Ads 468x60px

.

විසිතුන් ලක්‍ෂ පනස්දාහ වගේද සින්ඩරෙල්ලා කකුල්


තාරුණ්‍යය කියන්නෙ විලාසිතා. විලාසිතා කියන්නෙ තාරුණ්‍යය. ඒක එහෙමම නැහැ. මොකද වයසට ගිය අයට වුණත් විලාසිතා කරන්න කිසිම තහනමක් නෑ. විලාසිතා කිව්වම නා නා ප්‍රකාර ඒවා තියෙනවා. 

ඇඳුම්, ආභරණ, රූපලාවණ්‍යය වගේ දේ්වලින් පටන් ගත්තම කොණ්ඩ මෝස්තර, පාවහන්, අත් බෑග්, ඔර්ලෝසු මෙකී නොකී හැමදේම අයිතියි. විලාසිතා නොහොත් පැෂන් කියන්නෙ ඕනෙ නම් කරන්නත් එපා නම් නොකර ඉන්නත් පුළුවන් දෙයක්.

දැන් කාලෙ ඇඳුම කැත නම් ඒක ගලවලා අයින් කරලා වෙන ඇඳුමක් ඇඳ ගන්නවා වගේ මූණ කැත නම් ප්ලාස්ටික් සැත්කමකින් ඒකත් වෙනස් කරගන්න පුළුවන්. මුහුණින් නතර නොවුණු ප්ලාස්ටික් සැත්කම්

කලාව ශරීරයේ අනෙකුත් අවයවවලටත් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙලා කියලා මේ වෙනකොට අපි ඔයාලා හැමෝම දන්නවා. 

අපේ රටේ නැති වුණත් අනිත් රටවල ශරීරයේ අවයව වෙනස්කර ගැනීමේ ප්ලාස්ටික් සැත්කම් තියෙනවා. ඒ ගොඩට ආපු අලුත්ම එක තමයි මේ.

මේ අලුත් එකට කියන්නෙ සින්ඩරෙල්ලා සර්ජරි කියලා. සින්ඩරෙල්ලව මතකයිනෙ. පොඩි කාලෙ අපි ඇහුවෙ, අර සපත්තුව නැති වුණු කෙනා. සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්නෙ සින්ඩරෙල්ලට ලස්සන කකුල් දෙකක් තියෙනවා කියලනෙ. 


ඒ නිසා ලස්සන කකුල්වලට සින්ඩරෙල්ලා කකුල් කියලත් කියනවා. ඉතිං බි්‍රතාන්‍යයේ ඉන්න කකුල් කැත කෙල්ලො දැන් ප්ලාස්ටික් සර්ජරිවලින් ලස්සන කකුල්, ඒ කියන්නෙ සින්ඩරෙල්ලා කකුල් හදාගන්න පටන් අරන්. සින්ඩරෙල්ලා කකුල් හදා ගන්න ඔපරේෂන් පහක් විතර කරන්න වෙනවා. 

එහෙම හදා ගත්ත කකුල්වලට මේ අපි දාන සාමාන්‍ය සෙරෙප්පු සපත්තු හරි යන්නෙත් නෑ. ඒවලට වෙනම සපත්තු ජාතියක් තියෙනවා. ඒවට කියන්නෙ 'සින්ඩරෙල්ලා සපත්තු' කියලා. හැබැයි ඒවා සින්ඩරෙල්ලගෙ නැති වුණු සපත්තුවට වඩා නම් ගොඩක් වෙනස්.

සින්ඩරෙල්ලා සපත්තුවල ඇඟිලි තියෙන හරිය කෙටියි. කෝට් ෂූ එකක් වගේ වුණාට අපි දන්න කෝට් ෂූ එකට වඩා ටිකක් වෙනස්. මේ සපත්තුව දාන්න නම් අර කියන සින්ඩරෙල්ලා සර්ජරි එක කරලා තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ ප්‍රමාණයෙන් කුඩා පතුල්, කෙටි ඇඟිලි තියෙන අයට විතරයි මේවා දාන්න පුළුවන් වෙන්නෙ. 


සින්ඩරෙල්ලා කකුල් නැති, ඒත් සින්ඩරෙල්ලා සපත්තු දාන්න කැමැති අය දැන් පෝලිමේ ගිහින් සින්ඩරෙල්ලා සර්ජරි එක කර ගන්නවලු. 

මේකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නෙ ගැහැනු ළමයින්ගෙ කකුල්වල දිග ඇඟිලි කෙටි කරලා දෙන එකයි. ගොඩක් අයගෙ කකුලෙ පළමුවැනි ඇඟිල්ලට වඩා දෙවැනි ඇඟිල්ලයි තුන්වැනි ඇඟිල්ලයි දිගින් වැඩියිනෙ. 

ඉතිං එහෙම දිගට කැතට තියෙන දෙවැනි ඇඟිල්ලයි තුන්වැනි ඇඟිල්ලයි සින්ඩරෙල්ලා සර්ජරි එකේදි කපලා කොට කරනවා. ඒ කියන්නෙ පළමුවැනි ඇඟිල්ලෙ සයිස් එකට කොට කරනවා. ඇඟිල්ල කපලා කොට කරනවා කියන්නෙ ඇඟිල්ලෙ අස්ථියත් කපලා කොට කරන්න වෙනවා.

ඊට පස්සෙ කරන්නෙ මහපට ඇඟිල්ලට ටිකක් පහළින් තියෙන අර එළියට නෙරලා වගේ තියෙන අස්ථිය කපලා අයින් කරන එක. ඒ වගේම සුළැඟිල්ලට ටිකක් පහළින් තියෙන කලින් වගේ එළියට නෙරපු අස්ථියත් කපලා අයින් කරන්න වෙනවා. 


එහෙම කරන්නෙ මේ අස්ථි දෙක නිසා කකුල පළල් වගේ පෙනෙන එක නැති කරන්නයි. මේ ටික කරන්න ඔපරේෂන් හතක්වත් කරන්න ඕනෙ වෙනවා. එක කකුළක ඇඟිලි දෙකක් කොට කරන්න සාමාන්‍යයෙන් පැය දෙකක් විතර යනවා.

කකුල පළලින් වැඩි කරලා පෙන්වපු අස්ථි දෙක කපලා දාන්න පැය හතරක් විතර යනවා. අනිත් එක තමයි කකුල් දෙකටම එක පාර මේ ඔපරේෂන් එක කරන්නෙත් නෑ. එක කකුලකට කරලා ඒක හොඳ වුණාම තමයි අනිත් කකුලට කරන්නෙ.

මේ සම්පූර්ණ ඔපරේෂන් සෙට් ගත්තොත් එක කකුලකට පැය පහළව ගාණෙ පැය තිහක් විතර යනවා. ඇඟේ තියෙන ලේ පයින්ට් පහමාරක් හයක් විතර අපතෙත් යනවා. ඔන්න ඔය විදියට තමයි ඔයගොල්ලන්ටත් සින්ඩරෙල්ලා කකුල් හදාගන්න වෙන්නෙ.


මීට අවුරුදු පහකට විතර කලින් බි්‍රතාන්‍යයෙන් පටන් ගත්ත මේ සින්ඩරෙල්ලා කකුල් හදා ගැනීමේ කලාව (එහෙමත් නැත්නම් සින්ඩරෙල්ලා කකුල් උමතුව) මේ වෙනකොට රටවල් හත අටකම සිද්ධ වෙනවා. මේ වැඩේට වැඩි ගාණක් වියදම් වෙන්නෙ නෑ. 


ඇඟිලි කොට කර ගන්න වැඩේ ස්ටර්ලිං පවුම් 4500ක් වගේ අවම ගාණකට කරගන්න පුළුවන්. ඒක අපේ රටේ රුපියල්වලින් හරිම පොඩ්ඩයි. ඒ කියන්නෙ රුපියල් ලක්‍ෂ දහයක් විතර. ඊට පස්සෙ දෙපැත්තෙ තියෙන අස්ථි දෙක කපලා දාන වැඩේට ස්ටර්ලිං පවුම් 6000යි. 

ඒ කියන්නෙ රුපියල් දහතුන් ලක්‍ෂ පනස් දාහයි. එතකොට සම්පූර්ණ ගාණ රුපියල්වලින් නම් විසිතුන් ලක්‍ෂ පනස් දාහයි. මේ ඔපරේෂන් එකේ ගාණ කීය වුණත් බි්‍රතාන්‍යයෙ ඉන්න අක්කලා නංගිලා ඇන්ටිලා විතරක් නෙවෙයි ආච්චි අම්මලා පවා සින්ඩරෙල්ලා සර්ජරිය කරගන්න පෝලිං ගැහිලා ඉන්නවලු.

බි්‍රතාන්‍යයේ මේ වැඩේට ඉන්න සුපිරිම කෙනා තමයි ශල්‍ය වෛද්‍ය අලි සැන්ඩ්‍රියා. එයා පසුගිය දවසක 'ද ඩොක්ට' කියලා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙලා සින්ඩරෙල්ලා සැත්කම ගැන ගොඩක් දේවල් කියල දුන්නා. 


සමහර දවස්වලට එක දිගට බි්‍රතාන්‍ය කාන්තාවො සිය ගණනක් මේ සැත්කමට ලියාපදිංචි වෙනවලු. ඒ අයගෙ සෞඛ්‍ය තත්ත්වය, වයස වගේ දේවල් බලලා දවසකට කට්ටිය විසි තිස් ගාණක් ඔපරේෂන් කරන්නත් සිද්ධ වෙනවලු. ඔන්න ඕකයි එහෙ තත්ත්වෙ.

හැබැයි ඉතිං තාම මේ වැඩේ මේ පැත්තට නම් ඇවිල්ලා නෑ. එහෙම ආවත් මොකද? විසි තුන් ලක්‍ෂ පනස් දාහයිනෙ වියදම් වෙන්නෙ.
ඇයි අනේ විසි තුන් ලක්‍ෂ පනස් දාහ වගේද සින්ඩරෙල්ලා කකුල්?
 
Related Posts with Thumbnails