Ads 468x60px

.

ළමයකු ලොකු මහත්කර ගත්විට ඔහුව ඝාතනය කිරීමට පොලිස්‌ මිනීමරුවන්ට ඉඩදිය හැකිද.?


1989 භීෂණ සමයේදී හොරණ පොකුණුවිටදී 16 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කර ටයර් දමා පිළිස්‌සීම සම්බන්ධයෙන් වසර 23 ක්‌ තිස්‌සේ අසන ලද නඩුවකින් වරදකරුවූ පොලිසියේ තුන්දෙනකු හිරේ යවන ලදැයි දැනගන්නට තිබේ. 

මෙකී තුන්දෙනාගෙන් පළමුවැන්නා වූ රොෂාන් ද සිල්වා සිද්ධිය වන අවස්‌ථාවේදී ඉංගිරිය පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි අතර මෙකල
කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ (C‍ID) අධ්‍යක්‍ෂතුමා ය. 

සෙසු දෙදෙනා පාසල් සිසුවා මරන කාලයේදී රාළහාමිලා දෙදෙනකුව සිට සැරයන් මහත්වරු ලෙස විශ්‍රාම ලබා සිටිති. මේ අනුව ඔවුන් විශ්‍රාම හාන්සි පුටුවේ සිට හිරගෙදරට ගොස්‌ සිය විශ්‍රාම කාලයේ ඉතිරි හරිය හිරගෙදර ගත කරනවා ඇත. 

C‍ID ලොක්‌කා වූ රොෂාන් ද සිල්වාට නම් පොලිස්‌ කෝට්‌ - බෝට්‌ පිටින්ම හිරගෙදර ගේට්‌ටුවෙන් ඇතුළු විය හැකිය. ඉහත සඳහන් අපරාධ කරුවන් තිදෙනා විසින් පාසල් සිසුවා ඝාතනය කරනු ලැබ ඇත්තේ ඉංගිරියේ කැලෑබද ස්‌ථානයකදී සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්‌ය. 

එකල රොෂාන් ද සිල්වාගේ වයස අවුරුදු 21 කි. ඝාතනය කෙරුණු දරුවාට වඩා වසර 05 ක්‌ ඔහු වැඩිමහළු විය. මැරූ දරුවා අද ජීවතුන් අතර සිටියේ නම් වයස 39 කි. 

රාළහාමි ද, සාජන් ද, ඕ. අයි. සී. ද, පොලිස්‌ අධිකාරි ද යනාදී වශයෙන් තරාතිරම නොබලා අපරාධකරුවන් එල්ලිය යුතු මෙවැනි කාලයක එල්ලුම්ගස නැති වීම මහත්ම අභාග්‍යයක්‌ බව අපගේ වැටහීමය. 

පැෂන්කාරයා වේවා, වැඩ කරන මිනිහා වේවා, නිකමා වේවා, හිරේ ගියවිට මද කලෙකින් හිර ජීවිතයට පුරුදු වන්නේය. රොෂාන් ද සිල්වා සහ සාජන්ලා දෙදෙනාද ඉතා ටික කලෙකින් හිරජීවිතයට පුරුදු වනවා ඇත. ඔවුන්ට ලැබී ඇති දඬුවම් කාලය අට අවුරුද්දකි. එය එහෙ බලා මෙහෙ බලන විට ගෙවී යන තරම් කෙටි කාලයකි.

මවක්‌ හා පියෙක්‌ අවුරුදු 16 ක කාලයක්‌ සිය දරුවා උස්‌ මහත් කරන්නේ අපමණ දුක්‌ කරදර මැද්දේය. ලංකාව වැනි රටක දරුවකු ලොකු කර ගැනීම ම ඉමහත් දුෂ්කර කර්තව්‍යයකි. 


ආර්ථික අමාරුකම්, ඉස්‌කෝලේ ප්‍රශ්න, අට අනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි, දෙසිය තිහක්‌ අන්තරා යනාදිය මගහැර ළමයකු ලොකු කර ගත් විට ඔහු පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමට පොලිස්‌ මිනීමරුවන්ට ඉඩදිය හැකිද? 

ඉඩ දුන්නත් නොදුන්නත් 1988 - 89-90 අවුරුදු වලදී එයම සිදු විය. නව යොවුන් පාසල් දරු දැරියන් දහස්‌ ගණනක්‌ පැහැරගෙන ගොස්‌ දරුණු වධ දී ඇතැම් විට දූෂණය කර මරා දමන ලද්දේ ඒ වකවානුවේදීය. 

මෙයට වසර කිහිපයකට පෙර අඟුලාන පොලිසියේ සී. අයි. ලෙස සේවය කළ මිනීමරුවෙක්‌ කනිටු පොලිස්‌ සාමාජිකයන් දෙදෙනකු සමග එක්‌ව තරුණයන් දෙදෙනකු වෙඩි තබා මැරූ හැටි මතකද? මරන්නට පළමු සිගරට්‌ කොටවලින් සිරුර පුළුස්‌සා මේ දරුවන්ට දස වධ දී තිබිණි. 

ඒ ඕ. අයි. සී. අදටත් හිරේ ය. හිරේදී සිදුකළ සැත්කමකින් ඔහුගේ පාදයක්‌ ද ඉවත් කරන ලදි. සොබාදහම තරම් හොඳ අළුගෝසුවෙක්‌ තවත් නැත. 

හොරණ පාසල් ශිෂ්‍යයා මැරීම පිළිබඳ නඩු තීන්දුවට එරෙහිව අපරාධ කරුවන් ඇපෑලක්‌ ඉදිරිපත් කරන්නේද යන්න අපි නොදනිමු. ඇපෑලෙන් ඔවුන් ජයගෙන යළි නිදහස්‌ පුද්ගලයන් බවට පත් වන්නේ ද යන්නත් අපි නොදනිමු. 

කෙසේ වුවද අවසන් ඵලයේදී තල වපුරා අමු ලබාගත නොහැක. තල වැපිරූ විට ලැබෙන්නේ තල මය. බුද්ධ වචනයට අනුව තමා කළ දේ තමා පසුපස එන්නේ ගොනා පසුපස රිය ඇදී එන ලෙසය.
 
Related Posts with Thumbnails