Ads 468x60px

.

රියෑදුරෝ නිතරම පොලිසියේ රාළහාමිලාගේ දෙමාපියන් සිහිපත් කරන හේතුව.

මහ පාරේ අධිවේගයෙන් වාහන පදවන රියෑදුරන් ඇල්ලීම සඳහා වේග මාපක යන්ත්‍ර යොදා ගැනීම මින් පසු නො කරන බව පොලිස්‌ මූලස්‌ථානය පැවසූ පුවතක් ඊයේ (19 වැනිදා) 'දිවයින' පුවත් එහේ සඳහන් වුණා. 

මෙහි තේරුම මෙතැන් පටන් ට්‍රැෆික්‌ රාළහාමි ට හිතේ සෝදිසියට වේගය ගණනය කළ හැකි බව ය. මේ නිසා මෙතැන් පටන් 'හයි ස්‌පීඩ්' අල්ලන මැෂින් අතින් ගෙන යකුන් මෙන් පාරට කඩා පනින ට්‍රැෆික්‌ රාළහාමිලා දැක ගැනීමට අපට අවස්‌ථාව ලැබෙන්නේ නැත. 

ඒ ගැන හැම දෙනාම කනගාටු වන බව අපි උපකල්පනය කරමු. ට්‍රැෆික්‌ රාළහාමි යනු මහපාර සැරසූ අපූරු දැක්‌මකි. ඉර කැපුවත් නැතත්, වමෙන් ධාවනය කළත් නැතත්, කහ ඉර උඩ නැවැත්තුවත් නැතත්, 'ඕවටේක්‌' කළත් නැතත් ට්‍රැෆික්‌ රාළහාමි අප වරදකරුවන් සේ සලකා අල්ලාගෙන දඩකොළ කඩන්නේ ය. 

ඔහු උදේට සහ දවල්ට පාරට එන්නේ 'නඩු' එකතු කර ගන්නට ය. සවස්‌ වරුවට පොලිසියකට ටෙලිෆෝන් කර ට්‍රැෆික්‌ ඕ. අයි. සී. කොහිදැයි ඇසූ
විට "මහත්තයා නඩු ගේන්න පාරට ගියා" යෑයි දුරකථනයේ එහා පැත්තේ සිටින රාළහාමි හෝ රාළහාමි තරුණිය කියනවා ඇත. 

මෙයින් අදහස්‌ වන්නේ ට්‍රැෆික්‌ නඩු එකතු කිරීමේ මුඛ්‍ය අරමුණක්‌ පොලිසියට තිබෙන බව ය. මේ නිසා රියෑදුරෝ නිතරම පොලිසියේ රාළහාමිලාගේ දෙමාපියන් සිහිපත් කරති. ඒ කතාව පැත්තකට දමමු.

අපට ඇති ප්‍රශ්නය වන්නේ High Speed Ditector යන්ත්‍රයකින් තොරව රාළහාමි හිතේ හෝදිසියට කියන වේගය උසාවිය විසින් පිළිගනු ලබන්නේ ද යන්න ය. මේ අනුව ඉදිරි අනාගතයේදී පහත සඳහන් දේ සිදු වීමට ඉඩ තිබේ. එනම්,

උෂ්ණත්ත්ව මාපකයක්‌ නැතිව හිතේ හෝදිසියට (ඇඟට දැනෙන පරිදි) උෂ්ණත්වය කීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගැනීම.

රෝගියාගේ පපුව දෙස බලා ECG යන්ත්‍රයක ආධාරයෙන් තොරව හෘද ස්‌පන්දනය ගැන සිතේ හෝදිසියට කීමට දොස්‌තර කටයුතු කිරීම.

දොස්‌තර රෝගියාගේ මුහුණ දෙස බලා හිතේ හෝදිසියට 'ප්‍රෙෂර් එක' කීයදැයි කීම.

ලයිට්‌ බිල් ගෙනෙන ළමයා මීටරය දෙස නො බලා හිතේ හෝදිසියට විදුලි ඒකක ප්‍රමාණය ගණන් හදා ලයිට්‌ බිල ලිවීම.

ඉහත සඳහන් කාරණාවල දී වැඩේ ගැස්‌සුනොත් දොස්‌තරට සහ ලයිට්‌ බිල් ළමයාට ගුටි කන්නට වීම කෙසේවත් වැළැක්‌වීමට බැරි ය. එහෙත් මීටරයක්‌ නැතිව රිය ධාවන වේගය කියන්නට යන පොලිස්‌ රාළහාමිට කිසිදු අනතුරක්‌ සිදු නො වන්නේ නිල ඇඳුමින් ඔහු ආරක්‍ෂා වී තිබෙන නිසා ය. 

රියෑදුරා රාළහාමිට එරෙහිව අත එසවුවහොත් රාළහාමි රියෑදුරාගේ අත තිබෙන තැනට කකුලත්, කකුල තිබෙන තැනට අතත් සවි කරනවා ඇත.

කෙසේ වුවද යන්ත්‍රානුසාරයෙන් බොහෝ දේවල් කිරීමට හැකි නූතන යුගයේ එයින් පිටතට ගොස්‌ ගල් යුගයට අඩිය තබන්නට පොලිසිය උත්සාහ කරන්නේ මන්දැයි අපට නො තේරේ. 

ධාවනය වන රථයක වේගය පිටත සිට දැන ගැනීම සඳහා මීටරයක්‌ හඳුන්වා දී ඇත්තේ වැඩි නිරවද්‍යතාවක්‌ ලබා ගනු පිණිස ය. එසේ තිබියදී පොලිසිය හිතේ හෝදිසිය මීටරය ලෙස යොදාගෙන ගල් යුගයට යවන්නට උත්සාහ කරන්නේ ඇයි?
 
Related Posts with Thumbnails