Ads 468x60px

.

කතා රස කර ලිවීම නොව ඒ කතා පිටුපස සැඟව ඇති සමාජ පරිහානියේ යථාර්තය නම්

කුරුණෑගල ගනේවත්ත අඹකොළවැව ප්‍රදේශයේ ජීවත් වූ දුප්පත් පවුලක සිවු හැවිරිදි සිඟිති දැරියක පැහැරගෙන ගොස් දැනට දින දෙකකි. 

කුරුණෑගල, මීගලෑව ප්‍රදේශයේ හය හැවිරිදි පිරිමි දරුවකු කප්පම් ගැනීමට පැහැරගෙන ගිය සිද්ධියට මේ වන විට ගතවී ඇත්තේ මාස දෙකක් පමණි. 

කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ නිවෙසකින් දරුවකු පැහැරගෙන යෑමට ගත් තැත ව්‍යර්ථ වූ සිද්ධිය වාර්තා වූයේ පසුගිය සතියේය.

මිනිසුන්, කුණු-රොඩු බවට පත්වෙමින් පවතින ලෝකයක දරුවන් කෙළි බඩු බවට පත්වීම අරුමයක් නොවුණද, කලෙක ධර්මද්වීපය ලෙස හැඳින් වුණු මේ පින්බිමේ සිදුවන අහස පොළොව නොඋසුලන අපරාධ දෙස බලන විට හැඟී යන්නේ මේ රට මහත් වූ විපතකට පත්ව ඇති බවය.

අවුරුදු 6ක් වයසැති නැඟණියව කපා කොටා මරා දැමූ 13 හැවිරිදි 'අක්කාගේ කතාව' සහ පුංචි විරසකයක් නිසා සිය මිතුරාට පිහියෙන්

ඇන්න 'මිත්‍රයාගේ කතාව', දින හතක් වයසැති බිලිදා රුපියල් 5,000 කට විකුණූ­ මවුපියන්ගේ කතාව, 

උපන් විගස කිරිකැටියා ළිඳකට දමා ඒ ළිඳෙන්ම දිය නෑ ගැහැනියකගේ කතාව වැනි අසුන්දර - අප්‍රසන්න කතන්දර ඕනෑ තරම් ඇත. කළ යුත්තේ මේ කතා රස කර ලිවීම නොව ඒ කතා පිටුපස සැඟව ඇති සමාජ පරිහානිය හා ජාතියේ ඛේදවාචකය ඉවතට ගෙන දැක්වීමය.

මෙවැනි දේ අහන්නට-දකින්නට ලැබෙන්නේ මේ කලියුග කාලය නිසා යැයි කිසිවකුට කිව හැකිය. 'කලියුගය' කෙසේ වුවද අප මේ ජීවත්වන්නේ මෙරට ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදය තුළ යැයි කීම නිවැරැදිය.


මුදල්, බලය හා ලිංගිකත්වය පිටුපස හඹා යන මේ අධිපරිභෝජනවාදී සමාජයේ සහජීවනයට, පරාර්ථයට, විචාර බුද්ධියට හා මනුෂ්‍යත්වයට මෙතෙක් හිමිව තිබූ තැන අහිමි වී ගොස් ඇත.

ආණ්ඩුවේ ඇමැතිවරයකු මෑතකදී ප්‍රකාශ කර තිබුණේ මෙරට ළමා පරපුරේ 34%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවය. බෝ නොවන රෝග ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සිය දිවි නසා ගැනීමෙන්, මත්පැන් පානයෙන් ලෝකයේ මුල්තැනක් අපට හිමිවී ඇත. 


මානසික රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොසිනි. රිය අනතුරු බහුලය. මඟුලක්, අවමඟුලක්, අවුරුදු උත්සවයක්, සංගීත සන්දර්ශනයක් තබා වෙසක් දන්සලක්වත් ගැටුමකින් තොරව පැවැත්වීම පවා අසීරු වෙමින් පවතී. පැයක් දෙකක් වැසි ඇද හැලුණොත් මහා මාර්ග - නිවාස ජලයෙන් යටවේ.

දැඩි ඉඩෝරය නිසා බීමට පවා ජලය සපයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. වන ගහනය දිනෙන් දිනම කැලෑ පාළුවන් අතින් විනාශ මුඛයට යමින් පවතී. අලි-මිනිස් ගැටුමද ඩෙංගු උවදුර, මත් උවදුර තරමටම උග්‍රවී තිබේ.

රෝගී තරුණිය දූෂණය කළ ‍ෙදාස්තර එල්ලුම් ගස් යයි. විදුහල්පතිවරු ශිෂ්‍යාවන් අපයෝජනයට ලක් කොට අසුවෙති. පැවිද්දෝ විවිධ අපරාධ චෝදනාවලට ලක්වෙති. විනිසුරුවරු අල්ලස් දැලට කොටුවෙති. වංචා දූෂණවලදී දේශපාලනඥයන්ගේ නම් ඉහළින්ම කියැවෙයි. 


ජාතික මැතිවරණයක් තබා සමුපකාර ඡන්දයක් හෝ සාධාරණව පැවැත්වීමට ඉඩ නොලැබේ. මැරවරණ බවට මැතිවරණ පත්වී ඇත. එකම පක්ෂයේ ක්‍රියාකාරීන් පවා ගහ මරා ගන්නා කාලකණ්ණි තත්ත්වයට අද රට වැටී තිබේ. මේ සියල්ල මැද වඩාත් අසරණ වී සිටින්නේ දරුවන් හා කාන්තාවන්ය.

1917 රුසියන් විප්ලවයට පෙර එරට දරුවන්ට අත්ව තිබුණේ දුක්ඛිත ඉරණමකි. 'හොඳම දේ දරුවන්ට' යැයි විප්ලවීය නායක වී.අයි. ලෙනින් ප්‍රකාශ කෙළේ එනිසාය. මෙරට දරුවන්ද මුහුණ දී සිටින්නේ අඩු වැඩි වශයෙන් එවැනි අවාසනාවන්ත කාල වකවානුවකටය.


අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවත්නා තරගයෙන් හෙම්බත් වන දරුවන්ට, මවුපියන්ගේ ප්‍රශ්නවලට මැදිවී ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුව ඇත. වැඩිහිටියන් තුළ පවත්නා ලිංගික අසහනයෙන් තැළී පොඩිවී විනාශ වී යන්නේ දරුවන්ගේ ජීවිතය. 


ලිංගික අපයෝජනයට ගොදුරුවන දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. බිරිය සමඟ ගැටුමක් ඇතිකර ගත් සැමියකු සිය සිඟිති දියණිය ගලේ ගසා මරා දැමුවේ ඉකුත් මාසයේය.

දරු පරපුර මුහුණ දී ඇති මේ ව්‍යසන අතර පැහැරගෙන යෑම්ද වර්ධනය වෙමින් පවතී. මුදල් හෝ ලිංගික වුවමනාවන් වෙනුවෙන් මේ පැහැර ගැනීම් සිදුවේ. පැහැරගෙන යන දරුවන්ගේ ජීවිතය අහිමිවන අවස්ථාද වැඩිය. 


වර්ණ-ධජ-පතාක මල්කම් ලියකම්වලින් සැරසුණු මාවතක රට මේ ගමන් කරමින් සිටින්නේ දිව්‍ය ලෝකය කරා යැයි යමකුට පෙනී යා හැකිය. එහෙත් බැලූ බැල්මෙන් නිගමනයකට නොපැමිණීමට පරිස්සම් වීම දරුවන්ගේ පමණක් නොව සියලු දෙනාගේ හිත සුව පිණිස වනු ඇත.
 
Related Posts with Thumbnails