Ads 468x60px

.

මහින්දට රනිලුත් රනිල්ට මහින්දත් නැතිව බැරිවෙයි


ලංකාවේ දේශපාලනය යනු හරිම අපූරු රඟපෑමකි. පිටතින් පෙනෙන්නේ මහින්ද පාර්ශවය ශ්‍රි.ල.නි.ප.ය තුළ කැරැල්ලක් ගසා ඇත්තේ රනිල්ට බලය දීමට මෛත්‍රී කටයුතු කරනා බව පවසමිනි. 

ශ්‍රි.ල.නි.ප. - වාමාංශික පාක්ෂිකයන්ගේ ඇඟට කා වැදී ඇති යූ.එන්.පී. විරෝධය මගින් මහින්ද ශ්‍රි.ල.නි.ප.ය තුළ මේ “ගේම” ගසමින් ඇත.

මහින්දගේ කසකරුවන් වන දිනේෂ් - විමල් - වාසු පාර්ලිමේන්තුවේ කියන්නේ විශ්වාසභංගයන් මගින් රනිල් ඉක්මනින් ගෙදර යැවිය යුතු බවය. රනිල්ට මුහුණ දීමට ඊලඟ මැතිවරණයේදී මහින්ද අගමැති
අපේක්ෂක කළ යුතු බවය. ඒ සඳහා පාර්ලිමේන්තුව වහා විසුරුවිය යුතු බවය.

අනෙක් පැත්තෙන් රනිල් කියන්නේ රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිවිප්ලවය පැරදවිය යුතු බවය. එහෙත් මහින්ද හෝ ඔහුගේ ලඟම දූෂිතයන් වන ගාමිණී සෙනරත්, නිශ්ශංක, ටිරාන් අලස් ආදී කිසිවෙකුට එරෙහිව රනිල් පියවර ගන්නේද නැත. 


මහින්දගේ කාලයේ සිටි චීන කොන්ත්‍රාත්කරුවන් දැන් සිටින්නේ රනිල්ගේ සාක්කුවේය. රනිල් FCIDය මගින් විටින් විට පුද්ගලයින් ප්‍රශ්ණ කරවන්නේ ශ්‍රි.ල.නි.ප.ය තුළ මහින්ද ශක්තිමත් වන ආකාරයටය. මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව කී බැසිල් රෝහල්ගතකර කළේද රනිල් විසිනි.

රනිල්ගේ උපාය මහින්ද ලවා මෛත්‍රීගේ ශ්‍රි.ල.නි.ප.ය දුර්වල කරවන්නටය. එය දැනටමත් මහින්ද විසින් සාර්ථකව ඉටුකෙරෙමින් ඇත. පෙරළා මහින්දට අවශ්‍ය වන්නේද මෛත්‍රී සමග පුද්ගලික වෛරය පිරිමහගන්නටය. 


නවතම යුද අධිකරණවලින් හෝ දූෂණ වංචා අධිකරණවලින් එල්ල වන චෝදනාවලින් මෛත්‍රීට වඩා රනිල්ගෙන් රැකවරණය ලැබෙන බව මහින්ද දනී. ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා රනිල් බලයට ගෙන එන අතර මෛත්‍රී ශ්‍රි.ල.නි.ප.ය තුළ දුර්වල කිරීම ඔහුගේ උපාය වී ඇත.

2015 ජනාධිපතිවරණයේදී රනිල් සිතා සිටියේ 2010 ප්‍රතිඵලයම ලඟලඟ සටනකින් ලැබේවී කියාය. ඔහු සිය හිතවතුන්ට කියා තිබුනේ මෛත්‍රී ලක්ෂ 2-4 අතර ගණනකින් පරදින බවය. මුළු ජනාධිපතිවරණයේම පැවැති ප්‍රධාන රැස්වීම් 160කට මෛත්‍රී සහභාගී වනවිට රනිල් හිටියේ රැස්වීම් 34කටය. 


නියෝජ්‍ය නායක සජිත් හම්බන්තොටින් හෙල්ලුනේ නැත. ඡන්දය දිනයේ කිසිඳු යූ.එන්.පී. නායකයෙක් සිරිකොතේ සිටියේ නැත. යූ.එන්.පී. කාරයින්ව මෙහෙයවීම රාජිත, චම්පික වැනි අයට භාරවී තිබිණ. 

රනිල් මවිතයට පත් කරමින් උගත් මැද පන්තිය හා සුළු ජාතික කණ්ඩායම් මහින්දව පැරදවූහ. පැරදුනු මහින්ද මුලින්ම කතා කළේ සිය ප්‍රතිවාදියා වූ මෛත්‍රී ගැන නොව රනිල් ගැනය. 

රනිල් මහින්දට හා පවුලට කරදරයකින් තොරව සිය සඟවාගත් ධනයද සමග පළායන්නට ඉඩ දුන්නේය. අරලියගහ මන්දිරයේ බඩු ඇවන්ගාඩ් රථවලින් සමරවික්‍රම වාසගම හිමි අයෙකුගේ ගෙදරට ගිය බවද ඇතැම් පුවත්පත් එම දිනවල වාර්තාකර තිබුණි.

2010-2015 කලයේ මහින්ද බලය තහවුරු කරගත්තේ රනිල්ගේ සරණිනි. දැන් රනිල් බලය තහවුරු කරගන්නට යන්නේ මහින්දගේ සරණිනි.

ශ්‍රි.ල.නි.ප. පාක්ෂිකයන් අවබෝධ කරගත යුත්තේ, පාරවල්වලින් හම්බ කරගත් සල්ලිවලින් සෙනග 4000 ක් ඇදලා රැළි හැදුවාට, මහින්දට අගමැතිකම දුන්නොත් හොඳයි කියලා ශ්‍රි.ල.නි.ප. පාක්ෂිකයා සිතුවාට, ශ්‍රි.ල.නි.ප.යේ මහින්ද යුගය අවසන් බවය. 


දිනේෂ්ලා, විමල්ලා, වාසුලා මේ කරන්නේ එදා 1975-1977 කාලයේ බලවේගය හා වමේ පක්ෂ කළ වැඩේය. එනම් යූ.එන්.පී.යට වැඩියෙන් විරුද්ධ වෙන බව පෙන්වමින් යූ.එන්.පී.ය බලයට ගෙන ඒමට ක්‍රියාකිරීමය. 1977 මැතිවරණයේ ශ්‍රි.ල.නි.ප.- වමේ බෙදීම යූ.ඇන්.පී.යට මහත් ජයග්‍රහණයක් විය. 

එදා ඇන්.ඇම් - කොල්වින් පිටුපස මුදල් බලය වූයේ උපාලි විජේවර්ධනය. අද අධිවේගී මාර්ගවල කොන්ත්‍රාත්කරුවන්ය. ශ්‍රි.ල.නි.ප. යට ජයග්‍රහණ අවශ්‍ය නම් ඒ සඳහා මැද පන්තිය හා සුළු ජාතිකයන්ගේ විශ්වාසය දිනාගත යුතුය. 

මෛත්‍රී ජනාධිපතිට ඒ විශ්වාසය ඇත. අළුත්, පිරිසිදු, උගත් අපේක්ෂක පිරිසක් මෛත්‍රී යටතේ තරඟ කළහොත් දැනටමත් දූෂිත චෝදනා එල්ලවී ඇති රනිල්ගේ යූ.ඇන්.පී.ය උඩින් පැරදවිය හැක. 

සජින්ලා, බැසිල්ලා, රත්තරන්ලා, දුමින්දලා, ජොන්ස්ටන්ලා, දි.මූ.ලා සමග ශ්‍රිලනිපයට යා හැක්කේ දේශපාලන සුසානයකටය. රනිල් හා මහින්ද අපාය නිසි ලෙස වටහාගෙන, ජනාධිපතිවරණය පරාජය වීමේ රහස ද හඳුනාගෙන, ශ්‍රි.ල.නි.ප.ය වෙනස් නොවුනහොත් එය දේශපාලන සිතියමෙන් අතුගෑවී යනු ඇත.

ධර්මසිරි හේවාගම - දේශපාලන විග්‍රහයක්

රජරට සංස්කෘතික හා කලා පදනම

2015/06/20
 
Related Posts with Thumbnails