Ads 468x60px

.

අධිකරණයට හා විනිසුරුවන්ට හූ කියා අපහාස කළ ඇමති දැන් විල්පත්තුවට හූ කියයි


හලාල් නීතිය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාපිත නීතියක්‌ නොවේ. එහෙත් මුස්‌ලිම්වරු පසුගිය කාලයේ එය නීතිගත කරන්නට දැඩි උත්සාහයක්‌ ගත්තද අවසානයේ සිදුවුයේ කැමති අයට පමණක්‌ එය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට කටයුතු සිදුවීමය. 

එහෙත් අද යළිත් එවැනි ආකාරයේ රටේ නීතියට පිටින් විල්පත්තු හා මඩු ප්‍රදේශවල ජාතික වනෝද්‍යාන එළිපෙහෙළි කරමින් අක්‌කර සිය ගණනක මුස්‌ලිම් ජනාවාස ඇතිකෙරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ආණ්‌ඩුවේ ප්‍රබලම ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ටය.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට සහ මඩු, වවුනියාව, මන්නාරම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් බෙදා දීම ජනාධිපති මෛත්‍රීපාල

සිරිසේන මහතාගේ විශේෂ නියෝගයක්‌ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. 

ඒ පිළිබඳ වහාම පියවර ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ අදාළ ප්‍රදේශවල සියලු බලධාරීන්ට නියෝග කර ඇත. අදාළ ප්‍රදේශවල කැලෑ කැපීම් සහ ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස්‌ ලබා දී ඇත.

මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි අපගේ ගෞරවය හා ප්‍රශංසාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට පළකර සිටින්නෙමු.

විල්පත්තු අභය භූමිය හෙළි පෙහෙළි කර සිදුවන අනවසර පදිංචි කිරීම් පිළිබඳව පසුගිය කාලයේ මාධ්‍ය මගින් දිගින් දිගටම රටට පෙන්වා දෙන ලදී. විල්පත්තු අභය භූමියේ ස්‌වාරක්‌ෂක කලාපයේ සිදුවන අනවසර පදිංචිකිරීම් අනාගත අලි මිනිස්‌ ගැටුමකට හේතු වන බව ද , මඩු රක්‌ෂිතයේ සිදුවන්නා වූ වන විනාශය ද එමගින් රටට පෙන්වා දෙන ලදී.

පසුගිය රජය සමයේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ද මේ පිළිබඳව විවිධ අංශ මගින් පැමිණිලි කළ නමුත් කිසිදු පියවරක්‌ ගැනුණේ නැත.

විල්පත්තු අභය භූමිය අවට පවතින රක්‌ෂිතවල වන අලීන් 200 කගේ පමණ නිජභූමිය වන බව පැවැසේ. පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට දැනටමත් අභයභූමිය තුළ රක්‌ෂිත හෙළි කිරීම නිසා අලි මිනිස්‌ ගැටුම උග්‍රවී ඇත.

එසේම මේ ප්‍රදේශ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ජාතික උරුමයන්ට විවිධ ආගම් හා සංස්‌කෘතියන් පදනම් වූ ප්‍රදේශයන්ය. ඒ ප්‍රදේශවල ඇති අවුරුදු දහස්‌ ගණන් පැරණි නටබුන් අයත් වන්නේ එම ශිෂ්ටාචාරය නිර්මාණය කළ අයට පමණක්‌ නොව සමස්‌ත ලෝකයටමය. රිෂාඩ් බදියුදීන් යනු කවදත් විවාදාත්මක පුද්ගලයෙකි.

රටේ නීති රීති කිසිත් නොසලකමින් මීට පෙර මුස්‌ලිම් රටවල්වලින් Riජුව විදේශාධාර ලබාගැනීමට කටයුතු කළේ ද මේ ඇමැතිවරයාමය. ආණ්‌ඩුවේ සෙසු ඇමැතිවරු සතු වූ ආයතන රැසක්‌ තමන් සතු කරගෙන අද ආණ්‌ඩුවේ වැඩිම ආයතන ගණනක්‌ පාලනය කරන්නේ ද මොහුය. 


රටේ ආර්ථික වශයෙන් මර්මස්‌ථාන ලෙස හඳුන්වා දිය හැකි ආයතන ගණනාවක්‌ද, ඔහු යටතේ පාලනය වේ. අද එම ආයතන කීපයක්‌ම පණ අදින තත්ත්වයට පත්කෙරෙමින් තිබේ.

අධිකරණයට හා විනිසුරුවන්ට හූ කියා අපහාස කළේ ද මේ අමාත්‍යවරයාය.

මෙවන් සියලු කාරණා ඉදිරියේ සියලුම රජයන් මෙන්ම ප්‍රධාන පක්‌ෂ සියල්ලම නිහඬ නියාලු ලෙස සිටින්නේ මේ පුද්ගලයා සතු මන්ත්‍රී ධුර කීපය නිසාය. ඉදිරි මහ මැතිවරණයෙන් පසු පිහිටුවන රජයකදී මෙබන්දන් කිසිලෙසකත් තමන්ගේ රජයට සම්බන්ධ කර නොගන්නා බවට සහතිකයක්‌ ප්‍රධාන පක්‌ෂ දෙක විසින්ම රට හමුවේ තැබිය යුතුය. එසේ නොකරන පක්‌ෂ සම්බන්ධයෙන් රටේ ජනතාව තීරණයක්‌ ගත යුතුව තිබේ.

අවසාන වශයෙන් කිවයුත්තේ අපට ප්‍රශ්නය ඇත්තේ මේ ඇමැතිවරයාගේ වර්ගය, ජාතිය ගැන හෝ ආගම ගැන නොවන බවය . අපට ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළ ගැනය. ආණ්‌ඩුවේ තවත් ඕනෑතරම් මුස්‌ලිම් ඇමැතිවරු සිටිති. එහෙත් ඔවුන් මේ ආකාරයට හැසිරෙන්නේ නැත.

මේ ජාතික වනෝද්‍යානවල සිදු වූ සිදුවන වන විනාශයට අමතරව නිවාස ඉදිකිරීම් හා පදිංචි කිරීම් පිළිබඳව සැබෑ සත්‍යය සොයා මේවට වගකිවයුතු අදාළ පුද්ගලයන් නීතියේ රැහැනට ගෙන එන ලෙසට අපි ආණ්‌ඩුවට බල කර සිටිමු.

මෙතෙක්‌ කල් මේ සම්බන්ධයෙන් පියවර නොගත් බලධාරීන්ගෙන් ද නිදහසට කරුණු විමසිය යුතුය. ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතුය. යහපාලනයේ හෙට දවස සාර්ථක වන්නේ එවිටය. නීතිය සැමටම ක්‍රියාත්මක වන බව පෙනෙන්නේ එවිටය.
 
Related Posts with Thumbnails