Ads 468x60px

.

උඹ කලිං කරපුවා මට පේනවා උඹේ පව් ගෙවී සුවපත් වන්නට මාත් එක්කත් ඒ වගේ ඉන්න ඕනෑ


“දේව වරමින්” 
දරුඵල දුන් කපුවා 
ක‍පෝති වූ හැටි

අත්තනායක මුදියන්සේලාගේ පද්මසිරි රත්නායක කුරණට පැමිණෙනුයේ අදින් වසරකට පමණ පෙරදීය. 

ඒ කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුලකගේ දැන හැඳුනුම්කම් මතය. ඔහු කුරණ ගමට පැමිණ එහි විසු පුද්ගලයෙකුගේ නිවසේ ශාන්ති කර්මයක් කිරීමට පටන් ගත්තේය. මේ අතරතුරේදී ඔහුට පුද්ගලයකු හඳුනා ගැනීමට ඉඩ ලැබුණි. 

මේ පුද්ගලයා අපි සුනිල් නමින් හඳුන්වමු. තම නිවසේ ශාන්ති කර්මය සිදුකළ පුද්ගලයා ගැන ඇති වූ පැහැදීම නිසා සුනිල් ඔහු කුරණ ප්‍රදේශයේ තිබු දේවාලයකට රැගෙන ගියේය. 

එතැන් පටන් පද්මසිරි එහි සිට විවිධ ශාන්ති කර්ම සිදු කරන්නට වෙයි. ගමේ කෙනෙකු වූ සුනිල්ගේ රෙකමදාරුව සහ සහජයෙන් ලද කූට බුද්ධියද මෙහෙයවා පද්මසිරි රත්නායක කෙටි කලකදී කපුවෙකු ලෙස නමක් දිනාගනී.

පද්මසිරි කපු මහතාගේ ශාන්ති කර්මවල අපූර්වත්වයක් නොතිබුණා නොවේ. ඔහුගේ ශාන්ති කර්ම කළේ කාන්තා පාර්ශ්වයට පමණක් වීම එම අපූර්වත්වයයි. දේවාලයට එන උදවියට වඩා පද්මසිරි කපු මහතා ශාන්ති කර්ම කිරීමට කැමැත්තක් දැක්වූයේ ගෙවල්වල සිටිනා

කාන්තාවන්ටය. ශාන්ති කර්මයට පෙර තමා සතු බලයෙන් යම් යම් අනාවැකි පැවැසීම මොහුගේ විශේෂත්වය වී තිබේ. 

මෙකී අනාවැකි බොහෝ විට ඉලක්ක වනුයේ කාන්තාවන්ට වැළඳෙන රෝග, ඊට අමතරව බඩේ ඇතිවන ගෙඩි ආදියද පද්මසිරි කපු මහතාට දේවබලයෙන් පෙනේ. සැබවින්ම ඔහු කළේ දරුණු රෝග ගැන පවසමින් කාන්තාවන් බිය වැද්දීමය. 

ඊට අමතරව කාන්තාවන්ට දරුඵල අහිමි බව පැවැසීමද ඔහුගේ සිරිතක් විය. ඕනෑම යුවතියකගේ සිත තුළ මවක් වීමේ සිහිනය දැඩිව ඇති බැවින් දරුඵල අහිමි වන බවට මේ කපුවා පණ පිහිටුවා සිදු කරන ප්‍රකාශය මගින් බියට පත් වූවේ විවාහක කාන්තාවන් පමණක් නොවේ. විවාහ වීමට පෙරුම් පුරමින් සිටි තරුණියෝද ඒ කතාව අසා බියට පත්වූහ.

පද්මසිරි කපුමහතාගේ අනෙක් උපාය දේව කෝපයක් ගැන පවසා කාන්තාවන් බිය ගැන්වීමයි. ලෙඩ දුක්, දේව කෝප ආදිය නිසා කියා අසරණ කාන්තාවන් බිය ගන්වන කපු මහතා ඒ බිය නැති කරන්නටද තමන්ට හැකි බව කියන්නේ ආඩම්බරයෙන් “බය වෙන්න එපා දරුවා ඕකට ‍පොඩි ශාන්ති කර්මයක් තියනවා. ඒක මමම කරලා දෙන්නං යැයි ඔහු තමා විසින්ම බිය ගැන්වූ තරුණියන් සහ කාන්තාවන්ගේ සිත් සනසන්නේය.


“අනේ කපු මහත්තයෝ මට ඒකත් කරලා දෙන්නැයි ඔවුහු බැගෑපත්ව ඉල්ලති. ශාන්ති කර්මය සැලසුම් කරන්නේද කපු මහතා විසිනි. ඔහු පනවන පළමු කොන්දේසියක් තිබේ. 


වටපිට අයට කියන්න එපා මේක රහසින් කරන්න ඕනෑ යන්නැයි එම කොන්දේයි තමුන්ටද වාසි දායක නිසා කාන්තාවෝද ඊට එකඟ වෙති. ශාන්ති කර්ම සඳහා වැඩිපුර දේ උවමනා වෙන්නේද නැත. කල් ඇතිව පැමිණෙන කපු මහතා අවශ්‍ය අඩුවැඩිය ළංකර ගෙන සියලු දේ සූදානම් කරගනී.

ඔහුගේ මෙහෙයුමේ දෙවන අදියරේ ඉලක්ක වන්නේ නිවසේ සිටින සියලු දෙනාය. “දැන් මේ තැනැත්තියට තියෙන රෝගය බරපතළයි. මරණය වුණත් වෙන්න ඉඩ තියෙනවා. මේවා දොස්තර නළාවට අහුවෙන ලෙඩ ‍නෙවෙයි. හිතේ විශ්වාසයක් තියාගන්න. මං මේකෙන් මේ දරුවා ගොඩ ගන්නවා. වැනි ප්‍රලාප පවසමින් ඔහු නිවසේ සියලු දෙනා මුලා කරනු ලබයි.


“මේ අය විශ්වාසවන්ත අයනේ. ඉතින් මට ‍පොඩි උදව්වක් කරන්න ඕනෑ. මේ දෙහි ගෙඩි තුන අතට  ගන්න. මම ආවේශ වෙන කොට ඔය තුන් දෙනා දෙහි ගෙඩි තුන අරං ගෙයි මුළු තුනට යන්න” යනුවෙන් පවසන ඔහු සිය යාගය කරන අවස්ථාවේ නිවසේ රඳවා ගනු ලබනුයේ අදාළ කාන්තාව පමණි.


පද්මසිරි කපු මහතාගේ ශාන්ති කර්මවල තවත් එක අපූර්වත්වයක් ඇත. ඒ ඔහු සෑම අවස්ථාවකම නිවසේ තිදෙනෙකු හෝ ඊට අඩු පිරිසක් තබා ගැනීමයි. වැඩිපුර සිටින අය උපායශීලිව නිවසින් පිට කිරීම ඔහුගේ සිරිත වෙයි.


ශාන්ති කර්මය ඇරඹෙන විට නිවසේ සියලු දෙනා කපුවාගේ අනුගාමිකයන් වී අවසානය. දැන් ඔවුන් පුල පුලා බලා සිටිනුයේ කපු මහතා ආවේශ වූ පසු දෙහි ගෙඩි රැගෙන නිවසේ මුළුවලට ගොස් යාගයට සහය දීමටයි.


යාතිකාව උපරිම තලයට එන කපුවා කමෛන් ආවේශ වෙයි. නිවැසියෝ ගෙයි මුළුවලට ගොස් දෙහි ගෙඩි අත දරා බලා සිටිති. දේවාරූඪයෙන් නැගිටින කපු මහතා ආතුර කාන්තාව රැගෙන ගෙයි ඉතිරි මුල්ලට යයි.


නමුත් ඔහු එසේ යන්නේ නිවසේ පිටතින් නොව ඇතුළතිනි. අනෙක් සියලු දෙනා එළියේ මුළුවල දෙහි ගෙඩි අත දරා රැඳී සිටියදී කපුවා ගෙයි ඇතුළෙන් මුල්ලට ආතුර කාන්තාව රැගෙන යෑම කිසිවෙකුගේත් සැකයට යොමු නොවුණේ අධික දේවභක්තිය නිසාය.

අනතුරුව කපුවා දේව ආරූඪයෙන්ම මෙසේ කීවේය.


“උඹ කසාද බඳින්න කලිං කරපුවා මට පේනවා. කලින් කී දෙනෙක් එක්ක සම්බන්ධකම් පැවැත්වූවාද?


උඹේ පව් ගෙවී සුවපත් වන්නට මාත් එක්කත් ඒ වගේ ඉන්න ඕනෑයි” කියමින් කාන්තාවන්ව බිය ගන්වන්නේය.


යම් කාන්තාවක් එවැනි සබඳතා නොමැති බව කියුවොත් ඔහුගේ ආවේශය දරුණු වෙයි.


කෙසේ හෝ අවසානයේ කපුවා අසරණ කාන්තාව බිලි ගන්නේ එය දේව කැමැත්ත බව පවසමිනි.


ලැජ්ජාව නිසා බොහෝ කාන්තාවන් තමුන්ට කපුවා සිදුකළ අතවරය කිසිවෙකුටත් කියන්න ගියේ නැත. කාන්තාවන්ට මෙවැනි අතවර රැසක් කළද පද්මසිරි කපු මහතා යහතින් කුරණ ගමේ රැඳී සිටියේ එබැවිනි.
දේව බලයට මුවා වී හැම ගසකටම කොට කොටා ගිය පද්මසිරි කපු මහතාගේ හොට පැටලුණේ ඔහු කෙසෙල් ගසකටත් පරණ පුරුද්දට කොටන්නට ගොස්ය.


ඇය කුරණ ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකි. ඇය කපු මහතා ලවා ශාන්ති කර්මයක් කරගන්නට ඉදිරිපත් වන්නේ විවාහයෙන් පසු දරුඵල නොමැති බවට කපුවා ඇයට කරන අනතුරු හැඟවීම නිසාය.


පෙර සිදුවීම්වලදී මෙන්ම මෙහිදීද කපුවා නිවැසියන් සියලු දෙනා නිවසින් පිට කර අදාළ කාන්තාව නිවසේ නාන කාමරයට රැගෙන ගොස් දූෂණය කර තිබේ. එතැනින් නොනැවතුනු කපුවා දේව කැමැත්ත බව පවසමින් යළිත් වරක් ඇයට අස්වාභාවික ලිංගික අතවරයන් කර තිබේ. 


යාගය නිමකර කපු මහතා නික්ම ගිය පසු ඔහු සිදුකළ විකෘති ක්‍රියාව නිසා එම කාන්තාව කීපවතාවක් රෝගී වූවාය. ඒ ගැන නිවැසියන් ප්‍රශ්න කිරීමේදී කාන්තාව කපුවා තමාට කළ ලිංගික අතවරය හෙළි කළාය. ඒ හෙළි කිරීමත් සමග නිවැසියන් ඇය රැගෙන කෙළින්ම යන්නෙ ඉංගිරිය ‍පොලීසියටයි.

කපු මහතාගේ ශාන්ති කර්ම එකින් එක ඉංගිරිය ‍පොලිස් ‍පොතේ සඳහන් වන්නේ ඉන් පසුවය. සැකකරු අත්අඩංගුවට ගැනීමට කුරණට ගිය ඉංගිරිය ‍පොලීසියේ නිලධාරීන්ට ආපසු එන්ට වෙන්නේ හිස් අතිනි. ඒ වන විටත් කපුවා ගම හැර පලා ගොස් සිටි බැවිනි. 


කපුවා සොයා ‍පොලීසිය වෙහෙසෙන අතරතුර තවත් පැමිණිල්ලක් කුරණ ප්‍රදේශයෙන් ‍පොලීසියට ලැබේ. ඒ තරුණ කාන්තාවක් අතුරුදන් වීම සම්බන්ධවයි. කපු මහතා ඒ කාන්තාවගේ ගෙදරටද ආ ගිය බැවින් ‍පොලිස් සැකය ඔහු වෙත යොමු විය. 

දින කිහිපයකට පසු එම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙන ‍පොලීසිය ඇගේ දරුවෙකු ඉතා දරුණු ලෙස රෝගී වී ඇති බව දන්වා දැන්වූයේ ඇය ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසය. ‍පොලිසියේ උපාය හරියටම හරි ගියේය. ඇය අසුරු සැනින් නිවසට ආවාය.

මේ අවස්ථාවේ එම කාන්තාව අත තිබූ තවත් දුරකථනයක් ‍පොලීසියේ අවධානයට ලක් විය. සැනකින් ක්‍රියාත්මක වන ඉංගිරිය ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති කේ.එච්.ජී. විජේරත්න වැඩිදුර පරීක්ෂණ සඳහා එම අලුත් දුරකථනය තමන්ගේ භාරයට ගත්තේය. 


යළි තම සැමියා වෙත යෑම ප්‍රතික්ෂේප කරන එම කාන්තාව තම මවුපියන් වෙසෙනා නුගේගොඩ ප්‍රදේශයට යන බව පවසා ‍පොලීසියෙන් පිටත්ව ගියාය. එම කාන්තාවගෙන් ලබා ගත් දුරකථනය සහ එහි අංක ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන ඉංගිරිය ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේරත්න උපාය දූතිකාවක මාර්ගයෙන් කපු මහතාට දුරකථන ඇමතුමක් දුන්නේය. එම ඇමතුම අනුව කපු මහතා නවගමුවට ආවේය. ඔහු ඉංගිරිය ‍පොලීස් අත්අඩංගුවට පත්වන්නේ එහිදීය.

පද්මසිරි රත්නායකගේ සැබෑ තොරතුරු එළිවෙන්නේ ඉන් පසුවය. රත්නායක මුදියන්සේලාගේ පද්මසිරි රත්නායක නුවරඑළිය කිරුවන්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


41 හැවිරිදි ඔහු කළක් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කර ඔහු 1996 දී, පමණ ඉන් පලා ගොස් තිබේ. එතැන් සිට දිවයිනේ විවිධ පළාත්වල ගැවසෙමින් වංචනික ආකාරයෙන් දිවි ගෙවා ඇති මොහු කාන්තාවන්ට අතවර කරනවාට අමතරව ඔවුන්ගේ රන් බඩු සොරකමද කර ඇත. ඇතැම් තැන්වලදී පූජා භාණ්ඩ හෝ නිදන් කිරීමට යැයි පවසමින් රත්තරන් මුදු මාල ලබාගෙන ඇත. 


හඳපාන්ගොඩ කුරණ ප්‍රදේශයේ සිටියදී පවා බණ්ඩාරවෙල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රු. 15000 පමණ වටිනා රන් භාණ්ඩ වංචනිකව මොහු ලබාගෙන ඇත.

මෙම වංචනිකයාගෙන් අතවරයට පත් කාන්තාවන් 8 දෙනෙකුගේ පමණ තොරතුරු දැනට වාර්තා වී ඇත. තිදෙනකු පමණ ‍පොලීසියට පැමිණිලි කර ඇත. මොහුගේ අතවරයට පත් ඕනෑම කාන්තාවකට ඉංගිරිය පොලීසියට හෝ ළඟම ඇති ‍පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බව ඉංගිරිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා පවසයි.


මොහුගෙන් අතවරයට පත් බොහෝ දෙනකු ලැජ්ජාව නිසා ‍පොලීසියට පැමිණිලි නොකරන බව පෙනී යන බව ඉංගිරිය ‍පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක විජේරත්න මහතා පවසයි.

 
Related Posts with Thumbnails