Ads 468x60px

.

ජනපතිවරණය ජනවාරි 8 වැනිදා - මෛත්‍රීපාල ඇතුළු සෙසු අයගේ ඇමැති පදවි අහෝසි කෙරේ


මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන යන මහත්වරුන් ඔවුන් හෙබවූ ඇමැති තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. එසේම මෙම සිවු දෙනාගේ ද වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ද පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර තිබෙනවා.

මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ද සෙසු පිරිස ඔවුන් විසින් පක්‍ෂයේ දරන ලද සියලු තනතුරුවලින් ද ඉවත් කර
තිබෙනවා.

පක්‍ෂ නායකයා සහ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකර
තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරයද, රාජිත සේනාරත්න
මහතා ධීවර ඇමැති ධුරය ද, දුමින්ද දිසානායක මහතා අධ්‍යාපන සේවා ඇමැති ධුරය ද එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ධුරය ද දැරූහ.

මෛත්‍රීට එජාප පූර්ණ සහාය

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට පූර්ණ සහයෝගය දැක්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය තීරණය කළ බව එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (21 වැනිදා) සවස එජාප මූලස්‌ථානය වන සිරිකොත හිදී පැවැති මාධ්‍ය හමුවේදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති 38/1 බලතල අනුව පැය 24 ක්‌ ඇතුළත විධායක බලතල අගමැතිවරයා වෙත පවරා ගැනීමටත් 17 වැනි ව්‍යවස්‌ථාව බලාත්මක කිරීමටත්, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමටත් සහ දින 100 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් එක්‌සත් ජාතික පක්‍ෂය සහයෝගය දක්‌වන බවත් මෙම මාධ්‍ය හමුවේදී තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

නව පෙරමුණක්‌ නව ලකුණක්‌
 

නව සන්ධානයක්‌ නව පෙරමුණක්‌, නව ලකුණක්‌ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවද ඊට මෙම කර්තව්‍යයට සහභාගිවන සියලු පක්‍ෂ එක්‌වන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එහි නාමය හා ලකුණ ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් එම සන්ධානයේ පක්‍ෂ අතර මේ වන විටත් එකඟතාවක්‌ ඇති කරගෙන තිබෙන බවද ඒ මහතා පැවසීය.


සාධාරණ මැතිවරණයක්‌ තබන්නයි මැකෝගෙන් ඉල්ලනවා

මැතිවරණ කොමසාරිස්‌වරයා සම්බන්ධයෙන් විශ්වාසයක්‌ ඇතැයි ද නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පවත්වන ලෙස මැතිවරණ කොමසාරිස්‌ වරයාගෙන් ඉල්ලා සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

තමා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔහු දන්නා බවද ඔහු මෙවර ජනාධිපතිවරණය සාධාරණව පවත්වනු ඇතැයි බලාපොරොත්තුවන බවද ඒ මහතා පැවසීය.
 

ජනපතිවරණය ජනවාරි 8 වැනිදා
නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 8 වැනිදා


මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා විසින් ඊයේ (21 වැනිදා) සවස නිකුත් කරන ලදී.

මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ නාමයෝජනා පත්‍ර භාරගැනීම දෙසැම්බර් මස 08 වැනිදා සිදුකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.


සන්ධානය නාය යනවා අපේ තීරණය ඉදිරියේදී
- ටිල්වින් සිල්වා
 

වර්තමානයේ සිදුවන සියලු දේශපාලන සංසිද්ධීන් තුළින් පැහැදිලි වන්නේ වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව දෙදරා නාය යැමට පටන්ගෙන ඇති බව යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (21 වැනිදා) පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ ප්‍රබලයන් ගණනාවක්‌ ඉන් ඉවත් වෙමින් විපක්‍ෂයට එක්‌වෙමින් සිටින බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.

ඉදිරි දින දෙක තුළ දේශපාලනයේ විශාල වෙනස්‌කම් රැසක්‌ සිදුවිය හැකි බව සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා ඒ සියලු සිදුවීම් දෙස ජනතා විමුක්‌ති පෙරමුණ සැලකිල්ලෙන් බලා සිටින බව ද කියා සිටියේය.

මෙම සියලු සිද්ධීන් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව පක්‍ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය කැඳවීම නීති විරෝධීය යන්න තම පක්‍ෂයේ ස්‌ථාවරය බැවින් ජනාධිපතිවරණයට එරෙහිව පක්‍ෂය ගෙන ගිය විරෝධතාව දිගින් දිගටම ගෙන යැමට කටයුතු කරන බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 
Related Posts with Thumbnails