Ads 468x60px

.

පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටුණු උදාර හර්ෂණගේ මරණයේ පසු කතාව


සියඹලාණ්‌ඩුවේ පදිංචිකරුවකු වූ උදාර හර්ෂණ පසුගියදා කොළඹදී මළේ ය. ඔහුගේ මරණයට හේතුව, කොළඹ ඔහු වැඩ කළ ආයතනයේ පරිප්පු ගබඩා කර තිබූ ටොන් 60 ක්‌ පමණ බරැති ටැංකියක්‌ සිරුර මත කඩා වැටීම ය. 

උදාරගේ මරණයෙන් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ මාපියෝ අනාථ භාවයට පත්ව සිටිති. මේ මරණය ගැන පොලිසිය පරීක්‍ෂණ පටන්ගෙන ඇත. 

පරිප්පු ටැංකිය තුළ එයට දැරිය නොහැකි තරම් පරිප්පු ගබඩා කර තිබුණේ ද යන්නත් පරිප්පු ටැංකිය නියම ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව
ඉදිකර තිබුණේ ද යන්නත් සෙවීමට ඉංජිනේරු සංස්‌ථාවේ සහාය ලබාගැනීමටත් ඔවුහු කටයුතු කරගෙන යති. 

බෙරය පැලුණු පසු එය සාදා ඇති හම ගැන සෙවීමෙන් පලක්‌ නැත. එම සම අයත් සතා කවරෙක්‌ද, එම සම ලුණු දමා පදම් කළේ නිසි ප්‍රමිතියට ද නැද්ද, සම පදම් කිරීමට යොදාගත් ලුණු නිසි ප්‍රමිතියට තිබුණේ ද නැද්ද, එම ලුණු ලබාගත් ලේවාය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිති සහතිකයට අනුකූලව ඉදිකර තිබුණේද නැද්ද යනාදී ප්‍රශ්න බෙරය පැලුණු පසු සෙවීමෙන් වැඩක්‌ නැත. 

බෙරය පැලුණු පසු අවශ්‍ය වන්නේ නියම ප්‍රමිතියට අනුකූල සමක්‌ යළිත් වරක්‌ බෙරයට සවි කිරීම ය. මේ අනුව කඩා වැටුණු පරිප්පු ටැංකිය වෙනුවට අලුතින් පරිප්පු ටැංකියක්‌ ඉදිකිරීමේදී එහි ප්‍රමිතිය පවත්වාගෙන යැම සඳහා ඉංජිනේරු සංස්‌ථාව හෝ වෙනයම් නිසි බලධාරියකුගේ සහය ලබාගැනීම කළ යුතු ය. නැවත වතාවක්‌ මෙවැනි ෙ€දවාචකයක්‌ නොසිදුවන්නේ එසේ පියවර ගතහොත් පමණක්‌ ය.

උදාරගේ ඔළුවට කඩාවැටුණු පරිප්පු ටැංකියේ කතාව විසින් කියනු ලබන්නේ ඔහු මියගොස්‌ ඔහුගේ පවුලේ අය අනාථ වූ බව පමණක්‌ම නොවේ. එය මතුපිට කතාව පමණි. ශ්‍රී ලංකාවේ Industrial security හෙවත් කර්මාන්තශාලාව තුළ ආරක්‍ෂාව කෙබඳු තත්ත්වයක පවතීද යන්න මෙහි ඇතුළත කතාවය. 


ලංකාව වූ කලී සංවර්ධනය වෙමින් පවත්නා රටකි. රටේ සංවර්ධනය සහ ආර්ථිකයේ පැවැත්ම සඳහා උපයෝගි වන කර්මාන්ත, ඒවායේ සේවකයන්ට සහ පරිසරයට කරන බලපෑම යන කාරණයේදී ශ්‍රී ලංකාව කලාපයේ සෙසු රටවලට වඩා යම් ප්‍රමාණයක්‌ ඉදිරියෙන් සිටී. 

එසේ වුවද කර්මාන්ත සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් විටින් විට මතුවන ප්‍රශ්න ඇත. ඉන්දියාවේ භූපාල් නගරයේ පිහිටි යුනියන් කාබයිට්‌ කම්හලේ බටයක්‌ පුපුරා විෂ වායුවක්‌ පරිසරයට එකතුවීම නිසා මෙයට වසර තිහකට පෙර දස දහසක්‌ පමණ මැරී ලක්‍ෂයක්‌ පමණ සදාකාලික රෝගීන් බවට පත් වූහ. 

ඒ තරමට නැතත් රතුපස්‌වල කම්හලක විෂ රසායනික ද්‍රව්‍ය ප්‍රදේශයේ පසට කාන්දු වීම නිසා ගම්වාසීන්ගේ ළිං ජලය විෂ වී ඔවුන්ගේ සෞඛ්‍ය මහත් අවදානමකට ලක්‌ විය. මේ රටේ සමහර ගම්බද ප්‍රදේශවල ගල්කොරි නිසා අහල පහල ගෙවල්වල බිත්ති ඉරිතලන අවස්‌ථා ඕනෑ තරම් තිබේ. 

උමාඔය ව්‍යාපෘතිය නිසා එය අවට පිහිටි සමහර ගම්මානවල ළිං සිඳී ගොස්‌ ඇත. ටයර් රී බිල්ඩ් කරන සමහර කම්හල් අවට ගෙවල්වල වහළ කළු පැහැති රබර් කුඩු වර්ගයකින් වැසී ඇති අතර එම කුඩු වැටීම නිසා එම පෙදෙස්‌වල ළිං ජලය කළු පාට වී ඇත. 

නාගරිකව පිහිටි ඇතැම් කම්හල් නිසා මිනිසුන්ට කනක්‌ ඇහෙන්නට බැරි තරම් හඬ නැඟී බරපතළ ශබ්ද දූෂණයක්‌ සිදුවන්නේ ය. මෙය පරිසරයේ පැත්තයි. අනාරක්‍ෂිත තත්ත්වයන් යටතේ සේවය කරන සේවකයන්ගේ පැත්ත ද භයානක ය. 

ඉදිකිරීම් සිදුවන වැඩබිම් බොහොමයක සිමෙන්ති බදාම සමඟ සම්බන්ධ වන කම්කරුවන්ට නිසි මුකවාඩම්, අත් ආවරණ හෝ හිස්‌වැසුම් නැත. 

දීර්ඝ කාලයක්‌ සිමෙන්ති ආශ්වාස කළ විට ක්‍ෂයරෝගය සහ වෙනත් ශ්වසන රෝග වැළඳෙයි. නිරාවරණය වූ අතින් දිගු කලක්‌ සිමෙන්ති අතපත ගෑ විට අත්වල සම පුපුරයි. අප නොදන්නවාට මේ රටේ කම්හල් තුළ දෛනිකව අනතුරු බොහොමයක්‌ සිදුවෙයි. 

ඒවා වාර්තාගත නොවන අනතුරු ය. දරුණු වුණොත් සේවකයාට මරු කැඳවන අනතුරු ය. උදාර හර්ෂණ මුහුණ දුන්නේ ද එවැනි සිද්ධියකට ය.
 
Related Posts with Thumbnails