Ads 468x60px

.

අපේ දේශපාලනයේ නින්දිත හා කැත ස්වරූපය පෙන්නුම් කරන සිදුවීම්


අපේ දේශපාලනයේ නින්දිත හා කැත ස්වරූපය පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක් පුවත්පත් වාර්තා කර තිබිණි. එයින් සිදුවීම් දෙකක් කෙරෙහි අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. 

එක; කිරුළපන රැස්වීමක දී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහර දීම ය. දෙක; කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට තාප්පයකින් පහළට ඇද දමා පහර දීම ය. පහර කෑ දෙදෙනා ම අලුත්
ආණ්ඩුවට හිතවත් එලෙස ම කැපී පෙනෙන චරිත දෙකක් ලෙස හඳුනාගත හැකි ය.

ආචාර්ය නිර්මාල් රංජිත් මහතාට පහර දී ඇත්තේ කිරුළපන පැවැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරමින් පැවැත් වූ රැස්වීම නැරඹීමට ගොස් සිටියදී ය. මැයි පළමුවනදා පැවැති මේ රැස්වීමේ දී නිර්මාල් මහතා සලකා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ විරුද්ධවාදියකු ලෙස ය. 


විරුද්ධ මත දරන අයට මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීම්වලට සහභාගි වීම පමණක් නො ව; ඒවා නැරඹීම ද තහනම් බවක් මෙයින් හැඟී යයි. නැවත බලයට පත්වීම සඳහා මහජන සහාය පතන්නේ මෙබඳු කැත දේශපාලනයක යෙදීමට නම්; ජනතාව එබඳු නායකයන් ගැන දෙවරක් කල්පනා කළ යුතු ය.

කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාට පහර දී ඇත්තේ එම සභාවේ සිදු වී ඇතැ’යි කියන දූෂණ හා වංචාවලට එරෙහි විරෝධතාවක යෙදී සිටින අතරතුර ය. විපක්ෂ නායකවරයා දූෂණ හා වංචාවලට එරෙහි ව උපවාසයක් ආරම්භ කර ඇත්තේ තාප්පයක් මත සිට ය. 


නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණි උපවාසකරු තාප්පයෙන් බිමට ඇද දමා පහර දුන් බවක් පුවත්පත් වාර්තා කර තිබිණි. ඊට අදාළ ඡායාරූප කිහිපයක් ද ඇතැම් පුවත්පත්වල පළකර තිබිණි. උපවාසකරුවකුට පහර දීම දේශපාලන වශයෙන් අන්තිම කැත වැඩකි.

පහරකෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත. ආචාර්ය නිර්මාල් රංජිත් මහතාට ඕනෑම රැස්වීමකට සහභාගි වීමේ අයිතිය ද ඒවා නැරඹී‍ෙම් අයිතිය ද තිබේ. 


දේශපාලන විචාරකයකු ද විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ද වන ඒ මහතාට දේශපාලන රැස්වීමක් නැරඹීමේ අයිතියවත් නැති නම්; මේ රටේ නීතියෙන් ඇති වැඩක් නැත. ආචාර්ය නිර්මාල් රංජිත් මහතාට පහර දුන් අය සොයාගෙන ඔවුනට දැඩි දඬුවම් ලබා දිය යුතුය. 

මෙබඳු චණ්ඩි පාට්වලට වහා ම වැට බැඳිය යුතුය. මේ රැස්වීමේ වීඩියෝ පට කිරුළපන පොලිසියට ලබා දෙන්නැ’යි උසාවි නියෝගයක් තිබේ. එය ඉතා හොඳ තීරණයකි. වීඩියෝ පටවලින් චණ්ඩීන් කවුදැ’යි හඳුනා‍ගත හැකිය.

නගර සභාවේ දූෂණ හා වංචා ගැන කතා කිරීමේ අයිතියක් එහි විපක්ෂ නායකවරයාට ‍තිබේ. ඒ පිළිබඳ විරෝධතාවක් දැක්වීමේ දේශපාලන අයිතිය ද ඒ මහතාට තිබේ. විපක්ෂ නායකවරයා සිදුකර ඇත්තේ සද්ක්‍රියාවෙකි. ඔහු එය සිදුකර ඇත්තේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්ය.


දූෂණ හා වංචාවලට සම්බන්ධ දේශපාලකයන් පරීක්ෂණවලට කැමැති නැත. විරෝධතාවලට ද කැමැති නැත. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ එබඳු අවස්ථා වැළැක්වීමය. 

ශරීර බලය පාවිච්චි කර හෝ විරෝධතා වැළැක්වීමට මේ දේශපාලකයෝ උත්සාහ කරති. ඉන් පෙනී යන වැදගත් කාරණය වන්නේ මේ කියන පුද්ගලයන් දූෂණ හා වංචාවලට සම්බන්ධ අයවලුන් බව ය.

දූෂණ - වංචා හා අක්‍රමිකතා පිළිබඳ සොයා බලන හා විමර්ශනය කරන වැඩසටහන්වලට එරෙහි ව ක්‍රියා කරන සංවිධානාත්මක පිරිසක් ද අප අතර සිටිති. පසුගිය දා පාර්ලිමේන්තුව තුළ ද එවැන්නක් සිදු විය. 


එයින් පෙනී යන තවත් කාරණයක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන අය මේ රටේ නීතියට හා සම්ප්‍රදායට අභියෝග කරන බවය. නැතහොත් නීතිය හා සම්ප්‍රදාය තුට්ටුවකට මායිම් නොකරන බවය.

ඇතැම් විට ඒකාධිපති පාලනයක මිහිරි රසය එය විය හැකි ය. රට යළිත් ඒකාධිපති ක්‍රමයක් කරා ගෙන යෑමේ වුවමනාව ද මේ පිරිසට ඇතැ’යි සිතන්නට පුළුවන.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ද මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ගැන ද නිතර ආවේගශීලීව කතා කරන වමේ නායකයකු වූ වාසුදේව නානායක්කාර මහතා නිර්මාල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විවේචනයක් සිදු කර තිබිණි.


එහි සඳහන් ව ඇත්තේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා කිරුළපන රැස්වීමට පැමිණ ඇත්තේ චර පුරුෂ සේවයක යෙදීමට යන්න ය. 

වාසුදේව නානායක්කාර මහතා එබඳු පූර්ව විනිශ්චයකට එළඹීමෙන් පෙනී යන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ පහරදීම අනියමින් අනුමත කිරීම ය. අනෙක වන්නේ ආචාර්ය නිර්මාල් රංජිත් මහතා මහින්ද විරෝධියකු ලෙස හංවඩු ගැසීම ය. ඒ දෙක ම නො කළ යුතු දේවල් ය.

ආණ්ඩුවේ යහ පාලන ක්‍රියාවලිය දේශීය වශයෙන් පමණක් නො ව; විදේශීය වශයෙන් ද පැසසුමට ලක් වී ඇත. පසුගියදා දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සිය දේශනයේදී කිහිප වරක්ම කියා සිටියේ දැන් ශ්‍රී ලංකාව වෙනස් බව ය. 


මේ වෙනස යහපත් වෙනසකි. එදා ශ්‍රී ලංකාව හැඳින්වූයේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒකාධිපති හා හිතුවක්කාරී අසාර්ථක රාජ්‍යයක් ලෙස ය. මේ නිසා මුළු බටහිර ම ශ්‍රී ලංකාවට එරෙහි විය. යළිත් එබඳු තත්ත්වයක් ඇති කිරීමට ඇතැමුන්ට වුවමනා වී තිබේ. එය වැළැක්විය යුතු ය.

පසුගිය කාලය තුළ සිදු වූ දූෂණ - වංචා හා අක්‍රමිකතා ගැන විශාල විරෝධයක් මහජනයා තුළ තිබේ. මේ විරෝධය වරින් වර පුපුරා යන්නේ විරෝධතා හා උද්ඝෝෂණ මාර්ගයෙන් ය. ආණ්ඩුව මේ විරෝධතා කරුවන් ගැන ද සෙවිල්ලකින් සිටිය යුතු ය.


නැතහොත් සංවිධානාත්මක පිරිස් අහිංසක මහජනයාට පහර දෙන්නටත් පුළුවන. ආණ්ඩුව තේරුම් ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ දූෂිතයන් පසුපස ද පිරිසක් සිටින බව ය.
 
Related Posts with Thumbnails