Ads 468x60px

.

නොදන්නා තොත්ත බබාලාගේ දැනැගැනීම පිණිසයි


සාම්පූර් "විදුරැ නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් දේශපාලන බලපෑමකට නොව, අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ වැඩපිළිවෙල යටතේ යෑයි නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා පැවසූ පුවතක් ඊයේ අපට වාර්තා වුණා.

එය නම් යස කතාවකි. ඔහු කියන අයුරින් දැනෙන්නේ "විදුර" කඳවුර පිහිටි ප්‍රදේශය යනු හැන්දෑවට කොල්ලන් කුරුට්‌ටන් පන්දු කෙළීමට ගන්නා, නැතිනම් සංගීත සංදර්ශන "ආතල් " එකක්‌ ගැනීමට හැකි

ආකාරයේ "සෙල්ලම් තැනක්‌ "ලෙසිනි. 

ඉතින් එවන් "සෙල්ලම්" සඳහා යොදාගත් බිමක්‌ එහි මුල් පදිංචිකරුවන් ගේ නැවත පදිංචිය පිණිස ලබා දීම මොනතරම් අගනේද? එය සාධාරණ රටවැසියන් ලෙසින් අත්පුඩි ගැසීමට තරම් අගනා කටයුත්තකි. එය දෑත් එකතුකර සාධුකාර දීමට තරම් වටිනා කර්තව්‍යයකි. එසේද?

හයවැනි ඊළාම් යුද්ධයේදී අපගේ රණවිරුවන් විසින් ජීවිත පූජාවෙන් මෙම ප්‍රදේශය අල්ලාගැනීමට පෙර මෙහි තිබුණේ මොනවා දැයි, මේ කඳවුර ගලවා දමනතුරු නින්ද නොයන මානසිකත්වයක සිටින අයුරින් ප්‍රකාශ නිකුත් කරන සහ එම ප්‍රකාශ සඳහා ඔවුන්ගේ රූකඩ නූල අත තබාගෙන සිටින බලධාරීන්ගෙන් අසමු.

එදා 2002 සාම වකවානුවේ එල්. ටී. ටී. ඊ ය විසින් ඉතාම නිදහසේ සිය කාලතුවක්‌කු ස්‌ථාපිත කළේ අද මේ "විදුර" කඳවුර පිහිටි පෙදෙසේ නොවේද? 2006 අගෝස්‌තු මස 01 වැනිදා ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරට, නාවික හමුදා කඳවුරට, ත්‍රිකුණාමල නගරයට කාලතුවක්‌කු වෙඩි සමග දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කරමින් ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීම සඳහා උත්සාහ ගත්තේ මෙතැන සිට නොවේද? එල්.ටී.ටී.ඊ යේ නැගෙනහිර නායක ස්‌වර්ණම්ගේ නිවස සහ මෙහෙයුම් මධ්‍යස්‌ථානය තිබුණේ මෙතැන නොවේද? එල්. ටී. ටී. ඊ මහවිරු සොහොන තිබුණේ මෙතැන නොවේද?

නොදන්නා තොත්ත බබාලාගේ දැනැගැනීම පිණිස මෙතැන් සිට අප දන්නා දේ සඳහන් කරමු.

එල්. ටී. ටී. ඊ ය ත්‍රිකුණාමලයට දකුණින් සංග්‍රාමිකව වඩාත් වැදගත් ස්‌ථානය ලෙස එදා යොදාගත්තේ අද මේ "විදුර" කඳවුර පිහිටි පෙදෙසයි. ත්‍රිකුණාමලය වරායේ දකුණු පිවිසුම් මාර්ගයේ දොරටුවක්‌ වන් මේතැන සිට අවිබලය යොදමින් ක්‍රියාත්මක වුවහොත් ත්‍රිකුණාමලය වරායේ බලය අල්ලාගැනීමට හැකිවන්නේය. 


ත්‍රිකුණාමලය වරාය නැමැති යුද මර්මස්‌ථානය අල්ලාගතහොත් උතුරට ඇති සැපයුම් මගක්‌ සහමුලින්ම වසාදැමිය හැක්‌කේය. එදා සතුරා සිය නැගෙනහිර සංග්‍රාමික නායකයාව මේ ස්‌ථානයේ පදිංචිකරවාගත්තේ ඒ බව අවබෝධකරගෙන සිටි නිසාය. 

සිය කාලතුවක්‌කු රැඳවුම් ස්‌ථාන ඇතුළු යුදමය අතින් ඉතා වැදගත් පෙදෙස්‌ අවට එල්. ටී. ටී. ඊ විසින් ජනයා පදිංචිකරවනු ලැබුවේ මිනිස්‌ පළිහක්‌ ලෙසිනි. එදා අප ජයග්‍රාහී හමුදාවෝ දැඩි පරිශ්‍රමයක්‌ දරා සාම්පූර් අල්ලාගැනීමෙන් පසු "විදුර" කඳවුර මෙහි පිහිටුවන්නේ සංග්‍රාමික වශයෙන් එහි වැදගත්කම මනාව දැනුණු බැවිනි. 

මෙය අධිආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කරමින් සාමාන්‍ය ජනයාගෙන් තොර පෙදෙසක්‌ බවට එය පත්කළේ ත්‍රිකුණාමල නගරය, වරාය ආදි අතිශයින් වැදගත් ස්‌ථාන සතුරාගේ කාලතුවක්‌කු ප්‍රහාර පරාසයෙන් පිටත තැන් බවට පත්කිරීම පිණිසය. මූතූර් සිට කදිරවේලි දක්‌වා ත්‍රිකුණාමල දකුණ නාවික හමුදා ආඥාපති නිල නිවස, මෙහෙයුම් මධ්‍යස්‌ථානය ආදිය මෙහි පිහිටුවන්නේ ඒ සඳහා වෙනත් තැනක්‌ නොවූ නිසාමද?

මෙය අධිආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කිරීමේදී ඉවත්වන්නට සිදුවූ ජනතාව යුද්ධයෙන් පසු වෙනත් ස්‌ථානයක යළි පදිංචිකරවීමට සියලු පහසුකම් සැපයුවද ඔවුනට එහි පදිංචි වන්නට නොදී කවදා හෝ මෙහිම නැවත පදිංචිවන ලෙසින් බලපෑම් කර රඳවාගෙන සිටියේ ටී. එන්. ඒ. බව ප්‍රසිද්ධ රහසකි. 


ඒ කුමක්‌ අරබයාද යන්නත් දන්නෝ නම් දනිති. බිමක්‌ ඇතිනම් හේන් ගොවිතැනෙන් යෑපුණු ජනතාවකට මේ කඳවුර අස්‌සේම රිංගීමට ඇති අවශ්‍යතාව කුමක්‌ද යන්න මොලය කළඳක්‌ හෝ ඇත්තෙක්‌ට මතුවන ප්‍රශ්නයකි.

ටී. එන්. ඒ. අපේක්‍ෂාව යථාර්ථයක්‌ බවට පත්වීමට කරුණු සකස්‌වද්දී මේ සා වැදගත් "විදුර" කඳවුර නාවික හමුදා පුහුණු පාසලක්‌ ලෙසින් ලඝූ කරමින් එය නොවැදගත් බිමක්‌ ලෙසින් හැඳන්වීමේ හෙවත් රටේ ජනතාව ඇන්දවීමේ සෙල්ලමක්‌ද ක්‍රියාත්මක විය.

අද අප ඇන්දවූ ඒ ඇත්තන්ම අද කියනුයේ මෙය මුල් පදිංචිකරුවන්ට දී යාබද ස්‌ථානයක කඳවුර නැවත ස්‌ථාපනය කරන බවය. එකී යාබද ස්‌ථානය යනු නෝර්වේ තුඩුව ලෙසින් හඳුන්වන මුහුද අද්දර තැනකි.

යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ මුහුද අද්දර පිහිටුවීම සාමාන්‍යයෙන් සිදුනොවන්නකි. එකී මෙහෙයුම් මධ්‍යස්‌ථාන පිහිටුවන්නේ මුහුද දෙසින් මෙන්ම හතරදෙසින්ම පරිවාර කඳවුරුවල ආරක්‍ෂාව මධ්‍යයේය. 


පිවිසුම් මාර්ග සහිතවය. ජල මූලාශ්‍ර සහිතවය. ඒ ප්‍රදේශයේ එකම ජල මූලාශ්‍රය වන සාම්පූර් වැව අද්දර "විදුර" කඳවුර පිහිටියේ ඒ අවශ්‍යතා සියල්ල සපිරෙන තැනකය. එදා සතුරට අතිශයින් වැදගත්වූ ස්‌ථානයක්‌ යට කොට ඉදිවූ එවැනි බලකොටුවක්‌ ගලවාදමන්නේ මුල් පදිංචිකරුවන් යෑයි කියන දෙමල පවුල් 579 ක නැවත පදිංචි කිරීම උදෙසා නම්...

ජාතික ආරක්‍ෂාව දෙයියන්ටම භාරය.
 
Related Posts with Thumbnails