Ads 468x60px

.

නවකවදය මේ අවසානය නොවේ

පේරාදේණිය විශ්ව විද්‍යාලයයේ ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවකු වූ සෙල්ව විනයාගර් වරප්‍රකාශ් නවක වද සිද්ධියක දී පැහැරගෙන ගොස් මරා දැමූ බාලචඳ්‍රන් ප්‍රසාද් සදීශ්කරන්ට මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු මනි ලාල් වෛද්‍යතිලක මහතා (04 වැනිදා) මරණ දඩුවම නියම  කොට තිබේ. 

දඬුවම් නියමවූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන් රටින් පළාගොස්  මේ වන විට කැනඩාවේ  වාසය කරයි. මේ නිසා නීතිය ඉටුවීම ගැන කුකුසක් තිබේ. වරප්‍රකාශ් ,රූපා රත්නසීලී, දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්ත මේ අයගේ මරණයන්ට වග කිවයුත්තෝ කවුරුද​? 

මොවුන්ව මරණය දක්වා ඇදගෙන ගිය ගහලයන් මෙන්ම ගහලයන්ට නිදහසේ මිනී මැරීමට අවකාශය ලබා දුන් විශ්වවිද්‍යාල බලධාරින් මේ
සඳහා වග උත්තරකරුවෝ නොවේද​?

මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. 


සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිති වාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. 

ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. 

ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. 


මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. 

නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි. එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත් වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. 

ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. 

එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.

ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1500 අතර නැත. මේ නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධිවල අන්තර් ජාතික වටිනාකම දැන් තඹයකට නොවටී. ඉදිරියේදී මෙම තත්වය තවත් දරුණු විය හැක. 


අවසානයේදී පිළිගත් උසස් අධ්‍යාපන ආයතන නොමැති නුගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වීමට ඉඩ තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල පසුගාමී තත්වය සිසුන් සහ බලධාරීන් අවබෝධ කරගෙන ලංකාවේ විශ්ව විද්යාල වල ගුණාත්මක භාවය ඔසවාලීමට ක්‍රියා කල යුතුය.

ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය ඉහල දැමීමට මුලින්ම විශ්ව විද්‍යාල තුල මානව අයිතිවාසිකම් ස්ථාපිත කල යුතුය. නමුත් මානව අයිතිවාසිකම් යනු අධිරාජ්යවාදී කුමන්ත්‍රණ , එන්.ජී.ඕ ඩොලර් කථා , ලෝක බැංකු , බටහිර කුමන්ත්‍රණ ලෙස විශ්වාස කරන පසුගාමී ශ්‍රී ලාංකික සමාජය විශ්ව විද්‍යාල පද්දතිය තුල මානව අයිතිවාසිකම් ඇති කිරීම ගැන සැලකිලිමත් නොවීම ස්වභාවිකය.

මානව සාරාර්ථ වලට සලකන උසස් චින්තනයක්, සංස්කෘතියක්, සහ උසස් සදාචාර පද්දතියක් ඇති රටවල විශ්ව විද්‍යාල යනු ශුද්ධ වස්තුවකි. එය පාර්ලිමේන්තුවට වඩා උත්තරීතරය. එවැනි ඉදිරිගාමී සමාජයක විශ්ව විද්‍යාල යනු නිදහස් චින්තනයේ , සමාජ දියුණුවේ මාර්ගෝපදේශකයාය.


එවැනි විශ්ව විද්‍යාල වලින් රටට වැඩදායක , ඉදිරි ගමනට සහය දෙන පුරවැසියන් බිහි කරති. නමුත් අපගේ විශ්වවිද්යාල වැඩිපුර බිහි කරන්නේ සිසු මැරයන්, අසහනය සහ හීනමානයෙන් සපිරි පර පිඩක වධකයන් , නිර්මාණශීලි චින්තනයක් නැති ගොලුබෙලිකටුවල ඔලුව සඟවාගන්නා නාමික උගතුන් සහ තමන්ගේ මඩිය පුරවා ගැනීමට මාන බලන ආත්මර්ථකාමින්ය. 

එම නිසා අපගේ විශ්වවිද්‍යාල වලට නිසි නායකත්වයක් දිය හැකි උගතෙකු ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සොයන්නාක් වැනි වැඩකි.

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. 


ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. 

මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. 


මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. (මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) 

නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි.

මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. 

මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. 


මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. 

දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. 

මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදු වීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. 

ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්වවිද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. 

මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. වැඩි දුරටත් කරුණු දැක්වූ ඔහු 2004 වසරේදී කොළඹ වෛද්ය පීඨයේ නවක වද සමයේදී නවකයන්ට මතක ශක්තිය වැඩි කිරීමට කියමින් ජේෂ්ඨ සිසුවෙකු විසින් හස්ත ක්‍රමයෙන් මෝචනය කරන ලද ශුක්‍රානු කහට තේ වලට දමා බීමට බළ කල බව හෙළි කරයි. 

මෙම ශුක්‍රානු මුසු කහට තේ සිසුවියන් අප්‍රසාදයෙන් බොන විට ඔවුන් නවක වදයට ලක් කල ජේෂ්ඨ සිසුන් කොක් හඬ නගමින් සිනාසී තිබේ.  ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි.

උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. 


සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. 

නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. 

ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. 

නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. 

එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

 - ඩී. සුගත් රාජපක්ෂ
 
Related Posts with Thumbnails