Ads 468x60px

.

තෙල් නළ දෙකක්‌ පුපුරා යැමෙන් රටට සිදුවී ඇති ඉමහත් පාඩුව...

ඛනිජ තෙල් සංස්‌ථාවට තෙල් ගෙන යන මහ සාගරයේ පිහිටි තෙල් නළ දෙකක්‌ පුපුරා යැමෙන් ඉමහත් පාඩුවක්‌ රටට සිදු වී තිබේ. මේවා සිය ගණනින් නොව දහස්‌ ගණනිනුත් නොව ලක්‍ෂ ගණනිනුත් නොව කෝටි ගණනින් සිදුවන පාඩුය. 

තෙල් ටොන් 90000 ක්‌ රැගෙන මෙහි පැමිණි නැවක්‌ ඒවා බාගත නොහැකිව බලා සිටින නිසා දැනටමත් රුපියල් කෝටි 25 ක ප්‍රමාද ගාස්‌තුවක්‌ එකතු වී ඇත. 

රටක්‌ වශයෙන් ගත් කල පාන් රාත්තලක්‌ පවා මිලට ගන්නට බැරිව "හදිසි උද්ධමනකාරී අනාථකාරී ප්‍රපංචයකට" (මේ වචනවලට නියම තේරුම් දෙන්නට උත්සාහ කරන්නට එපා·) ඉතා දුකින් සිටින අපට
රුපියල් කෝටි 25 ක්‌ යනු, ගෙවීම කෙසේ වෙතත් ඉලක්‌කමක්‌ ලියන විට පවා දරා ගන්නට බැරි ගණනකි. 

එහෙත් ණය වුණත්, පාඩු වුණත් ඕනැම දෙයක්‌ ලොකුම මට්‌ටමෙන් කිරීමේ අවශ්‍යතාවක්‌ අපට එදත් තිබුණේය අදත් තිබෙන්නේය හෙටත් තිබෙනවා ඇත. ආසියාවේ ලොකුම දේ කිරීමේ අවශ්‍යතාව අපට පසුගිය කාලයේ තිබූ අතර අද වන විට එය ලෝකයේ ලොකුම දේ දක්‌වා පුළුල් වී තිබේ. 

උදාහරණයක්‌ වශයෙන් ලංකාවේ ලොකුම කුකුළු හොරකම පසුගියදා ශ්‍රී ලංකාවේදී සිදුවිය. පොලු අරගෙන ෆාම් එකකට කඩා වැදුණු හොරු රැළක්‌ එහි අයිතිකරුවන්ට පහර දී කුකුළන් 2000 ක්‌ පමණ කොල්ලකාගෙන පැන ගියහ. 

මෙය ලෝක මට්‌ටම තෙක්‌ ව්‍යාප්ත කළ හැකිය. වැඩිම බරක්‌ කර තබාගෙන දුවන්නට හැකි කුඩුකාරයන් සිටින රට ශ්‍රී ලංකාව බව ඔබ දන්නේද? ක්‌රේන් එකකින් එසවිය යුතු යකඩ කඳක්‌ අත් දෙකෙන් ඔසවා කර තබාගෙන ඔවුන්ට දිවිය හැකිය. 

එහෙත් එසේ දිව යැමේදී අවසානයට ලැබෙන ඵලය කුඩු නොවේ නම් ඔවුන්ට පාන් රාත්තලක්‌ ඔසවාගෙන යන්නටවත් පන නැත.

යටත් විජිත සමයේදී ලංකාවේ තෙල් අවශ්‍යතාව පොල් තෙල්, තල තෙල්, අබ තෙල්, මී තෙල්, පැඟිරි තෙල්, එළඟිතෙල්, එඬරු තෙල් (මෙය බඩ බුරුල් කිරීමට ඉතා යෝග්‍ය තෛලයකි.) යනාදියෙන් නැවැතිණ.


එහෙත් 1875 න් පසු අපට දැනෙන්නට පටන්ගත් ඛනිජ තෙල් අවශ්‍යතාව අද වන විට ඉතා දරුණුවට ඉහළ ගොස්‌ ඇත. නූතන ශ්‍රී ලංකාව යනු රටට දරා ගැනීමට බැරි තරම් සංවර්ධන යෝජනාක්‍රම රාශියකට මැදිවූ රටකි.

හැම ආණ්‌ඩුවක්‌ම ඊළඟ ඡන්දය පිණිස කුමක්‌ හෝ සංවර්ධන වැඩ පිළිවෙලක්‌ පටන් ගන්නා අතර අද වන විට මේ රට ඛනිජ තෙල් පරිහරණය කරන රටක්‌ නොව තෙල් බොන රටක්‌ බවට පත්ව ඇත.

තෙල් වගේම තෙල් හෑරීම පිළිබඳ ඉතිහාසයක්‌ද අපට තිබේ. 1967-68 කාලයේදී ජෙනරල් ජියෝසික්‌ කම්පනි නමැති ආයතනයක්‌ ලංකාවට පැමිණ අපේ වෙරළේ සිට සැතපුම් 75 ක්‌ ඈත තිබෙන සාගර පත්ලේ ඛනිජ තෙල් ඇති බව කියා යන්නට ගියේය. 

1970 දී මෙහි ආ සෝවියට්‌ විශේෂඥ කණ්‌ඩායමක්‌ ඉන්දියන් සාගරය පුරා පිහිනා ගොස්‌ ලංකාවට අයත් තෙල් යෑයි කියමින් බොරපාට තෙල් බෝතල් කාලක්‌ පමණ රටට පෙන්නුවේය. මේවා හෑරුවේ මන්නාරමේ පේසාලෙන් යෑයි කියනු ලැබේ. 

එසේම මෙය සිරිමාවෝ බණ්‌ඩාරනායක නමැති අහිංසක දේශපාලන මාතාව රැවටීමට කළ වංචාවක්‌ බවද කියනු ලැබේ. යාපනේට ඉහළින්, ඉන්දියාවට කිට්‌ටු වන්නට තිබෙන කාවේරි ෙද්‍රdaනිය නමැති ලංකාවට අයත් සාගර පත්ලේ තෙල් තිබෙන බව පෙක්‌සමින් පැසෆික්‌ සමාගම 1975 දී කීවේය. 

මේ අනුව පෙනී යන්නේ ලංකාවේ හැම තැනම තෙල් ඇති බවය. එකම ප්‍රශ්නය, ඒවා ගොඩගන්නට බැරි වීම ය. 1984 දී µSනික්‌ස්‌ කැනේඩියන් තෙල් සමාගමත් මෙහි පැමිණ තෙල් තිබෙන බව කීවේය. 2002, 2007 යන අවුරුදුවලත් මෙයම සිදු විය. 

ලංකාවේ තෙල් කතාව, හඳපානාගල යකඩ නිධිය හා සමාන කතන්දර යකි. හඳපානාගල යකඩ තිබේ. හැබැයි ඒ සඳහා කිලෝමීටර් 2 ක්‌ යටට හෑරිය යුතුය. එය අපායේ වහලයට ඔන්න මෙන්න කියා ඇති දුරකි. 

තව ටිකක්‌ හෑරුවොත් අපායේ වහලට ඩැමේඡ් වීමට ඉඩ ඇති නිසාත් යකඩ හෑරීමට යන මිල නිධියේ ඇති යකඩ මෙන් තිස්‌ හතළිස්‌ ගුණයක්‌ නිසාත් මෙය ප්‍රායෝගික නැත.

කෙසේ වුවද දැනට අප මුහුණපා ඇති අර්බුදයට එනම් වරායේ තෙල් නැව් හිරවී තිබීමට නිලධාරීන්ගේ අමනකම බලපා තිබේ. පුපුරා ඇති තෙල් බට දෙකට අවුරුදු තුනහමාරක ගැරන්ටියක්‌ ඇතත් එය පුපුරා ඇත්තේ සවිකර මාස තුනකදීය. 


ඒ අතර තෙල් නැව පිටරටින් පිටත්වුවද එය නවත්වාගන්නට නිලධාරීන්ට ඕනෑකමක්‌ තිබී නැත. මේ නිසා අපට තෙල්, භූමිතෙල් කිසිත් නැත. විදුලි බල උත්පාදනාගාර දුවන්නේ දැවි තෙල් වලිනි. 

මේ තත්ත්වය දිගටම මෙහෙම නම් මුලින්ම බැරි වන්නේ රෑට ලයිට්‌ පත්තු කිරීමටය. දෙවනුව වාහන නවතිනවා ඇත. තෙවනුව රටම නවතිනවා ඇත.
 
Related Posts with Thumbnails