Ads 468x60px

.

නෙහාරා ඇරුණම මම වැඩිපුරම කැමැති සුජානි මේනකාට - මේනක රාජපක්ෂ


මම හොයපු කෙනා 
නෙහාරාද කියලා 
මටත් තවම 
හිතාගන්න බෑ

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටයි. වරින් වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්‍රය පුරා පැවතුණා.

ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නටද පසුබට වුණේ නෑ. මේ දෙන්න මේ දවස් වල මොනවාද කරන්නේ කියලා අපි නිකමට හොයල බැලුවා.

ඒ ගැන මේනක රාජපක්ෂ කියන්නේ මෙහෙමයි.   

මේනක රාජපක්ෂ කියන්නේ මොනවිදියේ කෙනෙක්ද?

වැඩිපුරම විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න කැමැති කෙනෙක්. කේන්ති එන අවස්ථාත් නැත්තේ නැහැ. ඕනෑම කෙනකුට කියන්න තියෙන දේ කියනවා.

ඔබ සල්ලිවලට රඟපානවද?රඟපාලා සල්ලි හොයනවාද?


ඒ දෙකම කරනවා. සල්ලි අවශ්‍ය නිසා රංගනයට දායක වෙනවා. ගන්න මුදලට සාධාරණය ඉෂ්ට කරනවා නම් මං හිතන්නේ නැහැ ඒකේ වරදක් තියෙනවා කියලා.

වෘත්තීය ජීවිතයේදී මේනක රාජපක්ෂ කියන නළුවා මොන විදියේ තැනකට එනවටද ඔබ කැමැති ?

 
මම තවම නළුවෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. තවමත් මම රංගනය ඉගෙන ගන්නවා. මැරෙන්න කලින් මම රංගනය මොකක්ද කියලා ඉගෙන ගනියි. සාර්ථක නළුවෙක් විදියට මේ රටේ නමක් හදාගන්න එක තමයි මගේ අරමුණ.

මතෛක් රඟපෑ ආදර ජවනිකා අතර ඔබ කැමැතිම ආදරවන්තිය කවුද?


නෙහාරා ඇරුණම මම කැමැතිම නිළිය සුජානි මේනකා

ඔබ වෙනත් නිළියන් සමග ආදර ජවනිකා රඟපෑම පිළිබඳව නෙහාරාගේ ප්‍රතිචාර මොන වගේද?


එයා ඒවා බලන්නේ නැහැ. මොකද එයාට ඒවා බලන් ඉන්න බැහැ. නොබලා ඉන්නවා මිසක් කවදාවත් ඒවා ගැන රණ්ඩු කරලා නැහැ.

එතකොට නෙහාරා වෙනත් නළුවෙන් සමග ආදර ජවනිකාවක් රඟපෑම ඔබට තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති කරනවාද?


මට තරහක් ඇතිවෙනවා. එයා ඒ ජවනිකාව හරියට කරන්නේ නෑ කියලා හිතුණොත්. මොකද මම දන්නවා නෙහාරාගේ ආදරේ කරන්න පුළුවන් පරිමාව කොච්චරක්ද කියලා. ඉතිං මං එයාට කියන්නේ මට ආදරේ කරන විදියට ඒ ජවනිකාවේදී ඒ නළුවටත් ආදරේ කරන්න. 


චරිතෙට තමන්ගේ උපරිමය දෙන්න කියලයි. ඒ හැරුණු කොට ඒ වගේ දේකට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයෙක් ‍නෙවෙයි මම.

ඔබේ පවුල් ජීවිතය තුළ ඔබට හරි කෙනා ලැබිලා ඉන්නවා කියලා ඔබ හිතනවාද?


මම දැනට හිතනවා කැමැතිම කෙනා ලැබිලා ඉන්නවා කියලා. අපි විවාහ වෙලත් දැන් මාස අටක්. ප්‍රශ්න නැති පවුල් ජීවිත කාටවත් නැහැ. ප්‍රශ්න හරි විදියකට විසඳාගෙන ජීවත් වෙන එකයි ජීවිතය කියන්නේ. මං හිතනවා හරි කෙනා හම්බ වෙලා තියෙනවා කියලා.

නෙහාරා හැරුණු කොට පෞද්ගලික ජීවිතයේ ඔබ ආදරය කරන කාන්තාවක් ඉන්නවාද?


ඔව්. කාන්තාවක් ඉන්නවා. ඒ මගේ අම්මා. ඒ වගේම මගේ සහෝදරියටත් ගොඩක් ආදරෙයි.

නෙහාරාත් ඔබත් දෙදෙනාම කාර්යබහුලයි. ඔබ කොහොමද විවේක කාලය සකස් කර ගන්නේ සහ විවේක කාලය ගත කරන්නේ?


අපි හැම වෙලාවෙම ඉරිදා දවස් වැඩ යොදානොගෙන ඉන්න උත්සාහ කරනවා. අපි දෙන්නම කතෝලික. ඒ නිසා පල්ලි යන්න, දෙමව්පියෝ බලන්න යන්න වගේ දේවල්වලට ඉරිදා දවස යොදා ගන්නවා.

දික්කසාදය, දෙවනවර විවාහ වීම පිළිබඳ සමාජයේ පවතින්නේ තරමක් දෝෂ සහගත දෘෂ්ටියක්. ඇයි මිනිස්සු මානුෂිකව ඒ දෙස නොබලන්නේ?


මම දකින්නේ ඕක අපේ ජානවල වරදක්. අපේ මිනිස්සු කාටහරි කරදරයක් වුණාම උදව්වට එකතු වෙනවා. ඒත් කෙනෙක්ගේ සතුටකදී සතුටු වෙන්න එකතු වෙනවා අඩුයි. ජීවිතේ මොකක් හරි වෙනසක් වෙද්දී ඒ දිහා බලන්නේ වැරදි කෝණෙකින්. 


තමන්ගේ පවුලෙන් ප්‍රශ්න තියෙනවා. ඒත් පේන්නේ නළු, නිළියන්ගේ, ක්‍රීඩකයින්ගේ ප්‍රශ්න මෙයාට අරය නිසා මෙහෙම වුණානේ කියලා ප්‍රශ්න හදාගෙන දඟලනවා. සමහරවිට  මම රංගන ශිල්පියෙක් නොවුණා නම් ඔය දේ මං දකින්නෙත් ඔබ කියූ විදියටම තමයි. 

මේක අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. මං හිතනවා පිටරටවල්වල දියුණු මිනිස්සු දිහා බලලා අපි හැදෙන්න ඕනේ.

ඔබ නෙහාරව විවාහ කර ගන්නේ ජීවිතයේ තවත් එක් ආදර ජවනිකාවක් විදියටද නැත්නම් ජීවිතයේ ඇත්තටම හොයපු කෙනා මුණ ගැහුණු නිසාද?


මම හිතන්නේ නැහැ ජීවිතේ අපි හොයන කෙනා හම්බවෙනවා කියලා කවමදාකවත්. මේනක රාජපක්ෂ කියන්නේ අසීමිත විදියට ආදරේ අවශ්‍ය කෙනෙක්. මං නෙහාරාව දැක්කේ අසීමිතව ආදරය කරන්න පුළුවන් කෙනෙක් විදියට. මගෙන් නෙහාරට ආදරේ ලැබුණාද ලැබෙනවාද කියන එක ‍නෙවෙයි මං බලන්නේ. මට ලැබෙනවද කියන එක. 


මං ආදරේදී හරිම ආත්මාර්ථකාමීයි. මට කියාගන්න තේරෙන්නේ නැති තරමට අසීමිත ආදරයක් තියෙන ගැහැනියක් නෙහාරා කියන්නේ. ඒ ඇරුණාම මම හොයපු කෙනා නෙහාරාද කියලා මටත් තවම හිතාගන්න බැහැ. මේක ආදර ජවනිකාවක් ‍නෙවෙයි. මේක අපේ සැබෑ ජීවිතේ. අපි එකතු වුණෙත් අපි දෙන්නට දෙන්න ආදරේ කරපු නිසයි.

ඔබ දෙදෙනාගේ අනාගත බලා‍පොරොත්තු මොනවාද?


කාටවත් වැරැද්දක් නොකර ජීවත් වෙන්නයි මටයි නෙහාරටයි අවශ්‍ය. මගේ දරුවෙක් වුණත් මං හදන්නේ අනිත් අයගේ දේ හොයන්නේ නැතිව ජීවත්වෙන්න.
 
Related Posts with Thumbnails