Ads 468x60px

.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවි හරහා ලංකාවේ දරුදැරියන් බිලිගන්නා 'සයිබර් මාෆියාවක්'


'අන්තර්ජාලය' වූ කලී නවීන තාක්‍ෂණයේ මහිමයෙන් ලෝකයට ලැබුණු අමිල සම්පතකි. එහෙත් වඳුරන්ට දැළිපිහි ලැබුණා සේ, ඇතැම් අය හිතුමතේ අන්තර්ජාලයේ සැරිසැරීමට යෑමෙන් අන්තර්ජාලය, 'ජංජාලයක්' බවට පත්කර ගනිති.

ෆේස් බුක් සමාජ වෙබ් අඩවි හරහා ලංකාවේ දරුදැරියන් බිලිගන්නා 'සයිබර් මාෆියාවක්' ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ජාතික

ළමාරක්‍ෂක අධිකාරිය අනාවරණය කරගෙන ඇත. 

පාසල් වියේ දැරියන් මෙහිදී වැඩි අවදානමකට ලක්වීමට ඉඩ ඇති බවත්, ෆේස්බුක් සමාජ වෙබ් අඩවි හරහා සිදුකරන ලිංගික බලපෑම් හා ලිංගික අපරාධ සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට අරඹා ඇති බවත්, ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා යුනිසෙෆ් සංවිධානය, රහස් පොලිසිය හා අන්තර්ජාතික පොලිසියද ළමාරක්‍ෂක අධිකාරිය සමඟ එක්ව කටයුතු කරයි.


අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරුණු ලිංගික බලපෑම් හා අපරාධ පිළිබඳ පැමිණිලි 20ක් පසුගිය වසරේදී ලැබුණු අතර, ඉන් 7ක් මහා පරිමාණයේ අපරාධ බව ළමාරක්‍ෂක අධිකාරිය අනාවරණය කර ඇත. 


ඒ අපරාධවලට සම්බන්ධ හත්දෙනාට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙන බවත්, මේ වසරේදී එවැනි පැමිණිලි 6ක් ගෙවී ගිය මාස පහ තුළ ලැබී තිබෙන බවත් අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පවසා තිබිණි.

මෙවැනි සයිබර් අපරාධ වැළැක්වීම ඉතා අසීරු එමෙන්ම දුෂ්කර ව්‍යායාමයකි. අන්තර්ජාතික සයිබර් අපරාධ වැළැක්වීමේ ආයතනයට අනුව සයිබර් අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වූ ළමයින් පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ ආසියාවෙනි. 


සයිබර් ළමා අපයෝජකයන් වැඩි ප්‍රමාණයක් හෙළිදරව් කරගෙන ඇති රට ලෙස 'කැනඩාව' සැලැකේ. මෙහිදී 2013 ජනවාරියේ සිට මේ වසරේ පළමු කාර්තුව දක්වා අන්තර්ජාලයේ සිදුව ඇති ළමා අපයෝජන සංඛ්‍යාව ලක්‍ෂ තුනකට අධිකය.

ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයෙන් සිදුවන ළමා අපයෝජන වැළැක්වීම සඳහා මවුපියන්ට හා වැඩිහිටියන්ට පැවරී ඇත්තේ විශාල කාර්යභාරයකි. 


අන්තර්ජාලය පරිහරණය කරන තම දූ දරුවන් පිළිබඳ දැඩි අවධානයකින් සිටීම වැඩිහිටියන්ගේ වගකීම බව පැහැදිලිය. මේ සම්බන්ධව දරුවන්ව දැනුම්වත් කිරීම කළ යුත්තේ ඔවුන්ගේ මවුපියන් විසිනි. 

මේ දැනුම්වත් කිරීම අවශ්‍ය කටයුත්තක් වන්නේ දරුවන්ගේ අත්දැකීම් පරාසය බොහෝ සීමිත නිසාය. සයිබර් අවකාශයේ උතුරා යන ආගන්තුක ආදර ඇමැතුම් බස්වලින් ළමා සිත් මත්වීමට ඉඩ නොතැබිය යුතුය. 

දරුවන්ටද එම 'අනතුර' සන්නිවේදනය කරගත හැකිවේ නම් 'ප්‍රශ්නය' ගොඩින් බේරා ගත හැකි වනු ඇත.

'සයිබර් අපරාධ' ලෝකයේ කොතැනදී සිදු කළ ද ඔවුන්ට සැඟවී සිටීමට නොහැකිය. ලංකාවේද ඒ සම්බන්ධව තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් නිලධාරි පිරිසක් සියලුම 'ගිණුම්' ගැන දැඩි සෙවිල්ලෙන් සිටිති. 


කෙසේ වුවද සයිබර් දඩයක්කරුවන්ගෙන් තම දරුවන් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරනවා මිස ඔවුන්ට අන්තර්ජාලයේ සැරිසැරීම තහනම් කිරීමෙන් පලක් නැත. සමනල්ලු මල් පැණි සොයා පියඹති. 

කළ යුත්තේ තටු කපා ඔවුන්ව වළක්වාලීම නොව සමනලුන් දඩයම් කරන්නන් උපක්‍රමශීලීව කොටුකර ගැනීමය. ස්විට්සර්ලන්තය වැනි රටවලින් ඒ සඳහා ඉගෙන ගත හැකි පාඩම් බොහෝය.
 
Related Posts with Thumbnails