Ads 468x60px

.

රට අවාසනාවන්ත රටක්‌ බවට පත්වීමට අපේම ගොන්කම් සහ තකතීරුකම්...


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනු ලබන සමහර කාරණා අසන විට අපට විශාල බියක්‌ දැනේ. ඒ බිය පැන නගින්නේ එක්‌ පැත්තකින් රට ගැන ය. අනෙක්‌ පැත්තෙන් එතුමා ගැන ය. 

කාටත් බය හිතෙන ඒ කතාව කවුරුත් දැනගත යුතුය. 

ඊයේ බොහෝ පුවත්පත්වල ඒ ගැන ප්‍රවෘත්ති පළවී තිබිණි. ගරු ජනාධිපති වරයා කියන ආකාරයට මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රාජ්‍ය ආයතන දෙකක නිලධාරීහු සිටිති. 

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන පුද්ගලයන් අතරින් ප්‍රධාන වශයෙන් රජයේ ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ බවත්, ඉදිරියේදී ඔවුන්
සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර ගන්නා බවත් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.

අපට ගරු ජනාධිපතිවරයා ගැන බයක්‌ දැනෙන්නේ මේ කියන කෂඩ රාජ්‍ය නිලධාරීන් මෙවැනි එළිපිට කතා ඇසෙන විට මොකකින් මොකක්‌ කරයිද යන සාධාරණ සැකයක්‌ උපදින නිසා ය. ගරු ජනාධිපතිවරයා වැඩි ආරක්‍ෂාවක්‌ නොමැතිව ම ගමන් බිමන්වල යෙදෙන නිසාම ඒ සාධාරණ සැකය මතු වේ. 


කෙසේ හෝ රටක්‌ වශයෙන් නම් බොහෝ සෙයින් බිය විය යුතු බව අපි අවධාරණය කරමු. 'ප්‍රකට කුඩු සමාගම්' මෙරට හිරගෙවල් තුළ සිට නිදහසේ මෙහෙයවීමේ පසුබිමක්‌ යටතේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒ කුඩු සමාගම්වල සභාපතිවරු, අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් හා ඒජන්තයන් වශයෙන් කටයුතු කිරීම එසේ බිය වීමට කාරණයක්‌ නොවන්නේ ද යන්න අපි ඔබෙන් ප්‍රශ්න කර සිටිමු.

ප්‍රධාන කාරණය එය නොවේ. ජනාධිපතිවරයා කියන්නේ තමාට මේ ගැන තොරතුරු ලැබී ඇති බව ය. ජනාධිපතිවරයාට එම තොරතුරු වාර්තා වීමට පෙර මෙතෙක්‌ ඒ ගැන අදාළ වගකිවයුතු අංශ කවරකට හෝ වාර්තා වී නැද්ද? මේ රටේ අටෝරාශියක්‌වු පරීක්‍ෂණ දෙපාර්තමේන්තු, බුද්ධි අංශ, ආරක්‍ෂක අංශ සොයන්නේ මොනවාද? 


වෙලේසුදා හා කුඩු කප්පිත්තෙකු වූ සිද්ධික්‌ විදේශයකදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන අපේ රටේ ආරක්‍ෂක අංශවලට මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ගැන ඉව වැටුණේ නැද්ද?

කරුමෙකට මෙන් රටේ තොටේ ජනතාවට මේ ගැන කලින්ම ඉව වැටී තිබුණු බව අපේ විශ්වාසයයි. රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සාරෙට පැතිර යන විට ඊට දේශපාලනඥයන් සම්බන්ධ බවත්, මේ දේශපාලනඥයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සලසන රාජ්‍ය නිලධාරීන් සේම ආරක්‍ෂක අංශවල සමහර පිරිස්‌ ද සිටින බව රටේ ජනතාව කලින්ම දැන සිටියහ.

ජනාධිපතිවරයාට පමා වී හෝ අවසන් මොහොතේ හරි පණිවුඩය ලැබී ඇත. අදාළ රාජ්‍ය ආයතන දෙක ගැන ජනාධිපතිවරයා සඳහන් කර නැත. ඒ නිසාම අප ද කට ඉස්‌සර කරන්නේ නැත. 


කෙසේ හෝ මේ ආයතන දෙකේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන් ඉක්‌මණින් ම හෙළි කිරීම ජනාධිපතිවරයාගේ නොව ඔහු විසින් පත් කළ ඔහු මෙහෙයවන නිලධාරීන්ගේ වගකීම ය. 

මේ අය අතර ද 'එක පතේ කන' අය සිටිය හැකි බැවින් විශේෂ ඒකකයක්‌ හෝ පත්කර මේ ගැන ඉක්‌මනින් ම විමර්ශනය කළ යුතු බව අපි කියමු. එයට දින ගණන් ලකුණු කරන කාලසටහනක්‌ අවශ්‍ය නොවන බව ද සිහිපත් කරමු. 

මීට කලකට ඉහතදී නමගිය කුඩුකාරයකුට රටින් පැන ගැනීමට උදව් කළ ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පවා සිදුවිණි. ඉන්පසු සිදු වූ දෙයක්‌ ගැන අද වනතුරු දකින්නට අසන්නට නැති නිසා ජනතාවට මේ විමර්ශන ගැන එතරම් විශ්වාසයක්‌ නැත.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන දෙකක්‌ නොව ඊට වඩා වැඩි ගණනක්‌ ඇති බව ද අපේ විශ්වාසයයි. මේ රට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය අදාළ නිලධාරීන්ම විකුණන රටකි. කුඩු කන්ටේනර් පිටින් පන්නන රටකි. 


කුඩු කප්පිත්තන්ට පැන ගන්නට උදව් දෙන රටකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට, අලෙවියට පූර්ණ සහාය ආරක්‍ෂාව ලබාදෙන රටකි. රට එවැනි අවාසනා වන්ත රටක්‌ බවට පත්වීමට අපේම ගොන්කම් සහ තකතීරුකම් හේතුවන බව ද සටහන් කළ යුතු ය.
 
Related Posts with Thumbnails