Ads 468x60px

.

සුපිරි පැලැන්තියේ "පොඩි පොඩි කෑලි" කොපි කිරීමට පුරුදුව සිටින පහළ පංතියේ අයට බීච් පාටි


මීට වසර ගණනාවකට ඉහතදී හික්‌කඩුව මුහුදු වෙරළේ සංවිධානය කර තිබූ එක්‌තරා 'පාටියක්‌' රටේ විශාල ආන්දොලනයක්‌ ඇති කිරීමට සමත් විය. මත්පැන්, තහනම් මත්ද්‍රව්‍ය සහ නිරුවත් අනඟ රැඟුම්වලින් අනූන වූ ඒ ගැන බොහෝ මාධ්‍ය රටට හෙළි කළෝය.

පසුගිය සතියේද එවැනිම 'පුවතක්‌' ගැන වාර්තා වී තිබිණි. ඒ හික්‌කඩුවෙ න් නොව දෙහිවලිනි. මේ පාටිය පැවැත්වුණේ හික්‌කඩුව සිද්ධියෙන්

වසර ගණනාවකට පසුව වුවද සංකල්පයේ වෙනසක්‌ තිබුණේ නැත.

අපේ රටට 77 වර්ෂයේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසු ආරම්භ වූ මේ ජරාජීර්ණ වෙනස්‌ සංස්‌කෘතික සංකල්පය එවක්‌ පටන් නිරන්තරයෙන් ම සංවර්ධනය වූවා මිස අසාර්ථක ව්‍යාපෘති බවට පත් වූයේ නැත. 


රටේ සංවර්ධනය අඩාලව පවතින විට පවා මේ සංස්‌කෘතික හෝදාපාළුවට උසස්‌වීම් ලැබුණේ එහෙයිනි. විවෘත ආර්ථිකයකට මානුෂික මුහුණුවරක්‌ දෙන්නට යෝජනා කළ යුගයක්‌ද විය. මානුෂික මුහුණුවර නම් වෙස්‌ මුහුණු තුළ ද "යකා" සිටියේ දත් විළිස්‌සාගෙනය.

රටේ කැසිනෝ පනත් සම්මත කරගන්නට උත්සාහ දරන විටත් "යකා" සිටි බව අමතක කළ යුතු නැත. දෙහිවල බීච් පාටිය පැවැත්වෙන්නේ යකාට එරෙහිව සටන් වදින්නෙමු යෑයි කියන යුගයක ආරම්භයේදීම ය.

වර්තමානය වන විට යකා ගෙනා කට්‌ටඩියා නැත. යකා බඳින්න කතා කළ කට්‌ටඩියන්ද නැත. එහෙත් ආතුරයන් හිසේ කෙස්‌ ගාණටය. "බීච් පාටි" අපිට කියන්නේ ඒ ආතුරයන් ගැනය.

ලැබෙන තොරතුරුවලට අනුව බීච් පාටිය ගැන මුලින්ම ආරංචි වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටය. වැටලීම කරන්නේද සුරාබදු නිලධාරීන්මය. එම නිලධාරීන් වැටලීම සිදුකරන විට එල්. එස්‌. ඩී., එක්‌ස්‌ටසි, ගංජා, කේරල ගංජා ආදී වශයෙන් වූ තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර "ආතල්" ගනිමින් සිටි තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක්‌ සිටි බව කියෑවේ.

පාටියක්‌ වැටලීමට සිදුවන්නේ යම් නීති විරෝධී හෝ සදාචාර විරෝධී යමක්‌ එතැන සිදුවන්නේ නම් පමණි. සැබැවින්ම සිදුව තිබුණේ ද එයමය. වැඩේ "නරකට" සිදුවන බවට ආරංචි ලැබෙන්නේද මාසයකට දෙකකට කලිනි. ඒ "ෆේස්‌බුක්‌" සමාජ ජාලා වෙබ් අඩවිය හරහාය. 


ප්‍රචාරණය සිදුව තිබුණේ තනිකරම ෆේස්‌බුකිය හරහාය. තරුණියන්ට (කාන්තාවන්ට) සහ ගැහැනුත් නොවන පිරිමිත් නොවන අයට නොමිලයේ පාටියට ඇතුළු විය හැකිව තිබිණි. පුරුෂ පක්‍ෂයෙන් රුපියල් එක්‌දහස්‌ පන්සියයක අයකිරීමකි. 

ඇතුළු වූ පසු බියර් ටින් එකකින්, බ්ලැක්‌ ලේබල්වලින් ආරම්භ වන මත්වීමෙහි උපරිමය මත්ද්‍රව්‍ය දක්‌වා ගලා යයි. තාලයට අඩිය තබමින් නටන නැටුම, ඇඳුම් ගැලවී ශෘංගාරය මුසුවූ කැබරේ ඩාන්ස්‌ ද ඉක්‌මවන පරාසයකට ගමන් කරයි. එළිවන ජාමයේ බොහෝ ජෝඩු සිටින්නේ වැල්ල යහන කර ගනිමිනි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් කළ නිලධාරීන් කියන ආකාරයට අත්අඩංගුවට පත් සියලු දෙනා අවුරුදු 17-20 අතර පසුවීම විශේෂත්වයකි. සංස්‌කෘතික සෝදාපාළුවේ තරම ගැන කියන්නට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. මීට පෙරද ගල්කිස්‌ස වෙරළේ මෙවැනිම පාටියක්‌ පැවැත්විණි. එදිනද වැටලීමක්‌ සිදුවිය. 


එලෙසින්ම වාර්තා නොවන තවත් මේ ආකාරයේ ආතල් සාද රට පුරා පැවැත්වෙන බව කිව යුතුය. ඒ සඳහා පෙළගැසී සිටින්නේ ද නාඹර තරුණ තරුණියන් බව කිව යුතුය. අප දන්නා පරිදි මේ ආතල් ගැනීමෙහි පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝ සමහර ඇමැති පුතුන් ය. 

ක්‌ලබ්වලදී, හෝටල්වලදී ගුටි කෙළගැනීමෙහි සිට මත්ද්‍රව්‍ය විකිණීමෙහි පෙරමුණ ගත්තේද එවැනි පිරිසකි. සුපිරි පැලැන්තියේ "පොඩි පොඩි කෑලි" කොපි කිරීමට පුරුදුව සිටින පහළ පංතියේ අයට බීච් පාටි "සුපිරි ආතල්" බවට පත්වන්නේ එහෙයිනි.

ෆේස්‌බුකිය ඇතුළු බොහෝ සමාජජාල වෙබ් අඩවි වලත් විවිධ වීඩියෝ දර්ශනත් පරිකල්පනය කර බොහෝ දේ අත්හදා බැලීමට යැම විනාශය කරා ඇදී යැමක්‌ බව තරුණ තරුණියන්ට අවබෝධ කරදීමට ගැළපෙන දේශපාලන සංස්‌කෘතියක්‌ද නිර්මාණය වී නැත. 


සංස්‌කෘතිය, සදාචාරය සභ්‍යත්වය මේ කවර දේ ගැන වුවද රටේ දේශපාලනඥයන් කෑ මොර දුන්නද ඒ සඳහා නිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වීද නැත.
 
Related Posts with Thumbnails