Ads 468x60px

.

පොලිසිය අතපය හකුළා කට පියාගෙන සිටියේ ඇය සුපිරි මෝටර් රියකින් පැමිණි සල්ලිකාරියක් නිසාද


මහපාරේ විනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ රථවාහන පොලිසියටය. මාර්ගයේ ධාවනය වන ලොකු කුඩා වාහන මාර්ග නීති කඩකරන්නේදැයි සොයා බලනු ලබන්නේ ඔවුන් විසිනි. රථවාහන පොලිසියට රියැදුරන්ගෙන් එල්ලවන චෝදනාද එමටය. 

ඒ අතර වැඩිපුර ඇත්තේ අනවශ්‍ය ලෙස දඩ ගැසීම්, පගාව ගැනීම් වැනි චෝදනාය. එහෙත් කිසිවකු පොලිසියේ මුහුණට මේ කිසිදු චෝදනාවක් එල්ල කරන්නේ නැත. එහෙත් ඉකුත් 15 වැනිදා තලංගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට අලුත් අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. 

ඒ, මාර්ග නීති කඩකරමින් රිය පැදවූ කාන්තාවකට ලබාදුන් දඩ කොළය ද ඉරා දමා යකා නැටීම නිසාය. අතදරුවකු උකුලේ හොවාගෙන මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවූ මේ කාන්තාවට එරෙහිව තලංගම
පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් 'නීතිය' ක්‍රියාත්මක කිරීමට යෑමේදී රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට අපහාසාත්මකව ඇය බැන වැදී තිබේ. 

අවසානයේ දඩ කොළයද ඉරා දමා නිලධාරියකුගේ ආරක්ෂක හිස් වැසුමද රැගෙන ඇය සිය සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් මෝටර් රියෙන් පලා ගොස් තිබේ. අනතුරුව තලංගම පොලිසිය අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. 

එකී කාන්තාවගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණේ සිය බිරියට මානසික රෝගී තත්ත්වයක් තිබියදී (ඒ බව පොලිසියට පවසා ඇත්තේ සැමියා විසිනි) මෝටර් රියක් පදවාගෙන යෑමට ඉඩ ලබාදීම නිසාය. 

දැනට ඇය සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. කාරණය අනෙකකි.

කාන්තාව කළ වැරැද්දට නීතිය ක්‍රියාත්මක කිරීමට සැරැසුණු අවස්ථාවේ අපහාසාත්මක වාග් ප්‍රහාරයන් එල්ල කරද්දී නිහඬව සන්සුන්ව සිටිමින් එකී නිලධාරීහු දෙදෙනා පොලිසියේ ගෞරවය රැක ගත්හ. 


අශිෂ්ට ලෙස හැසිරුණු කාන්තාව ඉදිරියේ 'අශිෂ්ටකම' මතුවීමට ඉඩනොදී ශිෂ්ට සම්පන්න පිරිමින් දෙදෙනකු සේ මෙන්ම මහජන සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු සේ කටයුතු කිරීම වටිනා කාරණයකි. ඒ වටිනාකම වැඩිවන්නේ මෙවැනි අවස්ථාවල ඇතැම් පොලිස් නිලධාරීන් හැසිරෙන ආකාරය ඕනෑතරම් දැක ඇති නිසාය. 

ඉකුත් වසරේ අග භාගයේ රත්නපුර නගරයේදී දෙනෝදාහක් ඉදිරියේ පොලිස් නිලධාරියකු ප්‍රසිද්ධියේ කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියත් සමඟ විශාල පිරිසක් වටවී බලා සිටියදී කාන්තාවක විසින් පොලිස් නිලධාරීන් දෙදෙනකුට අපහාසාත්මකව හා තර්ජනාත්මකව බැන වැදීමේ 'තලංගම සිද්ධිය' සසදා බලන විට මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිළිවෙත වඩාත් කැපී පෙනේ.

කිසිදු සැකකරුවකුට පහරදීමට හෝ හිරිහැර කිරීමට අයිතියක් පොලිසියට නැත. එහෙත් ඇතැම් පොලිස් නිලධාරීන් 'සැකකරුවන්ට' තැන නොතැන නොබලා ප්‍රසිද්ධියේ පහරදෙන, හිරිහැර කරන අවස්ථා ඕනෑතරම් දැක තිබේ. මේ පොලිස් නිලධාරීන් දෙදෙනා එලෙස නොහැසිරී කාන්තාවට මුවින් නොබැන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ ආකාරය ප්‍රශංසනීයය. 


සුපිරි මෝටර් රියකින් පැමිණි සල්ලිකාර කාන්තාවක් නිසා පොලිසිය ඇය ඉදිරියේ අතපය හකුළා කට පියාගෙන සිටින්නට ඇතැයි අයකුට කිව හැකි වුවද අනතුරුව කාන්තාවට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට නොවීම නිසා ඒ කතන්දරය නිෂ්ප්‍රභ වේ.

පයින් ඇවිදගෙන පාරේ ගියද, සුපිරි වාහනයක ගමන් ගත්තද, නීතිය කාටත් පොදු විය යුතුය. තරාතිරම ඉදිරියේ නීතිය උස් පහත්වීම අනවශ්‍යය. උස් තැන් දැක නොහැකිළී නීතිය සමව ක්‍රියාත්මක කිරීම පොලිසියේ වගකීමකි. 


සුපිරි මෝටර් රියක නැඟී මාර්ග නීති තුට්ටුවකට මායිම් නොකර පාරේ යන කාන්තාවකට පොලිස් නිල ඇඳුම හෑල්ලුවට ලක්කිරීමට හැකි වුවද පොලිසියට කුමන හේතුවක් නිසාවත් සිය නිල ඇඳුමේ ගෞරවය කෙලෙසා ගත නොහැකිය. ඒ අවබෝධයෙන් කටයුතු කළ තලංගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනාව පොලිසියේ සෙස්සන්ද ආදර්ශයට ගත යුත්තේය.

බී.එම්.ඩබ්ලිව් රථය පැදවූ කාන්තාව රිය පැදෙව්වේ බබාට කිරිදෙන ගමන් ලු....!
ෆේස්බුක් එකේ පොලිසියත් එක්ක වචන හුවමාරු කල නෝනා පොලිසියෙන් අල්ලලා - වීඩියෝ
 
Related Posts with Thumbnails