Ads 468x60px

.

කොත්තමල්ලි ගීතය නිර්මාණය වුණේ ලංකාවට කොත්තමල්ලි ගේන පියල්ගේ යාළුවෙක් හින්දා

වසර ගණනාවකට පසුවයි ජිප්සීස් කණ්ඩායමේ ගීතයක් නිර්මාණය වුණේ එය අහම්බයක් වගේයි ?

හරියටම වසර දහයකට පස්සේ. ඔව්, එක්තරා විදිහක අහම්බයක්

මොකද්ද මේ ‘කොත්තමල්ලි’ සහ ඔබ අතර තියෙන සම්බන්ධය ?

කිසිම සම්බන්ධයක් නැහැ. පියල්ගේ යාළුවෙක් ඉන්නවා අමල් කියලා. ඔහු තමයි ලංකාවට කොත්තමල්ලි ගේන්නේ. ඔහුගේ උපන් දිනයට සින්දුවක් කරන්න කියල පියල්ට කියලා තිබුණා. ඉතින් අපි ඔහුගේ
උපන් දින සාදය දා නිකන් සින්දුවක් හදාගෙන කිව්වා. 

නමුත් ඒ වෙලාවේ මේ ගීතය හොඳයි කියලා හිතුණු නිසා අපි මේ ගීතය කරන්න තීරණය කළා. අමල් ඔහුගේ බර්ත් ඩේ එකට ඉන්වයිට් නොකළා නම් මෙවැනි සින්දුවක් කෙරෙන්නෙත් නෑ. සින්දුවක් කරන්න ඕනේ කියලා අදහසක් අපිටත් තිබුණේ නෑ.

මේ ගීතයට යොදා ගත් රූප රාමු මේ දිනවල ගොඩක් කතාබහට ලක්වී තිබෙනවා ?

කතාබහට ලක් වෙනවාය කියන්නේ මිනිස්සු බලනවා කියන එකනේ... ඒකට බනිනවා නම් එත් හොඳයි. යම් කිසි අවධානයක් තියෙන නිසයි කතා බහට ලක් වෙන්නේ.

‘සුනිල් පෙරේරා‘ කියන චරිතය පිළිබඳ විවිධාකාර වූ අර්ථකථන තිබෙනවා. ඔබ පිළිබඳ ඔබේ අර්ථකථනය ඉදිරිපත් කරන්න පුළුවන්ද?

මම මාව අර්ථකථනය කිරීම් බොහොම අසීරු කාර්යයක්. පොඩි කාලේ ඉඳන්ම හැදුණේ වැඩුණේ විනෝදශීලි පසුබිමකයි. සංගීත දිවියට එනකොටත් එවැනි උපහාසාත්මක දේවල් කිරීමටයි ඕන වුණේ. උපහාසාත්මක දේවල් යනු සමාජයේ තියෙන දේවල් දැකලා උපහාසාත්මක විදිහට ඉදිරිපත් කිරීමයි.

ඔබ විවෘතව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් යැයි ප්‍රකාශ කළොත් නිවැරදිද?

මට හැඟෙන දේවල් තමයි මම ගීතයකින් වුණත් නිර්මාණය කරන්නේ. ඒ වගේම මට හැඟෙන දේ මම හැමතිස්සෙම කියනවා. ගොඩක් වෙලාවට ඒ නිසා ලකුණු කැපෙන අවස්ථා තියෙනවා.

එසේ තැන නොතැන බලා කතා කිරීමෙන් ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් ගෙන දුන් අවස්ථා තියෙනවද?

මේ රටේ එදා සිටම මම දැක්කේ බොහොම කුහක සමාජයක් විදිහටයි. හැම තැනින්ම බොරුව තමයි හැම වෙලේම පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ. නමුත් තව කෙනෙකුට එය බොරුවක් සේ නොපෙනෙන්න පුළුවන්. දැන් බලන්න අපේකම කියාගෙන කරන්නෙම හොර මැරකම් සහ හොර ජාවාරම් කිරීම නේ. ඉදිරියේදි ‘මගඩි රජා‘ කියලා ගීතයක් එළි දක්වනවා ඉන් කියැවෙන්නේ මෙන්න මේ හොර ජාවාරම් ගැනයි.

‘ජිප්සීස්‘බිහි වුණු කාලයේ සිට අද දක්වා සංස්කෘතිය සහ සංගීතය විනාශ කළා යැයි සමහරු චෝදනා කරනවා ?

ඔව් එහෙම කියනවා. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ල කිව යුතුයි, මම ඔය සංස්කෘතිය කියන වචනේ තේරුම දන්නේ නැහැ. මොකද්ද අපේ සංස්කෘතිය කියන්නේ? විනාශ වෙලා තියෙනවනම් අපේ මොන ගීතයෙන්ද විනාශ වෙලා තියෙන්නේ? 

ඒවටත් ඔය චෝදනා කරන පිරිස පිළිතුරු දිය යුතුයි. මට පෙන්නලා දුන්නොත් හේතු සාධක සමහර විට පිළිගන්න පුළුවන්. එහෙම නැතුව මට පැහැදිලි අවබෝධයක් නැහැ. සමහර විට ඔය චෝදනාවේ ඇත්තකුත් ඇති. හැබැයි කෙනෙකුට චෝදනා කර කර ඉන්නවට වැඩිය නරකද තමා හොඳ දෙයක් කරන එක?

ලංකාවේ සමහර ප්‍රබුද්ධ කලා කරුවන් මුදල් නොගෙන වේදිකාවට ගොඩ නොවන සහ නිර්මාණ මංකොල්ලය වෙනුවෙන් සටන් වදින අවධියක ඔබ පමණක් ඔබේ ගීත නොමිලේ හෝ ඉතා අඩු මුදලට ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ මේ ගීත තව පරපුරකට යා යුතුයි කියන දේ. අපි විතරක් මේක තියාගෙන හිටියා කියලා තව පරපුරකට යන්නේ නැහැ. හැබැයි කිසි අවසරයක් නැතිව කරන එකට මම විරුද්ධයි. ඇවිල්ල අවශ්‍යතාව කියලා ඉතා සුළු මුදලකට ගීතය අර ගෙන කැමැති දෙයක් කරන්න පුළුවන්. 

දැන් ඉන්න ගායන හැකියාවන් තිබෙන ළමයින්ට ලොකු වියදමක් දරලා ගන්න විදිහක් නැහැ. පිට රටවල ‘ජින්ගල් බෙල්‘, බීට්ල්ස්ලගේ ගීත ගත්තොත් කොච්චර පිරිසක් ඒ ගීත ගායනා කරනවාද?

හැබැයි ඒ රටවල නීත්‍යනුකුලව ලස්සනට ඒ ක්‍රම වේදය සැකසිලා තියෙනවා. නමුත් අපේ රටේ එහෙම පද්ධතියක් සැකසිලා නැහැ වගේම ගායකයො වැඩි කොටසක් තමන්ගේ දෙයක් කවදාවත් දෙන්න කැමැතිත් නැහැ. තවත් කෙනෙක් ගීතයක් ගත්තහම ඒ මුදලෙන් කොටසක් ගීත රචකයාට නැවතත් ලැබෙනවා. 

ඕක කාටවත් නොදී තියා ගත්තහම ඔහුට ආයෙත් සතයක්වත් ලැබෙන්නේ නැහැනේ. මගේ ගීත මම ඕනෑම කෙනෙකුට ලබා දෙනවා.

ගන්න කෙනාට හැකියාවක් තියෙනවද නැද්ද කියලා අපට බලන්න යන්න බැහැ. එයා ඒ ගීතය අරගෙන සාර්ථකව ඒ ගීතය ප්‍රති නිර්මාණය කළා නම් හරි. ඒ ගීතය හරි නැත්නම් හරි නැහැ. එච්චරයි. මගේ ගීතයක් තවත් කෙනෙක් ගායනා කරන තරම් සතුටක් මට තවත් නැහැ.

ඔබේ සමහර නිර්මාණ නිසා නොයෙක් පහර කෑම් වලට ලක් වු අවස්ථා තිබෙනවා. එසේ වන්නේ මෙරට බහුතරයක් පිරිස විවේචනය නුරුස්සනා නිසාද?

තවමත් ඒ නුරුස්නා ගතිය මේ රටේ මිනිස්සුන් තුළ තිබෙනවා. දේශ පාලන මට්ටමින් තමයි විශේෂයෙන් ඒ දේවල් ඇති කරලා තියෙන්නේ. වෙන රටවල් වල වගේ සම්පුර්ණ නිදහසක් අපේ රටේ නැහැ. ලෝකයේ දියුණු වුණු රටවල් එකකවත් ආගම මුලික කර ගන්තේ නැහැ. 

අපේ රටේ මේ හැමදේම උදා කරලා තියෙන්නේ පංගුවක් මෝඩ මිනිස්සු. කාටත් පොදු නීති පද්ධතියක් තියෙනවනම් ආගම ඉබේම සැකසෙනවා. එවැනි දේවල් නැති කොට ඒ රටවල් පිරිහෙනවා.

‘ඔබ දුටු ඒ මුල් දිනේ..‘ වැනි ළයාන්විත ආදර ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබු ඔබ බයිලා වැනි විනෝදකාමී සරල සංගීතයකට පුරුදු වුණේ ඇයි ?

මම ඒ ගීතය ගායනා කළේ හැත්තෑ ගණන්වල බොහොම තරුණ කාලේ. නමුත් ඒ කාලේ ඒ ගීතය කිව්වා කියලා ඉන් මට ලැබුණු දෙයක් නැහැ. ඔන්න දැන් නම් ඒ ගීතයට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. 

තරුණ කාලයේදී එවැනි ගීතයක් නිර්මාණය කළේ කෙල්ලෝ කැමැති වෙයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් මට නම් කිසිම කෙල්ලෙක් කැමැති වුණේත් නැහැ ගොඩ නගා ගත්තු අනන්‍යතාවකුත් නැහැ. කෙල්ලන්ගේ ආකර්ෂණය මට තරුණ කාලයේදී තිබුණෙත් නැහැ. දැනුත් නැහැ.

‘ප්‍රේමය‘ තාරුණ්‍ය වඩාත් ප්‍රිය කරන මාතෘකාවක්. අද පවතින ප්‍රේම ගීත වලට වඩා පැරැණි ප්‍රේම ගීත වලට තාමත් අපේ තාරුණ්‍යය ප්‍රිය කරනවා. එසේ නම් සැබෑ තාරුණ්‍යය රඳා ඇත්තේ කවර නිර්මාණ තුළද?

ඔය දෙපිරිසටම යම් කිසි කොටසක් ඉන්නවා. කිසි කෙනෙකුට සම්පුර්ණ මාර්කට් ෂෙයාර් එකක් ගන්න බෑ. මම නම් හරි ආසයි ආදර ගීත වලට මෑත කාලයේ බිහි වුණු රුවන් හෙට්ටිආරච්ච් ගේ ‘සීත මාරුතේ’ කොතරම් අපුරුද? 

නමුත් මගේ අනන්‍යතාව එතැන නෙමෙයි. මම ඒක දැනගන්න එපැයි මගේ තියෙන්නේ උපාහාසාත්මක දේවල්. ශිහාන් මිහිරංග ආදර ගීතයක් කිව්වා කියලා මට කියන්න බෑනේ. මගේ වයසට දැන් ගැළපෙන්නෙත් නෑ.

රියැලිටි තරු හා නූතන සංගීත ක්ෂේත්‍රය පිළිබඳ ඔබ ඉන්නේ කුමන රාමුවකද?

මම රාමුවක් දන්නේ නැහැ. රියැලිටි දේවල් හුඟක් හොඳයි. පුදුම දක්ෂතා තියෙන තරුණ ළමයි අපට හමු වෙනවා. මේ තරුණ පරපුර එක්ක මට සින්දු කියන්න බෑ. දක්ෂතා තියෙන ළමයින්ට මෙවැනි වැඩසටහන් වලින් ලැබෙන්නේ කදිම අවස්ථාවක්. 

හැකියාව තිබුණට අවස්ථාවක් ලැබුණේ නැත්නම් ඒ තුළින් තම අනන්‍යතාව ගොඩ නගා ගන්න බැරිව ඒ අය අසරණ වෙනවා. දැන් අර එම් .ජී .ධනුෂ්ක බලන්න. ඔහු ඉතාමත් දක්ෂයි. හැබැයි බොහොම දුප්පත් ළමයෙක්. ඉතින් මෙවැනි වැඩසටහන් නැත්නම් ඔහුගේ හැකියාව රටට පෙන්වන්න ලැබෙන්නේ නැහැ. 

මේ වැඩසටහන් නොතිබුණොත් කවුරුත් එවැනි ළමයින්ට කිසිම අවස්ථාවක් දෙනවාද? නැහැ නේ. හැබැයි කොච්චර දක්ෂ වුණත් වාසනාවකුත් තියෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ වාසනාව. දැන් මට නම් ඔය තරම් හැකියාවක් ඇත්තෙම නැහැ. හැබැයි වාසනාව තිබුණා.

ඔබේ පුතාගේ හැකියාව ගැන ඔබේ දැක්ම දැන ගන්න කැමැතියි ?

ඔහු කරන දේවල් අනෙක් තරුණ ළමයි කරන දේවල් වලට වැඩිය වෙනස්. ඔහුට හැකියාව තියෙනවා. මම ඔහුට කියන්නේ ඔහුගේ ඒ හැකියාව එළි දක්වන්නත් වාසනාවක් තියෙන්න ඕනේ කියලා. වාසනාව කියන්නේ පින. පින තිබුණොත් ලැබෙයි. නැත්නම් කොච්චර දක්ෂයෙක් වුණත් වාසනා ගුණය නැත්නම් ලැබෙන්නේ නැහැ.

‘කලාකරුවෝ කඩේ යනවා’ යැයි ප්‍රකාශ කළ ඔබත් කලක් එක්තරා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කළා නේද?

කිසිම දවසක කිසිම තනතුරක් අර ගත්තේ නැහැ. තනතුරු මට ලැබිලත් නැහැ. 1991න් පස්සේ කිසිම දේශපාලන වේදිකාවකට මම නැගල නැහැ. ඊට කලින් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ගම් උදාව වැඩසටහනකට සින්දුවක් හදල ඉල්ලුවාහම මම හදලා දුන්නා. 

දැන් තියෙන රජයෙන් පවා මගෙන් මොනවා හරි නිර්මාණයක් ඉල්ලුවොත් මම එය කරලා දෙනවා. ඒ හැරුණු විට දේශපාලන සබඳකම් කිසිම කෙනෙක් එක්ක කවදාවත් තිබුණේ නැහැ. කඩේ යන කලා කරුවොනුත් වරදක් කරනවා යයි මම දකින්නේ නැහැ. 

ඔවුන් සමහර විට අසරණයි. පංගුවක් අය නම් අසරණ නැහැ. ඒ අය අසරණ තත්ත්වයට වැටිලා තියෙන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු නිසා. ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වයට වැඩිය ඉහළ තැනකට යන්න තියෙන කැමැත්ත.

ඉතින් එය මුදුන්පත් කර ගන්න පුළුවන් බලය තියෙන තැනකට හේත්තු වුණහම. එයත් යම්කිසි අසරණබාවයක්. මම කලාකරුවෙක් විදිහට අසරණ වෙන්න කැමැති නැහැ. හැබැයි තවත් කලාකරුවන් පිරිසක් ඉන්නවා කොච්චර අසරණ වුණත් කිසිම පක්ෂයකට බැඳිලා කටයුතු කරන්නේ නැති. අන්න එයාලවයි මම අගය කරන්නේ. 

මිනිසාගේ තියෙන දුර්වලතාව තමයි හැම වෙලේම ඉන්න තැනට වඩා ඉහළ තත්ත්වයකට තියෙන කැමැත්ත. ස්ව උත්සාහයෙන් ඉහළට යාම අගය කළ යුතුයි. නමුත් උසස් වෙන්න කිසිම දෙයකට පක්ෂපාති විය යුතු නැහැ. මම මගේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගෙන තියනවා. 

ඉතින් මට දැන් තියෙන ආදායමෙන් සියලු වැඩ කටයුතු කරගෙන කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් මමත් එහෙම ශක්තිමත් පුද්ගලයෙක් කියල කියන්න බැහැනේ. මට යැපෙන්න ක්‍රම වේදයක් තියෙන නිසා මම ඉන්නවා. එහෙම නොවුණා නම් කවුද දන්නේ මමත් අසරණ වෙලා එක එක් කෙනා පස්සේ යයිද කියලා. 

කිසිම ක්‍රමවේදයක් නැති වුණත් කාටවත් අතපාන්නේ නැතිව ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ හිත හරිම ශක්තිමත්. ධෛර්යවන්තයි. එවැනි අය ගරු බුහුමන් ලැබිය යුතු නියම ශක්තිමත් කලා කරුවන්.

ඔබ ආගම දහම, ජ්‍යෝතිෂය සහ නැකත් ශාස්ත්‍රයට කෙතරම් නැඹුරුවක් දක්වනවද?

කිසිම ආගමකට මගේ නැඹුරුවක් නැහැ. ළමයින්ට පවා මම කියල තියෙන්නේ හැම ජාතියක්ම හොඳයි. අපි කිසිම ජාතියකට ආගමකට කොටු වෙලා කුලල් කා ගන්න උවමනාවක් නැහැයි කියලයි. මගේ බිරිය බෞද්ධ නිසා ගෙදර මම බුද්ධ ප්‍රතිමාවක් තියලා තියෙනවා. 

ජේසුස් වහන්සේගේ සුරුවමකුත් ළඟින්ම තියෙනවා. ලොකු ලේලි මුස්ලිම් නිසා ඈ වෙනුවෙන් ඒ දහමට සම්බන්ධ කුරාන් පාඨයක් තියෙනවා. මම අදහන්නේ නැති වුණාට මෙහෙම එකට තියෙන කොට හරිම ලස්සනයි. අඩුවකට තියෙන්නේ හින්දු දේව ප්‍රතිමාවක් පමණයි.

ඉතින් මම කැමැතියි මගේ පොඩි දුව දෙමළ හින්දු භක්තිකයෙක් සමග විවාහ වෙනවා නම්.. එවිට සියලු ජාතීන්ගෙන් සහ ආගම් වලින් අපේ නිවෙස සම්පුර්ණයි. ඒ අරුණහම ජ්‍යෝතිෂය, වාස්තු සහ නැකත් වැනි කිසිම දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ. බුදුන් වහන්සේ ඒවා විශ්වාස නොකළා නම් මොකටද මම විශ්වාස කරන්නේ ?

මිනිසාට ශක්තියක් දුන්නොත් අනෙක් මිනිසාට ඉන් ශක්තියක් ලැබෙනවා. ආගම යනු ආදරයයි. නමුත් මේ රටේ අබෞද්ධ දේවල් වැඩි හරියක් කරන්නේ ඇතැම් බෞද්ධ ස්වාමින් වහන්සේලා සිවුරු ඇඳගෙන වශී ගුරුකම්, බන්ධන, සුර සහ මන්ත්‍ර වැනි දේවල් කරනවා. 

මම කියවල තියෙන බෞද්ධ පොත්පත් වල නම් ඒ වගේ දේවල් බුදුන් වහන්සේ කිසිම දවසක පිළි ගන්තේ නැහැ. තමාගේ දේ පමණක් හරි කියන අයටත් මම කැමැති නැහැ. කතෝලික පල්ලියටත් මම හුගක් දොස් කියල තියෙනවා. රාහු කාලය කියලා එළියට බහින්න එපාය කියනවා.

ඉතින් මගේ රාහු කාලය නම් මම කොහෙවත් නොගිහින් හිටියත් මම ඉන්න තැන වහලේ කඩන් වැටිලා හරි ප්ලග් එකක් ගහන්න ගිහින් කරන්ට් වැදිලා හරි මම මැරෙයි. මගේ පවුල මට මේ ලැබිල තියෙන මේ දේවලුත් එක්ක ජීවිතේ බොහොම සුන්දරයි.

ආගම දහමට නැඹුරුවක් නැහැයි කිව්වට බුදු දහමට ඔබේ විශේෂ නැඹුරුවක් තිබෙන බව නම් හැඟෙනවා ?

බෞද්ධ දර්ශනය කියන්නේ දර්ශනයක් මිස ආගමක් නොවෙයි. එය යථාර්ථයක්. ඒ දර්ශනයේ කොහෙවත් පල්ලි පන්සල් නැහැ. බුදුන් වහන්සේ කියු දේවල් මම එකතු කරනවා. උන් වහන්සේ දේශනා කළ දහම අනුව ජීවත් වෙන්න. 

බුදුන් වහන්සේ දේශනා කළ වදනක් තියෙනවා එය මම නිතරම කතෝලිකයන්ට කියන දෙයක්. ‘පරම්පරා ගණනක් ආ නිසා විශ්වාස කරන්න එපා. කෙනෙක් කියන නිසා විශ්වාස කරන්න එපා. පොතක පතක ලියලා තියෙන දේ නිසා විශ්වාස කරන්නත් එපා. 

මා වදාරන නිසා විශ්වාස කරන්නත් එපා. හිතලා ඒ දේ තමාට ගැළපෙනවා නම් විතරක් භාර ගන්න‘.

ඔබ දැන්වීම් සඳහා ඉහළ මුදලක් අය කරන මෙන්ම වෙළෙඳ දැන්වීම් නිසා විකිණෙන කලාකරුවෙක් යැයි කිවොත් ?

මට වඩා සංගක්කාරලා දැන් ඉන්න අලුත් කෙල්ලෝ කොල්ලෝ කොච්චර ගාණක් අය කරනවද? මට ගැළපෙන දැන්වීම් පමණයි මම භාර ගන්නේ. නමුත් විකිණෙනවා කියන අරුතෙහි යම් සත්‍යතාවයක් තියෙනවා. 

හැබැයි මම විතරක් නෙවෙයි ඇයි සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, අමරදේව , හෙන්රි ජයසේන, ප්‍රේමසිරි කේමදාස.....? අපි හිටියේ එකම එකකටයි සුනිල් ගොඩකට හිටියා කියලා කාටවත්ම කියන්න බැහැ.

එකකට හරි හිටියනේ. ඉතින් මා ඇතුළු මේ හැමෝම විකිණිලයි තියෙන්නේ. හැබැයි ඔවුන් විකිණිලා නැත්නම් මමත් විකිණිලා නැහැ.

බිරිය හැරුණු විට ඔබ වඩාත් ප්‍රිය කරන කාන්තාවක් සිටිනවාද ?

කාන්තාවන් කිහිපදෙනෙක් ඉන්නවා. විවාහක මට්ටමෙන් හෝ ඔවුන් සමග යම්කිසි සබඳතාවයක් ගොඩනගා ගන්නා මට්ටමෙන් නොවෙයි මා ඔවුන් ගැන පවසන්නේ. ඉන් එක්කෙනෙක් ‘ඇන්ජලිනා ජොලි‘.ඇය විශේෂයෙන් දුප්පත් රටවල දරුවන්ට ශක්තියක් වූ දිරිය කතක්. 

ලංකාවේ නම් ගොඩක් ආදර්ශවත් චරිතයක් ලෙස අයිරාංගනී සේරසිංහට මා ප්‍රිය කරනවා. ලංකාවට විශේෂ කීර්තියක් ගෙන දුන් නමුත් දැන් දේශපාලන කරළියට පිවිසිලා සිටින රෝසි සේනානායක, සුසන්තිකා ජයසිංහ එසේ මා ප්‍රිය කරන තවත් දෙදෙනෙක්.

කලක් ජනප්‍රිය ගායිකාවක සමඟ පැවැතී සබඳතාවයක් ගැන පසු කාලීනව ඔබ පාපොච්චාරණයක යෙදුණා. දැන් ඇය සමග වෘත්තීමය සබඳතාවයක් හෝ නැතිද?

ඇය ගායනා කරන සංදර්ශන වලට සහභාගී විමේදි හමුවෙනවා. වෛරයක් තරහක් කියලා නැහැ. නමුත් දීර්ඝ කතා බහක් කිසිම වෙලාවක පවත්වන්නේ නැහැ. ‘හලෝ හායි බායි‘විතරයි. 

තමන් යම් කිසි දෙයකින් මිදුණාට පසු නැවතත් කතාවට යාමෙන් සිදුවන්නේ මගේ බිරියට යම් කිසි කනස්සල්ලක් ඇති කිරීම පමණයි. ඉතින් මම ඇයි මගේ බිරියට දුකක් දෙන්නේ?

ඔබේ පියා පැවසු යමක් අද වනතුරු නොනවත්වා ඔබ කරගෙන එනවා ?

ඔහු මාව කතෝලික දහමට යොමු කරන්න බොහෝ උත්සාහ කළා. අන් අයට ශක්තියක් වෙන්නත් කියා දුන්නා.

බොහොමයක් උදවිය ජනප්‍රියත්වය ගොඩනඟා ගැනීම උදෙසා සමාජ සත්කාරයන්හි යෙදෙන සමයක ඔබ අදටත් නිහඬ දානපතියෙක් ?

ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ. හැමදාම ආදරය කරන්න, එවිට ආදරය ලැබෙයි. තවත් කෙනෙකුට ශක්තියක් වෙන්න, එවිට ඔබත් ශක්තිමත් වේවි.

 
Related Posts with Thumbnails