්වාදීන් කියා සිටියේ මෙය යුක්රේන හමුදාවේ වැඩක් බවය. 

බහුතරයක් වාර්තාවලින් කියැවුණේ අනෙක් පාර්ශ්වයේ යානයක් යැයි සැකකොට බෙදුම්වාදීන් හෝ යුක්රේන හමුදාව මේ මිසයිල ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය. 

පසුගිය මාස කිහිපයේදී බෙදුම්වාදීන් විසින් යුක්රේන හමුදා ගුවන්යානා කිහිපයක් බිම හෙලූ අතර එම්.එච්. 17 යානයට මිසයිල ප්‍රහාරය එල්ල වූ පසුවද තවත් හමුදා ගුවන්යානා දෙකක් බෙදුම්වාදීන් විසින් විනාශ කරන ලදී. 

මෙය රුසියාවේ වැඩක් බව ඇමෙරිකාව කියද්දී රුසියාවද නිකම් සිටියේ නැත. අනතුරට ලක්වූ යානයට සුළු මොහොතකට පෙර එතැනින් බ්‍රික් සමුළුවට ගොස් ආපසු එන පුටින්ගේ යානය ගමන්කළ බවත්, මෙය එම යානය යැයි සිතා වැරදීමකින් එල්ල කළ ප්‍රහාරයක් බවත් රුසියාවේ පැත්තෙන් කියැවිණි. 

වන විටත් ප්‍රහාරයේ වගකීම භාරගන්නට කිසිවෙකුත් ඉදිරිපත් වී නැති අතර දැන් ඇමෙරිකාව කියන්නේ ප්‍රහාරයට කෙළින්ම රුසියාවේ සම්බන්ධයක් නැතත් යුක්රේන බෙදුම්වාදීන් ශක්තිමත් කළේ රුසියාව නිසා මේ මරණවල වගකීම ඔවුන් බාරගත යුතු බවය. 

දින කිහිපයක් බෙදුම්වාදීන් විසින් වළකනු ලැබිම නිසා කිසිවෙකුටත් කිට්ටුවිය නොහැකිව එළිමහනේ තිබූ මළසිරුරු පසුව ඩී.එන්.ඒ. පරීක්ෂාවන් සඳහා නෙදර්ලන්තයට මේ වන විට ගෙනයමින් තිබේ.

මේ අතර රුසියාවේ තදින්ම පැතිරෙන කටකතාවක් විශ්මය දනවන සුළුය. ඉන් කියැවෙන්නේ මේ බිම වැටුණු දෙවන යානයේ සිටියේ එහි ගමන් කළ මගීන් නොව පෙර අතුරුදන්වූ යානයේ සිටි පිරිසගේ මළසිරුරු එහි තිබුණු බවකි. 

ගින්නක් නැතිව දුමක් නොනගින බැවින් මේ විස්මිත “කටකතාව“ දැන් ක්‍රමයෙන් ජාත්‍යන්තරය දක්වා ගමන් කරමින් සිටියි. මෙබඳු කටකතාවක් ඇතිවන්නට හේතුව පැහැදිලි නැතත් මේ ගැනද අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නන්ගේ අවධානය යොමුවී තිබේ. 

ෆ්ලයිට් එම්.එච්. 370 - ද මිස්ට්‍රි යනුවෙන් නම් කරනු ලැබ මෑතකදී නිකුත්වූ ප්‍රකාශනයකින් කියන්නේ අතුරුදන් වූ ගුවන්යානයටද අත්වූයේ දෙවන ගුවන්යානයේ ඉරණමම වුවද එයට එල්ලවී ඇත්තේ පුහුණුවීමක යෙදෙමින් සිටි තායිලන්ත හා ඇමෙරිකානු යුද ගුවන්යානාවන්ගෙන් ප්‍රහාරයක් බවය. 

කෙසේ වුවද මේ සියලු අනුමාන කිරීම්වලට විරෝධය දක්වන ගුවන් යානා දෙකෙහිම මගීන්ගේ නෑ හිතවතුන් ඉල්ලා සිටින්නේ මළවුන්ට අපහාස නොකරන ලෙසයි.

මේ වන විට දකුණු ඉන්දීය සාගරයේ හතරැස් කිලෝ මීටර් හයදහසක භූමි ප්‍රමාණයක අතුරුදන් වූ මැ‍ලේසියානු ගුවන්යානය සොයා අවසන්ය. දැන් මෙහි කොටස් හමුවන්නේ නම් ඒ මුහුදු පතුලෙනි. ගොඩට ආ කොටස් වැසි, කුණාටු අතරේ බොහෝදුර ගසාගෙන ගොස් ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. 

පළමු ගුවන්යානය ඉබේ ක්‍රියාකරවන (ඔටෝ පයිලට් මෝඩ්) තත්ත්වයට පත්වූ පසු බිම වැටී සුණුවිසුණුවන්නට ඇති බවත්, එහි කිසිවෙකුත් ජීවතුන් අතර සිටින්නට ඉඩ නැති බවත් ඔවුන්ගේ අදහසයි. 

ගුවන් යානයේ සෙවීම් කටයුතු නැවත ලබන අගෝස්තු මාසයේදී ඇරඹීමට නියමිතය. මැ‍ලේසියානු ගුවන් සේවයේ අනාගතය බරපතළ අර්බුදයකට ලක්කරමින් සිදුවූ මේ අනතුරු දෙක විමසන විචාරකයින් කියන්නේ කැරලිකරුවන්ගේ හා හමුදාවල මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශවන අවධානමකට ගුවන්යානා පත්වන්නේ නම් වර්තමානයේදී නැතිවම බැරි ගුවන් සේවයන්ගේ අනාගතය කුමක් වනු ඇතිද යනුවෙනි.

සියලු දේපළ නෑයින්ට ලියා තබා අතීතයේදී වන්දනාවේ ගියාක් මෙන් අසල්වැසි රටකට හෝ ගුවනින් යන විට ජීවිත ආසාව අතහැර යන්නට මගීන්ට සිදුවනු ඇත.

අප මෙහිදී මුලින් සඳහන් කළ තායිවානයේ ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය අනතුරට ලක්වන්නට හේතුව පසුගිය දිනවල තායිවානයට බලපෑ මැට්මෝ සුළි කුණාටුව බව වාර්තා වෙයි. ගුවන් යානය හදිසියේ බිමට බස්සවන්නට හේතුවී ඇත්තේද අයහපත් කාලගුණයයි. 

ජී.ඊ. 222 දරන මේ ගුවන්යානය අනතුරට ලක්වන විට එහි මගීන් පනස්අටදෙනෙකු ගමන් කරමින් සිටි අතර අයහපත් කාලගුණය නිසා තායිවානයේ පෙන්ගු දූපතේ මගොන්ග් ගුවන්තොටු‍පොළට හදිසියේ බස්සවන්නට ගිය ගුවන්යානය ඉලක්කය වැරදී අසල නිවෙස් කිහිපයක් මතට ඇද වැටී තිබේ. 

යානයේ ගමන් කළ පිරිස අතරින් සිව්දෙනෙක් කාර්ය මණ්ඩලයට අයත්වූ අතර තුවාල වී රෝහල් ගත කළ පිරිස දොළොස්දෙනකු බව වාර්තා විය. ගුවන්යානය බිම වැටී ඇත්තේ කුණාටුව හා විදුලි කෙටීම් අතරේ බව ඇසින් දුටුවෝ පවසති.

මේ අතර මෙම ලිපිය අවසන් කරන්නට සැරසෙන මොහොතේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ එයාර් ඇල්ජීරී නම්වූ ඇල්ජීරියාවේ ජාතික ගුවන් සේවයට අයත් ගුවන්යානයක් සමග ප්‍රධාන පාලක මැදිරියේ සම්බන්ධතාවය බිඳී ගොස් ඇති බවය. 

පසුව වාර්තා වූයේ මේ යානය මාලි රාජ්‍යයට කඩාවැටී ඇති බවයි. යානය ගුවන්ගත කොට විනාඩි පනහක පමණ කාලයකින් මෙම සබඳතාවය බිඳී ගොස් ඇති අතර බුර්කිනා පාසෝ සිට ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් වෙත පියාසර කරමින් තිබූ යානයේ ගමන් කළ මගීන් 110ක් හා කාර්ය මණ්ඩලයේ 6 දෙනා මියගොස් ඇති බව පසුව සනාථ කෙරිණි.

මෙම ගුවන් යානය ස්පාඤ්ඤයේ පුද්ගලික ගුවන්යානා සේවයක් වන ස්විෆ්ට් එයාර් මගින් ඇල්ජරී ගුවන් සේවය කුලියට ගෙන තිබූ යානයකි.
යානය අතුරුදන් වී සුළු වේලාවකින් එය සෙවීම සඳහා විශේෂ ජෙට් යානා 2 ක් එය අතුරුදන් වූ සහරා කාන්තාර ප්‍රදේශයට පිටත් කර යැවිණි.

පසුව යානයේ සුන්බුන් සොයාගනු ලැබූ අතර එය අනතුරට පත්ව ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් බව ප්‍රකාශ විය. ඒ අතරම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ තවත් කාරණයක් වූයේ යානය කඩා වැටුණු ප්‍රදේශය අල්කයිඩා කැරලිකරුවන් ක්‍රියාත්මක වන ප්‍රදේශයක් බවයි. එමනිසා මෙම අනතුරට අල්කයිඩා ප්‍රහාරයක් හේතුවූවාද යන සැකයද බැහැර නොකරන බවත් දිස්විය.
 
Related Posts with Thumbnails