Ads 468x60px

.

ගහක්‌ ගලක්‌ යට "පෙම්සුව" විඳින පෙම්වතුන් හා හෝටල්වල "පෙම් කෙළියේ" යෙදෙන පෙම්වතුන්


තවත් "පොලිසියේ පොලිෂ් වැඩක්‌" ගැන ඊයේ (09 වැනිදා) වාර්තා වී තිබිණි. නොදන්නා අයට සිද්ධිය ගැන කිව යුතුය. දඹුලුගල වඩාත් ප්‍රසිද්ධ කාරණයට අමතරව තවත් කාරණයක්‌ තිබේ. ඒ උපකාරක පන්තිවලට යන එන පෙම්වතුන් සහ පෙම්වතියන්ගේත් ප්‍රේමය අත්විඳීමට එන තවත් බොහෝ පිරිසකගේත් නවාතැන්පළක්‌ ලෙසය. 

දඹුල්ල පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මහතා පසුගිය දවසක මේ දඹුලුගලේ අපූරු මෙහෙයුමක්‌ කළේය. මෙහෙයුමට අනුව තරුණ පෙම්වතුන් පෙම්වතියන් සේ "වෙස්‌ගැන්වූ" කාන්තා හා පුරුෂ පොලිස්‌ "ජෝඩු" කිහිපයක්‌ දඹුලුගලේ පෙම්සුව විඳිමින් අවට "ගැටවර" ජෝඩු
පෙම් කෙළින ආකාරය නිරීක්‍ෂණය කර අත්අඩංගුවට ගෙන තිබේ. 

අනතුරුව පොලිසියට කැඳවූ එකී ගැටවර තරුණ ජෝඩුවලට පොලිසිය "ටියුෂන්" එකක්‌ දී ඇත්තේ විනය හා හැදියාව ගැනය. මවුපියන් දරුවන් හදාවඩා ගැනීමට විඳින දුක, උපකාරක පන්ති "කට්‌" කර " පෙම් සුව විඳීමෙහි ආදීනව ආදි බොහෝ "විෂයය නිර්දේශයන්" ඒ උපකාරක පන්තියේ අඩංගුව තිබී ඇත. මේ වැඩේ හොඳය. ඒ ගැන විවාදයක්‌ නැත.

ප්‍රශ්නය ඇත්තේ, පෙම් සුව විඳීම නරකද යන්නය. ඊට පිළිතුරු ගණනාවක්‌ දීමට බොහෝ දෙනෙක්‌ ඉදිරිපත්වනු නොඅනුමානය.

තරුණ පරම්පරාවේ හැදියාව ගැන ප්‍රශ්න කිරීම්වලට අමතරව සංස්‌කෘතිය සභ්‍යත්වය ගැනද බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කරනු නිසැකය. එමෙන්ම රටේ ලිංගික අපරාධ වැඩිවීමටද එය හේතුවනු ඇතැයි කියනු නොඅනුමානය.

අපට ඇත්තේ මෙවැනි ප්‍රශ්නයකි. මෙය වලංගුවන්නේ මල්වතු ගානේ, සිනමාහල් ගානේ, රට වටා ඇති මුහුදු තීරයේ වැටකෙයි ගාල් අස්‌සේ පෙම්සුව විඳින තරුණ ජෝඩු පමණද මේ තරම්ම සංස්‌කෘතියට සදාචාරයට හානිකර, රටේ ලිංගික අපරාධ වැඩිවන තරමට පෙම්සුව විඳින්නේ....?

රටේ ඉහළම පෙළේ හෝටල්වල දිවා රෑ දෙකෙහිම පෙම් සුව උපරිමයෙන් අත්විඳින ජෝඩු කාමරයෙන් කාමරයට තට්‌ටු කළ විට අත්අඩංගුවට ගැනීමට හැකි බව අපි මතක්‌ කර දෙමු. ඒ ගැන ඔත්තු සැපයීමට අවශ්‍ය නොවන්නේ පොලිසියේ මහත්වරු සහ අදාළ වගකිව යුත්තන්ද ඒ බව දන්නා බව අප හොඳින්ම දන්නා නිසාය. සමහරවිට අදාළ ඉහළ වගකිවයුත්තන්ගේ දූ දරුවන්ද ඒ හෝටල් කාමරවලදී අත්අඩංගුවට ගැනීමට හැකිය.

ඒ පමණක්‌ නොවේ, රාත්‍රි සමාජ ශාලාවකට ගොඩවැදුණු විටද මෙවැනි තරුණ ජෝඩු බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමට හැකි බවද අපි සිහිපත් කර සිටිමු. නිකම්ම නොවේ, මත්පෙති, මත් වතුර බී අඩ සිහියෙන්, අඩ නිරුවතිනි. එතෙක්‌ මෙතෙක්‌ එවැනි වැටලීමක්‌, අත්අඩංගුවට ගැනීමක්‌, ටියුෂන් දීමක්‌ අප අසා නැත. 


දඹුලුගලේ නොව රටේ කොතැනක හෝ ගහක්‌ ගලක්‌ යට "පෙම්සුව" විඳින තරුණ තරුණියන්ගේ හා සුපිරි හෝටල්වල දිවා රාත්‍රි "පෙම් කෙළියේ" යෙදෙන තරුණ තරුණියන් අතර වෙනසක්‌ නැත. වෙනස ඇත්තේ සමාජ පැලැන්තියේය. 

සුපිරි වාහනයකින් පැමිණ පෙම් කෙළියේ විඳින පිරිසට එක්‌ ආකාරයකටත්, බස්‌ රථවල කට්‌ට කා පැමිණ පෙම් සුව විඳින තරුණ තරුණියන්ටත් දෙවිදියකට සැලකීම ගැන අපට ඇත්තේ දැඩි විරෝධයකි.

ගස්‌ ගල් යට පෙම් කිරීම සාධාරණීය කිරීම අපේ අරමුණ නොවේ. එහෙත් යෞවනයේ ප්‍රේමය අත්විඳීමට නොහැකිව පීඩාවට පත්ව සිටින පිරිසකට මෙවැනි අවස්‌ථාවක්‌ ලැබීම ගැන ඊටත් වඩා කල්පනා කළ යුතුය.

එස්‌. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා ගැන සමාජයේ කවර කතා බහක්‌ තිබුණද ඔහු තරුණ තරුණියන්ගේ මේ අසහනකාරී මානසික මට්‌ටම ගැන අවබෝධයෙන් සිටි බව අපි විශ්වාස කරමු. ඔහු වරක්‌ තරුණ තරුණියන් වෙනුවෙන් "පෙම් උයන්" තනන්නට යෝජනා කළේ එහෙයිනි. 


තමන් තරුණ වයසේ පෙම්කළ ආකාරය අමතක කළ ලොම් හැලුණු සංස්‌කෘතික සුචරිතවාදීන් එස්‌. බී. ගේ එම වෑයම සමාජයේ හාස්‍යයට හා උපහාසයට ලක්‌වන අයුරින් කටයුතු කළේය.

කෙසේ හෝ දඹුල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාට අපේ ස්‌තුතිය පිරිනැමිය යුතුය. ඒ එම ප්‍රවෘත්තිය පහත ආකාරයට ලිවීමට ඉඩක්‌ නොතැබීම ගැනය. "දඹුලු ගලේ පෙම් සුව විඳි තරුණ ජෝඩු අල්ලා ඔවුන්ගේ මවුපියන් කැඳවා තරයේ අවවාද කර මුදා හැර ඇත."

තරුණ ජෝඩු පෙම් සුව විඳීම ගැන යථාර්ථවාදීව සිතමු.
 
Related Posts with Thumbnails