Ads 468x60px

.

නම නොකියා හමට තලන දේශපාලන අපතයන්


මොහොතින් මොහොත උණුසුම්වන දේශපාලන පොරපිටිය නාට්‍යමය උත්ප්‍රාසය දනවන රඟමඬලක්‌ වැන්න. මේ රඟමඬලට නොඑන ජවනිකා මෙන්ම නොපෙනෙන ජවනිකාද තිබේ. 

මේවායින් වඩාත්ම ආකර්ෂණීය නාට්‍යමය ජවනිකා දැකගත හැක්‌කේ මෛත්‍රීපාල හා මහින්ද පිල ලෙස දැන් ටික දිනක සිට දියත් වන හීන්
නූලේ සටනය. එපිසෝඩ් හෙවත් කොටස්‌ ගණන නිශ්චිත නොවූ මෙගා ටෙලියක්‌ මෙන් ඇදී ගිය මෛත්‍රී-මහින්ද නාටකයේ උත්කර්ෂවත් අවසානය ඉතා ඉක්‌මනින්ම කාටත් දැක බලා ගත හැකිවනු ඇත.

මැදමුලනෙන් අහසට නැඟී කොළඹ ඩාලි පාරේ ශ්‍රී ල. නි. ප. ගොඩනැඟිල්ල පමණක්‌ නොව හොරගොල්ලද හෙල්ලී ගිය මහින්ද සුළඟේ දේශපාලන ප්‍රතිඵලය ආණ්‌ඩුවද වටහාගෙන ඇතිවාට සැක නැත. ජනවාරි 8 වැනිදා ආරම්භ කළ වෙනස ආපසු හැරවීමට ඉඩ නොදෙන බවට මොර දෙන විවිධ අය ද සිටිති. මහින්ද නැතුව මේ ගමන යැමට බැරි යෑයි කියන අයද සිටිති.

මේ සියලුදෙනාගේ ක්‍රියාකාරකම් තුළින් හෙට දවසේ තව තවත් විවිධ ජවනිකා රටට දැක බලාගත හැකිවනු ඇත. ඇතැම්විට ඒවා නව නළු රසයෙන් යුක්‌තවද ඇතැම්විට භීභත්ස්‍ය හෙවත් පිළිකුල් රසයෙන් යුක්‌තව ඉදිරිපත් වීමට ද බැරි නැත.

මේ අතර ප්‍රධාන දේශපාලන පක්‍ෂවලින් නාමයෝජනා ලබා ගැනීමට දතකන විවාදාත්මක චරිත ද අපට පෙනේ. දේශපාලන බලය නිසා මොළය අකර්මණ්‍ය වූවාක්‌ සේ පිස්‌සු කෙළින ලද දේශපාලන චරිතද ජනමාධ්‍ය ඔස්‌සේ සිය සුදුසුකම් ප්‍රකාශ කරන අයුරුද පෙනුණි.

එක අතකින් බලනවිට යහපාලන ආණ්‌ඩුව යටතේ අල්ලාගත් එකම හොරෙක්‌වත් නැත. එකම කුඩ්ඩෙක්‌වත්, එකම එතනෝල්කාරයෙක්‌වත් නැත. එහෙත් ජනතාව අතර මෙන්ම දේශපාලන බලධාරීන් අතරද නම නොකියා හමට තලන දේශපාලන අපතයන්ගෙන් අපට අඩුවක්‌ නැත.

හෙට අනිද්දා සිංහල භාෂාවේ සියලුම ගෞරවනීය වදන් සමඟ තාප්ප සරසන පෝස්‌ටර් බවට පත්වන අපේක්‌ෂකයෝද අඩු නොවෙති. මේ අතර කල් යල් බලා පිල් මාරු කිරීමටද තවත් සුළු පිරිසක්‌ හෝ සිටිති.

මේ අනුව ඊළඟ පාර්ලිමේන්තුව සඳහා නිසි රිසි අය තෝරා ගැනීම සඳහා ජනතාවට මගපෙන්වීම විද්වත් හා බුද්ධිමත් පිරිස්‌වලට මෙන්ම ජනමාධ්‍යවලටද පැවරෙන වගකීමක්‌ වනු ඇත. 


කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල යන පැරණි සුභාෂිතයම කියමින් හුදී ජනතාවට සිදුවන්නේ අන්තිමේදී හිත හදා ගැනීමට බව පවසන අයද සිටිති. එහෙත් අපට නම් හැඟෙන්නේ මේ රටේ බහුතර ජනතාව ඉස්‌සර වාගේ ඇන්දවීමට නම් නොහැකි බවය.
 
Related Posts with Thumbnails