Ads 468x60px

.

අලි වලිගයේ දිගු කෙඳි කෙරෙහි ලොබ බැඳ ගත් කාලකණ්‌ණි පෙරේතයා.

උඩවලවේ ජාතික වනෝද්‍යානයේ මව්ආර වැවේ මඩේ එරී සිටි අලියකුගේ වල්ගයෙන් කොටසක්‌ කිසිවකු විසින් කපා ගෙන ගොස්‌ තිබුණු බව සඳහන් පුවතක්‌ දිවයින ඊයේ (08 දා) පළකර තිබුණා. 

මේ අසමඡ්ජාති වැඩේ කරන්නට ඇත්තේ මේ අලියාගේ තරහකාර අලියෙක්‌ හෝ වෙනත් සිවුපාවෙක්‌ හෝ නොවන බව අපට නිසැකයි.

සතා සිවුපාවුන් අතර අවි ආයුධ පාවිච්චි කරන සත්තු නොවෙති. එනිසා මේ නරුම වැඩේ කර ඇත්තේ දෙපාදයක්‌ හිමි, සිවුපාවුන්ගේ හතුරකු බව
නිසැකයි. අලියාගේ වල්ගයෙහි ඇති දිගු කෙඳි කෙරෙහි ලෝභයෙන් අලි
වලිගයට ලොබ බැඳ ගත් කාලකණ්‌ණි පෙරේතයකු මේ අපරාධය කළා විය හැකියි

එහෙත් මේ වලිග හොරා විසින් කරන ලද ක්‍රියාව බරපතළ එකක්‌ වන්නේ එලෙස වල්ගය කපා ගෙන ඇත්තේ මළ අලියකුගේ නොව විපතකට පත්ව අසරණව සිටි අලියකුගේ වීම නිසායි.

විපතට පත් මිනිසුන්ට වුවද වින කරන නරුමයෝ සමාජවල සිටිති. කලකට පෙර සුනාමි විපතේදී එයට මැදි වූ යුවතියකගේ ගෙල බැඳි රන්මාලයක්‌ කඩාගත් අසමඡ්ජාතියකුගේ කතාව ඔබ දන්නෙහිය. 


එසේම හදිසි අනතුරකින් විපතට පත් මිනිසුන්ගේ මුදු, මාල හා වෙනත් වටිනා දේවල් මංකොල්ල කන යක්‌ෂයෝද අප අතර සිටිති.

මොනතරම් බණ ඇසුවත්, අසූහාරදාහේ පහන් පින්කම් කළත් මිනිසා තුළ තිබෙන නරක, හීන ගති වෙනස්‌ වන්නේ නැත. මිනිසා ශීලාචාර සතකු බව සාමාන්‍ය පිළිගැනීමය. එහෙත් ඒ මිනිසා තුළ යක්‍ෂයකුද සිටියි. ඒ යක්‍ෂයා අවදි වූ විට නොකළ හැකි නොසණ්‌ඩාල වැඩක්‌ නැත. නොකළ හැකි අපරාධයක්‌ නැත.

හැම සමාජයකම අඩු වැඩි වශයෙන් එබඳු මිනිස්‌සු සිටිති. බණේ කියෑවෙන විදිහට කෙනකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේද ඔහුගේ ක්‍රියාවෙන්ය. එනිසා මේ වර්ගයේ මිනිසුන් වසලයන් ලෙස අප වටහා ගත යුතුය.

වසලයා යනු කසළ මනසකින් යුතු නීචයෙකි. මේ අලි වල්ගය කැපූ එකාට නම් උගේ අංගජාතය කැපුවත් මදි යෑයි එපුවත කියවු කෙනෙක්‌ කීහ. එහෙත් අපට එබඳු යෝජනාවක්‌ කළ නොහැක. 


අලි මිනිස්‌ ගැටුම් මොනතරම් උසට තිබුණත් විපතකට පත් වූ අලියකුට වුවද කරුණාවෙන් සැලකීමට ඒ අලින්ගෙන් බැට කන මිනිස්‌සු වුවද කරුණාවන්ත වෙති. එහෙත් මේ අමනයා ඒ මිනිස්‌ ගුණ නොදත් එයට නිගා කළ පවිටෙකි.

වලිගය යනු සිවුපා සතුන්ට තිබෙන අත්‍යවශ්‍යම අංගයකි. අපේ ජන කවියා, දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි යෑයි කීවේද එනිසාය. ගොනුන්ගෙන් වැඩ ගන්නා ගොවියකු වුවත් වලිගය නැති ගොනකුගේ මැස්‌සන් එළවීමට ඉදිරිපත් නොවේ.

ඉතින් මේ වලිගය නැති අලියාගේ ඉරණම කුමක්‌ විය හැකිද? ඌට වලිග කොටයෙන් සියලු දේ පිරිමහා ගන්නට සිදු වනු ඇත.. අනෙක්‌ අතට අමු අමුවේ තමන්ගේ වලිගය කපා ගත් මිනිසා ගැන හොඳ මතකයක්‌ තිබෙන අලියා තමන්ට එවිපත කළ එකා ගැනත් හොඳින් ධාරණය කර සිටිනවාද විය හැක. එහෙත් ඒ අලිහොරා කළ අලි අපරාධයේ වන්දිය ගෙවීමට සිදු වුවහොත් නිසැකයෙන්ම එයට ගොදුරු වන්නේද අහිංසකයෙකි.

අප අලියා වෙනුවෙන් මෙබඳු දෙයක්‌ ලියන බව ඒ වන අලියා තබා ශීලාචාර අලියෙකුවත් දැන ගන්නේ නැත. එහෙත් මිනිසාගේ නොමිනිස්‌කම් ඉහවහා යමින් තිබෙන බවට මේ අලි අපරාධයත් සාක්‌ෂියකි. මේ අලි වලිග හොරා අල්ලා ගැනීමට අපේ පොලිසිය සමත් වුවහොත් එයද එක්‌තරා ප්‍රමාණයක අස්‌වැසිල්ලක්‌ වනු ඇත.
 
Related Posts with Thumbnails