Ads 468x60px

.

ඉන්දියාව ගිනියම් වී 2200ක්‌ මරු තුරුළට


අධික උණුසුම නිසා ඉන්දියාවේ මහා මාර්ග උණු වී ඇත. විජලනයට පත්වූ දහස්‌ ගණන් රෝගීන්ගෙන් එරට රෝහල් පිරී ඇත.

මේ මාරාන්තික උණුසුම් කාලගුණය වැඩියෙන්ම බලපා ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයටය. එහි පමණක්‌ පුද්ගලයන් 1300 ක්‌ මරණයට පත්වී ඇති අතර ඉකුත් වසරේදී වාර්තා වූ මරණ ප්‍රමාණය 447 ක්‌ පමණි.

වැඩිහිටි ජනගහනය, දුප්පතුන් මෙන්ම නිවාස නොමැති ඉන්දීය වැසියන් මේ දරුණු උණුසුම නිසා දැඩි ලෙස බැට කා ඇති අතර මේ නිසා මියගිය

මුළු සංඛ්‍යාව දෙදහසද ඉක්‌මවයි.

ග්‍රීන්පීස්‌ සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ අධික උණුසුමට හේතුව කාලගුණ විපර්යාසය බවයි. වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු නොකළහොත් 2040 දී මෙම උණුසුම් කාලගුණය තව දොළොස්‌ ගුණයකින් වැඩිවිය හැකි බව එම සංවිධානය කියයි. මෙය සැබැවින්ම ලෝකයේ අවසානයද?


2015 දී ඉන්දියාවෙන් වාර්තාවන්නේ ලොව පස්‌වෙනියට වාර්තා වූ දරුණුතම මාරාන්තික ග්‍රීස්‌මය වන අතර එය ඉන්දීය ඉතිහාසයේ දෙවැනියට වැඩියෙන්ම මරණ වාර්තා වූ සමයයි. 

1998 දී මේ අධික උණුසුම නිසා ඉන්දීය වැසියන් 2541 දෙනෙක්‌ මරණයට පත්විය. 2003 යුරෝපයේ වාර්තා වූ අධික උණුසුම නිසා 71310 මරණයට පත්විය.

ඉකුත් සිකුරාදා වනවිට මේ අධික ග්‍රීස්‌මය නිසා වාර්තා වී තිබුණු මරණ ප්‍රමාණය දෙදහස ඉක්‌මවීය. මේ සටහන ලියන අවස්‌ථාව වන විට එම ප්‍රමාණය 2207 කි.

අන්ද්‍රා ප්‍රදේශයේ අසල්වැසි ප්‍රාන්ත රාජ්‍ය වන තෙලන්ගානා ප්‍රාන්තයේ මේ ග්‍රීස්‌මය නිසා මියගිය පිරිස 489 කි. ග්‍රීස්‌මය නිසා මියගිය ප්‍රාන්ත වැසිය න්ට වන්දි ගෙවීම සඳහා ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. 


මියගිය එක්‌ අයකුට රුපියල් ලක්‌ෂය බැගින් වන්දි දීමට පියවර ගෙන ඇති අතර දහවල් කාලයේ අත්‍යවශ්‍ය දෙයකට හැර නිවසින් පිටට නොයන ලෙස උපදෙස්‌ ලැබී ඇත. ඉකුත් 24 වැනිදා ආන්ද්‍රා ප්‍රදේශයේ කට්‌මන් ප්‍රදේශයේ උණුසුම සෙල්සියස්‌ අංශක 48 ක්‌ විය.

තෙලන්ගානා ප්‍රාන්ත ආණ්‌ඩුව තම වැසියන්ට විස්‌තර පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින් උණුසුම් කාලගුණයෙන් බේරෙන්නේ කෙසේ දැයි විස්‌තර කර ඇත. හැකි තරම් වතුර බොන ලෙසත් නිවසේම සිටින ලෙසත් ඒවායින් උපදෙස්‌ ලබාදී ඇත.

දිල්ලි නගරයේ උණුසුම සෙල්සියස්‌ අංශක 45 දක්‌වා ඉහළ ගොස්‌ ඇති නිසා එහි වැසියන් නොමිලේ බීම දන්සල් සංවිධානය කර ඇත. ඉකුත් සිකුරාදා දිනයේ තෙලන්ගානා ප්‍රාන්තයට තරමක වැසි ලැබීම නිසා යම් සහනයක්‌ උදාවී ඇත.

මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයෙන් සෙල්සියස්‌ අංශක 47.1 ක උෂ්ණත්වයක්‌ වාර්තා වූ බව ඉන්දියා ටුඩේ පුවත්පත කියති.



 
Related Posts with Thumbnails